රඟපාන්න ඉගෙන ගත්තෙ රඟපාලම තමයි- තිලක්ෂිණී රත්නායක




දුස්රාවේ ‘රතී’ට හුස්ම දුන් ඇය රතීව ජීවමාන කළේ ප්‍රේක්ෂක හදවත මොහොතකට නතර කරමින්. කෙසේ වුවත් ඇය රසික හදෙහි නොමැකෙන සටහන් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයෙන් ඇයටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් ගොඩනඟාගත් ඇය නමින් තිලක්ෂිණී රත්නායක. 


දුස්රා ‘රතී’ට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව පටන් ගමු?


“ඇත්තටම ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයෝ බොහොමයක් චිත්‍රපටයට කැමැති බව පේනවා. බොහෝ දෙනකු කියූ කාරණයක් තමයි චිත්‍රපටය, බලන් ඉන්න පුළුවන් චිත්‍රපටයක් කියන කාරණය. මම එහි රංගනයෙන් දායක වූ ‘රතී’ කියන චරිතයටත් ගොඩක් අයගෙන් පොසිටිව් ප්‍රතිචාර තමයි ලැබුණේ.”


දුස්රා චිත්‍රපටය රේඛීය රාමුවකට අනුව කතාව ගලා යෑමක් නැහැ නේද? විවිධ ආරම්භයන් සහ විවිධ අවසානයන් සහිතව නේද කතාව ගලා යන්නේ. මේ ගැන ඔබේ අදහස කුමක්ද?


“මම දකින විදිහට රේඛීය ආඛ්‍යානයක් කියන එක මේ නිර්මාණය තුළ (නැරටිව් ස්ටයිල් ) එක් තැනකදී අතීතයට ගොස් අතීත කතාව Linear narrative එකකින් තමයි යන්නේ. අතීත කතාවට ස්කිප් වන තැනදී, කතාව අතීතයට දිව යද්දී ඒ තුළ පොඩි කාලයක් දී තිබෙනවා. එතැන සිට කතාවේ අවසානය දක්වාම වගේ නැවත Style එකක් තමයි අතීත කතාවේ තිබෙන්නේ. ඊට පසුව තැන් දෙකකදී විතරක් ආපහු වර්තමානයට කතාව ගෙන එනවා. නමුත් කතා ආඛ්‍යානය පැත්තෙන් ගත්තොත් නැරටිව් ස්ටයිල් එක


සෑහෙන වෙනස් චිත්‍රපට නිර්මාණ බොහොමයක් තිබෙනවා. ඒ චිත්‍රපටවල මොන සිද්ධියද මුලින් වුණේ කියලා චිත්‍රපටය ඉවර වෙනකල්ම හිතාගන්න බැහැ. නමුත් දුස්රා චිත්‍රපටයේ හරි පහසු රේඛීය ආඛ්‍යානයක් තුළ අපිට ප්‍රේක්ෂකයාව රැගෙන යන්න පුළුවන්. චිත්‍රපටයේ දර්ශනවලදී එහි වර්තමානය කියලා සඳහනක් තබා තිබෙනවා. ඇත්තටම පහසු රේඛීය ආඛ්‍යානයක් තුළ දුස්රා තිබෙනවා කියලා තමයි මට හිතෙන්නේ.”


චන්න දේශප්‍රියගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු දුස්රා චිත්‍රපටයේ තිර පිටපත ඔබට දැනුණේ කොහොමද?


“වෘත්තීමය රංගන ශිල්පිනියක් විධියට මට අවුරුදු දහතුනක් තිස්සේම පිටපත් ලැබෙනවා. පිටපතක් අතට ගත්තම ඒ පිටපත සිනමාවේ වුණත්, ටෙලි නාට්‍යයක වුණත්, වේදිකා නිර්මාණයක වුණත් ඒ ඒ පිටපතේ නැවුම් බව වෙනස්. පිටපතක් කියන්නෙම නැවුම් අත්දැකීමක්. ඒ අත්දැකීම දුස්රා පිටපත කියවද්දිත් ඒ විධියටම දැනුණා. හැම නිර්මාණයකම වෙනස් කතාවක්නෙ මට හම්බවෙන්නේ. ඉතින් මට තේරුණා මේ නිර්මාණයත් වෙනස් අලුත් කතාවක් කියලා. චරිතයේ තිබුණු යම් යම් ඒ හා සමාන දේවල් මම කලින් කරලා තිබෙනවා. වේදිකාවේ, ටෙලිනාට්‍යවල, කෙටි චිත්‍රපටවල මම නිරූපණය කර තිබෙන සමහර චරිතවලට ටිකක් ළඟයි වගේ දෙයක් දැනුණා. නමුත් මම මේ කතාවට ආස වුණා වගේම රසවත් කතාවක් කියලත් මට හිතුණා. ඒ තමයි පිටපත කියෙව්වාම මට දැනුණ දේ.”


වේදිකාවෙන් සිනමාවට එන ගමනේ ඔබට වේදිකාවෙන් රංගනයට පන්නරයක් ලැබුණද?


“වේදිකාව කියන්නේ වෙන එකක්. සිනමාව කියන්නේ ඊට වෙනස් එකක්. ඉතින් වේදිකාවේ කරන රංගනය සිනමාවේ කරන්න බැහැ. සිනමාව බිංදුවේ ඉඳන් ඉගෙන ගන්න ඕනෑ. සිනමාවේ කැමරාවක් එක්කනේ වැඩ කරන්න තිබෙන්නේ. අපිට වේදිකා නිර්මාණයක් පැය දෙකයි නම් පැය දෙක ඉවර වෙනකල් අපි රඟපාලා ඒක අවසන් කරනවා. නමුත් සිනමා නිර්මාණයකට මාසයක්, මාස දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ අතරේදී වැකේෂන්, ඕෆ් දවස් තිබෙනවා. ඉතින් සිනමාවේ ස්ටයිල් එක වෙනස්. සිනමාවේ රංගනය මුල සිට පුහුණු වෙලා ඉගෙන ගන්න අවශ්‍යයි. අපි කොතැනක රඟපෑවත් සිනමාවේ රඟපානවා නම් නැවත බිංදුවේ ඉඳන් හිතන්න ඕනෑ. ඇ¾දුම් පැළ¾දුම් ගැන කැමරාව ගැන වගේම සිනමාවේදී අපට දාන මේකප් එක පවා වෙනස්.”


ඔබ ඔබටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් ගොඩනඟා ගත් රංගන ශිල්පිනියක්?


“ඒක ඇත්තටම මම දන්නෙ නැහැ. ප්‍රේක්ෂකයා තමයි මට කියන්න ඕනෑ. අපි කරන දේ ප්‍රේක්ෂකයාට බලපාන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයෙක් මට කිව්වොත් ප්‍රේක්ෂකයකුගේ අදහසක් විධියට ඔයා ඔයාටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් ගොඩනඟාගෙන තිබෙනවා කියලා මං ඒක නිහතමානීව භාරගන්නවා. මම ඒ වෙනුවෙන් ඇත්තටම විශේෂ දෙයක් කරලා නැහැ.”


ජනප්‍රියත්වයත් සමඟ කෙනකුට ප්‍රශංසා වගේම චෝදනාත් ලැබෙනවා දකින්න පුළුවන්? ඔබේ අදහස?


“ඒක හරිම හොඳ දෙයක්. අපි නිර්මාණයක් කරනකොට ඒවායේ හොඳ විතරක්ම අහන්න නෙවෙයිනෙ කරන්නේ. අපි කරන කිසි දෙයක් මිනිස්සු විධියටත්, රංගන ශිල්පීන් විධියටත් සියයට සීයක් සම්පූර්ණ නැහැ. අපි මේක ප්‍රගුණ කරමින් ඉගෙන ගනිමින් යන ගමනක්. ඉතින් මං හිතන්නේ නැහැ මැරෙනකල්ම හරි කම්ප්ලීට් ප්‍රෆෝමන්ස් එකක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ මොහොතේ කරන්න පුළුවන් උපරිමයනේ අපි හැමවෙලේම කරන්නේ. විශේෂයෙන් මං වේදිකා නාට්‍යවල ගොඩක් වැඩ කරන නිසා මට ඒක ගොඩක් දැනෙනවා. දවල් 3.30 කරන දර්ශනය අපට එකම නාට්‍යයේ වුණත් 6.30ට එහෙමම කරන්න බැහැ. එකම නාට්‍ය, එකම ඇ¾දුම්, එකම චරිතය වුණත් 3.30 හා 6.30 කියන්නෙ එකිනෙකට වෙනස් දර්ශන දෙකක්. ඒක ඒ මොහොතේ වෙන දෙයක්. චිත්‍රපට නම් රූගත කරන දෙයක් නිසා ඒක සදාකාලිකවම ඒ විධියටම තිබෙනවා. වේදිකා නාට්‍යයක දී 3.30 දර්ශනයේදී කවුරු හරි චෝදනා කළොත් ඒක මට මගේ විචාර බුද්ධියෙන් විමසලා බලලා තේරුම් අරගෙන කියන දෙයින් මට දෙයක් ඉගෙන ගන්න තිබුණොත් මට ඒක 6.30 දර්ශනයේදී හදාගන්න පුළුවන්. නමුත් චිත්‍රපටවලදී ඒක කරලා ඉවරයි. කවුරුහරි මට අදහසක්, යෝජනාවක් චෝදනාවක් ගෙනාවොත් මං ඒක ඊළඟ චිත්‍රපටයේදී මතක තබාගන්න උත්සාහ කරනවා.”


වැඩිහිටියන්ට පමණයි කියූ සැණින් වෙනස් ඇසකින් නිර්මාණයක් දෙස බලන්න පෙලඹෙනවා වැඩියි නේද?


“දුස්රා වැඩිහිටියන්ට පමණයි කියලා නම් කරලා තිබෙන්නේ ටිකක් පරිණත මිනිස්සුන්ට තමයි ඒ කතාව තේරෙන්නේ. එහි බලන්න බැරි අමාරු දර්ශනයක්වත්, අසභ්‍ය දර්ශනයක්වත්, ලිංගික දර්ශනයක්වත් නැහැ. කොල්කටාවල වෛද්‍යවරියකට වුණු අකරතැබ්බයක් පසුගිය දිනවලදී දක්නට ලැබුණා නේ. ඒ වගේ දේවල් අපි එදිනෙදා බොහෝ විට නිවුස්වලින්, සෝෂල් මීඩියාවලින් දකිනවා. ඉතින් ඒ වගේ සිද්ධියක් මේ චිත්‍රපටයේ තිබෙනවා. එහෙම දෙයක් ළමා මනසට සුදුසු නැහැ. වැඩිහිටියන් විධියට සමහර අවස්ථාවලදී අපටත් ඒ වගේ දේවල් දරාගන්න බැහැ. ඒ වගේ සිද්ධියකින් කෙනෙක් කම්පනය වෙන්න ඇති ඉඩකඩ වැඩියි. ප්‍රචණ්ඩත්වයන් නිතරම අහන්න, දකින්න ලැබුණත් ඒ දේවල් නිර්මාණයක් විදිහට නිරූපණයේදී නිර්මාණයක් සෙන්සර්බෝඩ් එකකින් පාස් කරලනෙ දාන්නේ. ගෙදර තුළත් ලොකු අයගේ කතාවක් කියලා පොඩි අයට ටිකක් අෑතට යන්න කියන ප්‍රැක්ටිස් එකක් අපේ සමාජයේ පවුල ඇතුළෙත් තිබෙනවා. පොඩි ළමයෙක් එක්ක බලද්දී ළමයා කම්පනයට පත් වෙන්න පුළුවන් නිසයි එහෙම කැටගරි කරන්නේ.


මම හිතන්නේ වැඩිහිටියන්ට පමණයි කියූ සැණින්ම මිනිස්සු අමුතු විධියට දකින්නේ අනූව ගණන්වල රැල්ලක් ආවනේ. ඒ කාලයේ එහෙම චිත්‍රපට තිබුණා. සිනමාහල්වල තිරගත වුණා. දැන් එහෙම ඒවා අන්තර්ජාලයෙන් තමයි බලන්නේ. ඒ සිනමාහල් වැහිලා වෙනත් බිල්ඩින්ග්ස් ඒ තැන්වල ගොඩනඟලා තිබෙනවා. ඉතින් ඒ රැල්ල ඇත්තටම ඉවරයි.”


රංගන ශිල්පී නලින් ලුසේනා ඔබේ ස්වාමියා, දුස්රා දැක්කේ කෙසේද?


“ඉතින් මගේ හැම වැඩකටම ඔහු ප්‍රතිචාර දක්වනවා. දුස්රාටත් ප්‍රතිචාර ලබා දුන්නා. ඒ නිර්මාණය තුළ මට හදාගන්න තිබුණ දේවල් ගැන, තාක්ෂණික දේවල් ගැන, රංගනය ගැන ඔහු මාත් සමඟ කතා කළා. ඔහුගෙන් මට සුබවාදී ප්‍රතිචාර ලැබුණා.”


ඔබේ කලා දිවිය තුළදී ඔබ රසිකයන් අතරට ගෙනගිය නිර්මාණ තුළින් ඔබට ලැබුණු තෘප්තිය කොහොමද?


“මම රංගනයෙන් දායක වුණු හැම චරිතයක්ම මට තෘප්තියක් ගෙන දුන්නා. රංගනයෙන් දායක වුණු කිසිදු චරිතයක් ගැන පසුතැවිලි වීමක් ඇත්තටම නැහැ. හැම නිර්මාණයක්ම මම ගන්නෙ ඉගෙනගන්න පුළුවන් දෙයක් විධියටයි. මම රඟපාලම තමයි රඟපාන්න ඉගෙන ගත්තේ. හැම නිර්මාණයකම මට ඉගෙනගන්න දෙයක් තිබුණා. ප්‍රේක්ෂකයෝ ඒ නිර්මාණ ආදරයෙන් වැලඳ ගත්තා.”


ඉදිරි නිර්මාණ වැඩකටයුතු ගැන මතක් කළොත්?


“ඉදිරියට චිත්‍රපට දෙකක් තිරගත වෙන්න තිබෙනවා. පාලිත පෙරේරාගේ එලිෆන්ට් පාස්ට්, ඒ වගේම ඩිලංක රංගනාත්ගේ ඩිංකා කියන චිත්‍රපටයත් ඉදිරියේදී ආදරණීය ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. ඒ චිත්‍රපට දෙකම ඉක්මනට තිරගත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.


Previous Post Next Post