මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍යමය වටිනාකම එක් යුගයකට ලඝු කරන්න බෑ-සුදත් රෝහණ




ඔහු ලාංකේය ටෙලි නාට්‍ය කලාව තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. ඇතමුන් ඔහු හ¾දුන්වන්නේ ටෙලි නාට්‍ය කලාවේ සාහිත්‍යධරයා ලෙසයි. ඔහු ටෙලි නාට්‍ය වංශ කතාව වෙනස් මානයකට ගෙන ගිය අපූර්වතමයෙක්. වනවදුලේ වසන්තය, බැද්දෙ ගෙදර, කළුවර ගෙදර, ගිරි කුල වැනි අපූරු නිර්මාණ හරහා රසිකයාගේ විඥානය වෙනත් අඩවියකට රැගෙන ගිය ඔහු ප්‍රේක්ෂක හදමනස කැලඹූ විශිෂ්ටයෙක්. අද හැදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ සුදත් රෝහණ. ඔබ ටෙලි නාට්‍යයට නැඟූ® විකුම්සිහ කතන්දර පසුගියදා තිරපිටපත් ලෙස මුද්‍රණය වුණා.


ඒ වැඩ සටහන ගැන කතා කරමු


මම මීට දශක ගණනාවකට පෙර ටෙලි නාට්‍යයන් ලෙසින් රූපවාහිනියට රචනා කළ හෙළයේ මහා ගත්කරුවරයා වන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් රචිත මුදියන්සේ මාමා, සිසිලියාට පාඩමක්, උපාසකම්මා සහ මව යන විකුම්සිහ කතන්දර සිවු කෙටි කතා පෙළ, රූපවාහිනි තිර රචනා ග්‍රන්ථයන් ලෙස නිකුත් වුණා. සැප්තැම්බර් 25 වන බදාදා දින සවස 3.00ට කොළඹ 07, පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මෙම වැඩ සටහන පැවැත් වුණා.  මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය තමයි මෙම කෘතීන් පෙළ සරස ප්‍රකාශන ලෙස මුද්‍රණය කරලා සහෘදයා වෙත ගෙන ආවේ.


විකුම්සිහ කතන්දර නිර්මාණය වුණේ කෙසේද?


මම මීට වසර තිහකට පෙර තමයි මෙම කතාන්දර රූපවාහිනි ටෙලි සිත්තම් ලෙස නිර්මාණය කළේ. මුදියන්සේ මාමා, උපාසක අම්මා, මව යන කෙටිකතා ආශ්‍රය කරගෙන තමයි මම මේ කතාන්දර නිර්මාණය කළේ. මෙම ටෙලි නාට්‍ය හතරම විකාශය වුණේ ජාතික රූපවාහිනියේ. 1994 විකාශය වූ ඒ ටෙලි නාට්‍ය හතර වසර තිහකට පස්සෙ තිර රචනා ලෙස එළිදක්වන්න ඕන කියලා මට සිතුණා. 80 දශකය තමයි ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ ස්වර්ණමය දශකය. මේ කාලයේ අද තරම් තාක්ෂණික පහසුකම් තිබුණේ නැහැ. එදා අපිට තාක්ෂණික පහසුකම් නොතිබුණුත් අපි නිර්මාණාත්මක අතින් ඉතා පොහොසත් තැනක සිටියා. මේ කෙටිකතා තුළ තිබෙන කතාවෙහි අරුත ඔප්නංවමින් තමයි මම මේ කතාන්දර ටෙලි නාට්‍යයට ගෙන ආවේ.


ඔබ විකුම්සිහ කතන්දර නිර්මාණයේදී අපි කියවා තිබෙන කෙටි කතා ඇතැම් විට වෙනස් ආකාරයකට නිර්මාණය කර තිබුණා. මේ ගැන කියනවා නම්


ඇසින් දැකිය හැකි හා සවනින් ඇසිය හැකි දේ තුළින් තමයි අපිට නිර්මාණයක් සිදු කරන්න වෙන්නේ. කැමරාවට හසුකර ගත හැකි දේ සහ හඬ ලෙස පටිගත කරගත හැකි දේ තුළින් තමයි අපි නිර්මාණයයක් සිදු කරන්නේ. අපිට සාහිත්‍යකරුවාට මෙන් ඕනෑම දෙයක් විස්තර කරගෙන යන්න බැහැ. අපි මූලිකවම මුහුණදෙන ගැටලුවක් තමයි අභ්‍යන්තර සිතුම් පැතුම් කොහොමද නිර්මාණය තුළට ගෙන එන්නේ කියන දෙය. සාහිත්‍යකරුවා ගෙන එන දෙය කැමරාවට ගෙන ඒම හරිම අසීරු කටයුත්තක්. ඒ වගේම කතාවේ උඩුපෙළ, කතාවේ වර්ෂයන්, භූගෝලීය පරිසරය,  දේශාපාලනය, ආර්ථික සහ සමාජීය වටපිටාව ගෙන ඒම ලෙහෙසි නැහැ. මේ දේවල් ගෙන ඒමේදී කෙටි කතාකරුවා හෝ නවකතාකරුවා ගෙනා කතා දහරාවට හානියක් නොවන ආකාරයට වෙනස් කරමින් තමයි අපිට නිර්මාණයක් සිදු කරන්න වෙන්නේ.


මාටින් වික්‍රමසිංහයන්ගේ කෙටි කතා අදට වලංගුයි කියා ඔබ සිතනවාද?


ඔව්, කෙනෙක්ට අහන්න පුළුවන් මේ මොහොතෙදී මේ පැරණි දේවල් ඇයි නැවතත් ගෙන එන්නේ කියලා. වික්‍රමසිංහයන්ගේ නවකතා, කෙටිකතා සාහිත්‍යය අපිට යම් නිශ්චිත කාලයකට ගොනු කරන්න බැහැ. ඔහු ඇත්තටම චින්තන උල්පතක්. ඔහුගේ චින්තනය එදා ද, මෙදා ද, මතු දා ද සියලු පරම්පරා සමඟ ගැටිලා පවතිනවා කියා මම සිතනවා. ඒ නිසා ඔහුගේ සාහිත්‍යමය වටිනාකම එක් යුගයකට ලඝු කරන්න බැහැ. ඔහුගේ චින්තනය සහ දැක්ම හරිම සුවිශේෂියි.


මේ රචනා ග්‍රන්ථ අනෙක් තිර රචනා ග්‍රන්ථ සමඟ සසඳා බලන විට බොහෝ වෙනස්. මේ ගැන කියනවා නම්


මෙම ග්‍රන්ථවල ඇති සුවිශේෂී බව ගැන කියනවා නම්. මෙම ග්‍රන්ථ පෙළ තමයි ලංකාවේ ක්ෂණික ප්‍රතිචාර කේත සබැඳි  සහිත ප්‍රථම කෘතීන් පෙළ වෙන්නේ. තිර රචනා කෘතියෙහි එන ක්ෂණික ප්‍රතිචාර සහිත කේත සබැඳිය පරිලෝකනය කිරීමෙන් (Scanning the QR cord) ඒ, ඒ තිර රචනා මතින් නිර්මිත ටෙලි නාට්‍ය රසවිඳීමට හැකි වෙනවා. මෙය ශ්‍රී ලාංකේය පාඨක රසිකයාට පෙර නොවූ විරූ වින්දන අත්දැකීමක්. මේක ලෝක වාසී පාඨක ප්‍රජාවටත් එක්තරා ආකාරයක ආගන්තුක අත් දැකීමක් කියන්න පුළුවන්.


ටෙලි නාට්‍ය කලාව සහ ඒ සමඟ බැ¾දුණු විෂයන් හදාරන විද්‍යාර්ථයන්ට මෙය වැදගත් වන්නේ කෙසේද?


සාහිත්‍යය කෘතියක් තිර රචනයට නැංවෙන අන්දමද, එය කෙමෙන් සිනමා කෘතියක් ලෙසට රූපාන්තරණය වන අන්දමද මෙම කෘතීන් පෙළ මඟින් මනා ලෙස විචිත්‍රවත් කර පෙන්වා දී තිබෙනවා. මාටින් වික්‍රමසිංහයන් ලියා තිබෙන කෙටි කතා නිර්මාණය කිරීම සඳහා නිර්මාණකරුවා මොනවද කරලා තිබෙන්නේ. නිර්මාණකරුවා සිදුකර තිබෙන වෙනස්කම් මොනවද කියන දේවල් ගැන අධ්‍යයනය කරන පිරිසට මේ කෘති තුළින් විශාල පිටිවහලක් ලැබෙනවා.


ඉදිරි වැඩ කටයුතු ගැන කියමු


ඉදිරියේදී මම සිනමා නිර්මාණයක් සිදු කරන්න බලාපොරොත්තු වෙන් සිටිනවා. මම මේ දිනවල සිනමාවට ගෙන ඒම සඳහා සාහිත්‍ය කෘති දෙකක් අධ්‍යයනය කරනවා. මේ වසර අග භාගයේ හෝ ලබන වසරේ මුල ඒ නිර්මාණයට අත ගහන්න බලාගෙන සිටිනවා. මේ කාලයේ යහපත් නිර්මාණයක් කරන්න පුළුවන් වපසරියක් මේ සමාජ සංස්ථාව තුළ නැහැ. මේ ක්‍රමය වෙනස් වෙයි කියලා මම හිතනවා.


ගිහාන් සචින්ත



Previous Post Next Post