නිම්නාවි හම්බ නොවුණ නම් මම රට ගිහින් – පියුමාලි එදිරිසිංහ



පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ නිම්නාවි මේ දවස්වල බොහොම ජනප්‍රියයි. මේ ඇයගේ පළමු ටෙලි නාට්‍ය රංගනය. නමුත් දැන් නම් ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපටවලටත් ආරාධනා බොහොමයක් ලැබිලලු. පියුමාලි එදිරිසිංහගෙ අලුත්ම තොරතුරු දැනගන්න මීවිත ඇය සමග පිළිසඳරක යෙදුණා.

පියුමාලි, නිම්නාවි ගැන රසිකයො මොකද කියන්නෙ?


මේ දවස්වල නිම්නාවිට ආදරේ කරන බොහෝ පිරිසක් පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය එක්ක එකතුවෙලා එකතුවෙලා ඉන්නව. ඉතිං ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව.


නිම්නාවි වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?


මේ මගේ පළමුවැනි ටෙලි නාට්‍යය. පාට කුරුල්ලෝ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියා තමයි මට මේ ආරාධනය කරන්නෙ. ඒ අනුව මට නිම්නාවි චරිතය රඟපාන්න අස්ථාව ලැබෙනව.


ඔබ මේ වගේ ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වුණාද?


ජනප්‍රියත්වය කියන දේ ගැන මම හිතුවෙ නැහැ. මේ මගේ පළමු ටෙලි නාට්‍යය නිසා මට හිතුන අඩුපාඩු ගොඩක් ඇති කියල. ඒ වගේම පොඩි බයකුත් තිබුණා. නමුත් හිතුවට වඩා ප්‍රේක්‍ෂකයන් නිම්නාවිට ආදරය කරනව.


දැන් ලැබෙන ජනප්‍රියත්වය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?


දැන් මම ගෙදරින් එළියට ගියාම මිනිස්සු මාව හඳුනාගන්නව. ඒ ගැන ඇත්තටම නිහතමානී සතුටක් තියෙනව.


ඇත්තටම කවුද මේ පියුමාලි එදිරිසිංහ කියන්නෙ?


මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි. මම පාසල් ගියේ සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයට. පාසල් අධ්‍යාපනය අවසන් වෙලා වසර පහකට පස්සෙ මම රංගන ක්‍ෂේත්‍රයට අඩිය තියනව. ඒ වෙළෙඳ දැන්වීම් හරහා. පියුමාලි එදිරිසිංහ කියන්නෙ සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්.


අධ්‍යක්‍ෂවරයාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


මේ නාට්‍යයේ අධ්‍යක්‍ෂ ශිවගුරුනාදන් මහත්මයාගේ මගපෙන්වීම යටතේ තමයි නිම්නාවි කියන චරිතය මේ තරම් සාර්ථකව මට රඟපාන්න පුළුවන්වෙලා තියෙන්නෙ. මගේ තියෙන අඩුපාඩු පෙන්නල දීල චරිතයට සාධාරණයක් කරන්න නිතරම මට උදව් කරනව.


පියුමාලි නිම්නාවිට සමානද?


නිම්නාවි කියන්නෙ ගොඩක් අහිංසක චරිතයක්. පියුමාලි නම් ගොඩක් අහිංසක නැහැ. නමුත් බොහෝ දුරට සමානකම් තියෙනව.


පාසල් කාලයේ ක්‍රීඩා වලට සම්බන්ධ වුණාද?


පාසල් යන කාලයේ මම කැමතිම ක්‍රීඩාව වුණේ හොකී. ඒ නිසා තුන් වැනි ශ්‍රේණියේ පටන් උසස් පෙළ දක්වාම මම හොකී ක්‍රීඩා කළා. ඇත්තටම දැන් නම් ක්‍රීඩා කෙරෙන්නෙ නැහැ.


වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්නද ඔබේ අදහස?


ඔව්, කලාව තමයි මම කැමතිම දේ. මගෙම කියල ව්‍යාපාරයකුත් තරන නිසා දෙපැත්තම බැලන්ස් කරගෙන ඉදිරියට වැඩ කරන්න තමයි අදහස් කරන්නෙ.


අලුත් ආරාධනා ලැබිල තියෙනවද?


ඔව්, වැඩිපුරම ටෙලි නාට්‍යවලට තමයි ආරාධනා ලැබිල තියෙන්නෙ. ඒ අතර චිත්‍රපට තුනකටත් ආරාධනා ලැබුණා. නමුත් මම කැමතියි පාට කුරුල්ලෝ එක්ක තව ටිකක් රැඳිල ඉන්න.


ඔබේ වැඩි කැමැත්ත සිනමාවටද ටෙලි නාට්‍යයටද?


මම මේ දෙකටම කැමතියි. මොකද මුල අමතක කරන්න හොඳ නැහැනෙ. මිනිස්සු මාව හඳුනා ගත්තෙ, වෙළෙඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය නිසා.


නිම්නාවි පියුමාලිගෙ ජීවිතේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණා කිව්වොත්?


ඔව්, අනිවාර්යයෙන්ම. නිම්නාවි කියන්නෙ මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය කිව්වොත් හරි.


මේ චරිතයත් එක්ක ජීවිතේ මොන වගේ වෙනස්කම්ද සිදු වුණේ?


වෙනස්කම් කියන්නෙ, එහෙම ලොකු දෙයක් මම දකින්නෙ නැහැ. මොකද චරිතයට සාධාරණයක් කරන්න මම උත්සාහ කරනව. නමුත් එතනින් එහාට මම, මම ම තමයි. චරිතයක් ඔළුවෙ තියාගෙන ඉන්න මම කැමති නැහැ.


කුසල් මධුරංග, එහෙමත් නැත්නම් මංජිත සමග රංගන අත්දැකීම් මොන වගේද?


අනේ ඇත්තටම කුසල් අයිය කියන්නෙ අති දක්‍ෂ නළුවෙක්. මංජිතගෙ චරිතයට ඔහු උපරිම සාධාරණයක් කරනව. මට ගොඩක් වෙලාවට රඟපාන්න ලැබෙන්නෙ මංජිත සහ කෙවින් කියන චරිත එක්ක. එතනදි අපි තුන්දෙනාට ලැබෙන අවස්ථාව මංජිත අයිය මාර විදිහට කරනව. සමහර වෙලාවට අපිත් මේ නාට්‍ය ඇතුළෙ ප්‍රේක්‍ෂකයො වෙලා.


කෙවින් නිම්නාවි එකතු වෙයිද?


ඒකට අපි ප්‍රශ්නාර්ථයක් දාමු නේද?


කුසල්, සජිත සමග එකට රංගනයේ යෙදෙන්න ලැබීම කොහොමද දැනෙන්නෙ?


පළමු නිර්මාණයේම ඒ වගේ දක්‍ෂයො එක්ක රඟපාන්න ලැබීම ඇත්තටම මගේ වාසනාවක්. මුලදි මට පොඩි බයක් තිබුණ මේ චරිතය මට කරන්න පුළුවන් වෙයිද කියල. මොකද මම විතරයි අළුත් කෙනෙක් හැටියට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ. අනෙක් හැමෝම ප්‍රවීණයො. කියන්න සතුටුයි, මගේ චරිතය ගොඩනගාගන්න මේ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා.


පියුමාලි විලාසිතාවලට වැඩි ඉඩක් දෙනවද?


මම එක එක විදිහේ විලාසිතාවලට කැමතියි. ඒ අතරින් වැඩිපුරම කැමති ඉන්දියන් විලාසිතාවලට. නමුත් එක දෙයකට කොටුවෙලා නැහැ. මට ගැලපෙනවනම් මම ඒ දේ කරනව.


නිම්නාවි මුණනොගැසුනා නම්?


නිම්නාවි මුණනොගැසුනා නම් මම බොහෝ දුරට විදෙස්ගතවෙලා.


ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?


ඇත්තටම මගේ හැමදේකටම පස්සෙන් ඉන්නෙ මගේ අම්ම. ඒ වගේම තාත්තත් ගොඩක් උදව් කරනව. අපි පස්දෙනාගෙම එකමුතුවෙන් වැඩකටයුතු කරගෙන යනව.


ඔබ අවුරුදු කුමාරියක්?


ඔව්, 2016 වසරේදී රූපවාහිනී නාළිකාවකින් පවත්වපු අවුරුදු කුමාරි තරගයකින් මම ජයග්‍රහණය කරනව.


ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?


ඇත්තටම දැනට මම වරදක් දකින්නෙ නැහැ. කියන තරම් යකා කළු නැහැ කියනවනෙ.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post