පළමුවැනි කොටස තිරගත වෙනකොට මම පාසල් ශිෂ්‍යයෙක් – ඉසුරු ලොකුහෙට්ටිආරච්චි



ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මේ දවස්වල පාතාලයේ ලොකු ගේම් එකක් ප්ලේ කරනව. ඔහු කොහොමද මේක කරන්නෙ. ඒක දැකබලාගන්න ඔබට ළඟම සිනමා ශාලාවට යන්න වෙනව. ඒ අතර මීවිත අපි ඉසුරුත් එක්ක සුහද කතාබහක නිරත වුණා.


ඉසුරු මේ දවස්වල පාතාලයට සෙට් වෙලා වගේ?


ඔව්… ඔව්… මේ දවස්වල බෝගහවත්තේ ලකී වෙලා ඉන්නෙ.


ගිනි අවි සහ ගිනිකෙළි’ ජයටම පත්තුවෙනව නේද?


උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ‘ගිනි අවි සහ ගිනිකෙළි’ දෙවැනි දිගහැරුම පසුගිය 26 වැනිදා තිරගතවීම ඇරඹුණා. අපි බලාපොරොත්තු වෙනව චිත්‍රපටය සාර්ථකවෙයි කියල. මොකද පළමුවැනි කොටස බොහොම සාර්ථක විදිහට තිරගත වුණා. චිත්‍රපටයක් සාර්ථක වෙනව කියන්නෙ සිනමා කර්මාන්තය සාර්ථක වෙනව කියන එකනෙ.


බෝගහවත්තේ ලකී වෙනුවෙන් මොනවගේ සූදානමක්ද තිබුණෙ?


ගිනි අවි සහ ගිනි කෙළි පළමු කොටස අපේ සිනමාවේ ලොකු වෙනසක් කළ නිර්මාණයක්. එහි ප්‍රධාන චරිතය රඟපෑවෙ ජැක්සන් ඇන්තනී මහත්මයා. එහිම දෙවැනි කොටසෙ ප්‍රධාන චරිතය මට ලැබෙනව කියන්නෙ ඒක වෙනමම බරක්. හරියට රිලේ තරගයක් වගේ. මුලින් දුවන කෙනා දිනල රැකගත්ත තැන මමත් දිගටම රැකගන්න ඕන. පිටපතත් එක්ක චරිතය ගැන හොයල බැලුවාම 1980 දශකයේ අගභාගයේ ලංකාවේ දේශපාලනයේ අඳුරු යුගයේ රජකළ චරිතයක්. මට දැනගන් ලැබුණ විදිහට මෙහි සැබෑ චරිතය මත්කුඩු වෙළෙඳාමට සම්බන්ධ නැහැ. මට මේ චරිතය ගැන වැඩිදුරටත් විස්තර දැනගන්න ඕන නිසා උදයකාන්ත අයියා, අනුර හොරේෂස් අයියා වගේම තව මෙහි සැබෑ චරිතයේ ළමයින්වත් මුණගැහිල කතාබහ කරල තමයි වැඩේට සූදානම් වුණේ.


මුල් නිර්මාණය බැලුවද?


ඔව්, මෙහි පළමු කොටස තිරගත වෙනකොට මම පාසල් ශිෂ්‍යයෙක්. ඒ කාලෙත් බැලුවා. ඉන් පස්සෙ කිහිප වතාවක් රූපවාහිනියෙත් විකාශය වුණා. ඒවාත් බැලුවා.


පාසල් කාලයේ බලපු සිනමා නිර්මාණයේ වර්තමානයේදී ඔබට රඟපාන්න ලැබෙනව?


ඔව්, ඒක හීනෙකින්වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. ජීවිතේ කියන්නෙ මේක තමයි නේද. ඇත්තටම හරිම සතුටුයි.


රූගතකිරීම්වලදි මොනවගේ අභියෝගවලටද මුහුණ දුන්නෙ?


ලකී මුලින්ම සයිට් එකක අත්වැඩ දෙනව. එතනදි පිරිසක් ඔහුට විහිළු කරනව. විහිළුව දුරදිග ගිහින් අවසානයේ ලොකු රණ්ඩුවක් බවට පත්වෙනව. මේ රණ්ඩුව සිද්ධ වෙන්නෙ මඩ වළක. මෙතනදි ලකීට සිද්ධවෙනව පස්දෙනෙක් එක්ක තනියම ගහගන්න. මේ රණ්ඩුව තමයි ලකීගෙ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වෙන්නෙ. මේක දකින දේශපාලකයො ලකීව ඔවුන් ළඟට ගන්න උත්සාහ කරනව. මේ මඩ වළේ දර්ශනය තමයි මට තිබුණ ලොකුම අභියෝගය. එතැනදි සෑහෙන්න මඩ කන්න සිද්ධ වුණා.


මේ වන විට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ගිනි අවි සහ ගිනි කෙළි කියන්නෙ මම දකින විදිහට චිත්‍රපටයකට වඩා බ්‍රෑන්ඩ් එකක්.


බෝගහවත්තේ ලකීව ඔබ දකින්නෙ කොහොමද?


ලකී තමන් එක්ක එකට වැඩකරන අයට ගහන්නෙ තමන්ට අනවශ්‍ය විහිළුවක් කරන නිසා. ඒක දැකපු ලංකාවේ ඒ යුගයේ හිටපු අවස්ථාවාදී දේශපාලකයන් ඔහුව පාචිච්චි කරනව ඔවුන්ගෙ ජඩ වැඩ ටික කරගන්න. ලකී අවංකයි, එඩිතරයි, නමුත් ආර්ථික අතින් ඔහු ශක්තිමත් නැහැ. මේක තමයි දේශපාලකයන් ඔහුව තමන්ට නතුකරගන්න පාවිච්චි කරන්නෙ. මේ ක්‍රමවේදය තමයි අවුරුදු ගාණක් තිස්සෙ මේ රටට සිදු වුණේ.


පුංචි තිරයේ නිර්මාණ මොනවද?


මේ දවස්වල ෆ්ලැට් නොවන ෆ්ලැට්, සිහින ගෙනෙන කුමාරියේ, අකුරට යන වෙලාවේ යන ටෙලි නාට්‍ය තුන විකාශය වෙනව. ඊට අමතරව සති අන්තයේ මිහිර සිරිතිලකගෙ ‘කෝ කුක්කෝ’ සමග රට වටා යනව.


ෆ්ලැට් නොවන ෆ්ලැට්, මොන වගේ කතාවක්ද?


මේ ටෙලි නාට්‍යයේ තියෙන්නෙ කාලීන පිටපතක්. ඒක මේ නිර්මාණය නරඹද්දි හොඳින්ම දැනෙනව. මේ රටේ හැම කෙනොම හැම කෙනෙක් එක්කම නුරුස්නා ස්වභාවයකින් ඉන්නෙ. ඒ වගේම කාගෙවත් හිතේ සැනසීමක්, සතුටක් නැහැ. තව කෙනකුගේ වෘත්තිය ගැන ගරුත්වයක් නැහැ.


මේ සමාජ තත්ත්වය සාර්ථකව නිර්මාණය තුළින් ගෙනහැර දක්වනව.


‘කෝ කුක්කෝ’ එක්ක රටවටා යන ගමන මොන වගේ අත්දැකීමක්ද?


ඒ අත්දැකීම බොහොම සුන්දරයි. හරියට විශ්වවිද්‍යාලයක ඉන්නව වගේ. කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, චින්තක පීරිස්, මිහිර සිරිතිලක, හේමන්තත ඊරියගම, ජනක රණසිංහ යන අය තමයි මේ නාට්‍යයට රංගනයෙන් දායක වෙන්නෙ. මෙතන ඉන්න කනිෂ්ඨම රංගන ශිල්පියා මම. ඔවුන් සමග ඇසුර මට ලොකු අවස්ථාවක්. ඇත්තටම වේදිකා නාට්‍යයක් කරනව කියන්නෙ වෙනම අත්දැකීමක්.


ඉසුරුගෙ වැඩි කැමැත්ත?


මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ සිනමාවට. එහිත් චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට ඉදිරියට යන එක තමයි මගේ අරමුණ. එතනදි මගේ රෝල් මොඩල් වෙන්නෙ ජෝ අබේවික්‍රම මහත්මයා, ජැක්සන් ඇන්තනී මහත්මයා, මහේන්ද්‍ර පෙරේරා මහත්මයා වැනි අය. එවැනි තත්ත්වයකට එන්න පුළුවන්නම් මරු. ඉදිරියට තව සිනමා නිර්මාණ හයක් තිරගතවීමට නියමිතව තියෙනව.


දැන් අධ්‍යක්‍ෂණ කාර්යයට කාලය හරි කියල හිතෙන්නෙ නැද්ද?


අම්මෝ… බුදු අම්මේ මට නම් බැහැ. සමහරවිට මම කවදාවක් ඒ කාර්යය නම් කරන්නෙ නැති වෙයි කියල හිතනව. ඒ තැනට ගියොත් මං තුළ ඉන්න නළුවා අපරාදෙ කියල මට හිතෙනව.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post