අලුත්ම ටෙලියේ මම චණ්ඩියෙක් – අශිකා මතසිංහ

 



ජනප්‍රිය රංගන ශිල්පිනී අශිකා මතසිංහ පසුගිය කාලයේ රූපවාහිනී තිරයේ වැඩිය දකින්න ලැබුණෙ නැහැ. නමුත් දැන් දැන් ඇය සැපුරුදු රිද්මයෙන් නැවතත් ප්‍රේක්‍ෂකයන් අතරට එන බව ආයාචනා, රජගෙදර සහ මේන් කැරැක්ටර් වගේ ටෙලි නාට්‍ය හරහා දැකගන්නට පුලුවන්. ඒ වගේම මේ දිනවල රිදී තිරයේ දිගහැරෙන හොරා අංකල් චිත්‍රපටයේ ක්‍රීඩා ගුරුවරිය වනේනේද ඇයයි.

අශිකා, හොරා අංකල් රංගනය ගැන රසිකයො මොකද කියන්නෙ?


චිත්‍රපටය වැඩිපුරම බලල තියෙන්නෙ පොඩි ළමයි. ඔවුන් මාව දැක්කම හඳුනා ගන්නව. සතුටුයි ඒ ගැන.


හොරා අංකල් මොන වගේ කතාවක්ද?


මේ චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ ලස්සන සිතිවිල්ලක්. පුංචි ළමයි කියන්නෙ මල් වගේනෙ. ඒ හිත්වලට සමාජයේ හැටි තේරෙන්නෙ නෑ. දෙමාපියන් සහ දරුවන් අතර තියෙන යහපත් බැඳීමක වටිනාකම තමයි මේ චිත්‍රපටයෙන් කියල දෙන්නෙ.


කොහොමද මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ?


මෙහි අධ්‍යක්‍ෂ හර්ෂණ වික්‍රමසිංහ මම දන්න හඳුනන කෙනෙක්. ඔහු තමයි මට මේ ආරාධනය කරන්නෙ.


ගුරුවරියගේ චරිතය ඔබට දැනුණෙ මොන විදිහටද?


ගුරුවරු කියන්නෙ දරුවන් යහමගට ගන්නා අය. මටත් දරුවො තුන්දෙනෙක් ඉන්නව. මං ළඟ ඉන්නවාටත් වඩා වැඩි කාලයක් ඔවුන් ඉන්නෙ ගුරුවරු ඇසුරේ. ඒ නිසා ගුරුවරුන්ට මම බොහොම ගරුකරනව වගේම බොහොම ඉහළින් ඔවුන්ව පිළිගන්නව. රඟපෑමෙන් හෝ ගුරුවරියකගේ චරිතයක් නිරූපණය කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනව වගේම හදවතින්ම මම මේ චරිතයට මගේ දායකත්වය ලබා දුන්නා.


කොච්චර කාලෙකට පස්සෙද සිනමාවට සම්බන්ධ වුණේ?


මට මතක හැටියට අවුරුදු තුනකට හෝ හතරකට පසුව තමයි මම, හොරා අංකල් සමග නැවතත් සිනමාවට සම්බන්ධ වෙන්නෙ.


ඔබ වැඩි ඉඩක් දෙන්නෙ ටෙලි නාට්‍යයට?


ඔව්, මට වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලි නාට්‍යවලට. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනව ‘ආයාචනා’, ‘රජගෙදර’ හිරු ටීවී නාළිකාවේ, ස්වර්ණවාහිනියේ විකාශය වෙනව ‘මේන් කැරැක්ටර්’ ටෙලි නාට්‍යය.


ටෙලි නාට්‍ය තුනක්, නාළිකා තුනක විකාශය වෙනව. කොහොමද ඔබට දැනෙන්නෙ?


දැන් ගොඩක් දෙනෙක් දන්නව මම දැන් වැඩවල ඉන්නව කියල. ඒ වගේම මම හදවතින්ම තෘප්තිමත් වෙනව, මොකද මම හරි ආසයි රඟපාන්න. බබාල පොඩි නිසා කාලයක් මගෙ හිතේ හැටියට වැඩකරන්න බැරි වුණා.


හොරා අංකල් හි මහේන්ද්‍ර පෙරේරා සමග රංගනයේ අත්දැකීම් මොන වගේද?


මහේන්ද්‍ර පෙරේරා සර් කියන්නෙ ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙක්. එතුමා දැවැන්තයෙක් බව ලොකු-වට හිතාගෙන අනෙක් අයට කෙනෙහිලිකම් කරන්නෙ නැහැ. බොහොම සහයෝගයෙන්, හරි සුහදව හැමෝම එක්ක වැඩ කළා. ඒක අපේ හිතටත් හරි සතුටක්. එතුමාගේ රංගනයෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.


කාලෙකට පස්සෙ එකපිට ටෙලි නාට්‍ය තුනක් විකාශය වෙනව?


ඔව්, නමුත් ඒක මට ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. බබාල තුන්දෙනාගේ වැඩත් එක්ක තමයි මේ හැම දෙයක්ම කරන්නෙ. මගේ මහත්තය, අම්මා, නංගි, ගුරුවරු, දරුවන්ගෙ යාළුවන්ගෙ අම්මලා, මේ හැමෝගෙම සහයෝගයෙන් තමයි මම මේ වැඩ ටික කරගෙන යන්නෙ.


පසුගිය කාලයේ මොකද කළේ?


මම කලාවේ කටයුතු අතහැරියෙ නැහැ. මොකද අතහැරියොත් අතහැරිලම යනව. ඒ නිසා දිගටම සම්බන්ධවෙලා හිටියා. මගේ ෆේස්බුක් පේජ් එකෙත් ටැග් කරල තියෙනව කරපු වැඩ ටික.


දිගටම වැඩ කරනවද?


දැනට මට ලැබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න මම උත්සාහ කරනව. මොකද මට කියන්නෙ බැහැ තව අවුරුද්දකින් මට වැඩ කරන්න පුළුවන් වෙයිද, වැඩ ලැබෙයිද කියල. ඒ නිසා අලුත් ඩිරෙක්ටර් කෙනෙක් කතා කළත්, පරණ කෙනෙක් කතා කළත් මට කරන්න පුළුවන් දෙයක් තියෙනව නම් ඒ චරිතය භාරගන්නව. කොච්චර ආරාධනා ලැබුණත් උපරිම නාට්‍ය දෙකකට හෝ තුනකට තමයි සම්බන්ධ වෙන්නෙ. එතකොට මගේ ගෙදර වැඩ, බබාලගෙ වැඩ එහෙම කළමනාකරණය කරගන්න පුළුවන්.


වැඩිපුර ප්‍රතිචාර ලැබෙන ටෙලි නාට්‍යය මොකක්ද?


ම්ම්ම්… මේ දවස්වල ආයාචනා ටෙලි නාට්‍යයට තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ. පසුගිය දවස්වල විකාශය වුණ ‘හිතළඟ හිනැහුනා’ ටෙලි නාට්‍යයේ මිනෝලි කියන චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා.


ඔබේ දරුවනුත් චිත්‍රපටය බැලුවද?


ලොකු පුතා මං එක්ක ගිහින් බැලුවා. අනේ දුවටයි පුතාටයි පෙන්නන්න ඕනා. මේ දවස්වල විභාග වැඩ තියෙන නිසා ප්‍රමාද වුණා.


අශිකාට තිබුණ ජනප්‍රියත්වය තවමත් එහෙමද?


මීට අවුරුදු දහයකට විතර කලින් සංජය නිර්මාල් අධ්‍යක්‍ෂණය කළ ‘හේඩි’ ටෙලි නාට්‍යයේ මගේ චරිතය දරුවන් අතර ඉතාම ජනප්‍රිය වෙලා තිබුණා. ඔවුන් දැන් ලොකුයි. මෑතක එහෙම ජනප්‍රියත්වයක් ලැබුණෙ හොරා අංකල් චිත්‍රපටයෙන්.


මොනවද ඉදිරියේදී විකාශ්‍ය වීමට නියමිතව තියෙන නිර්මාණ?


මීට දවස් දෙකතුනකට කලින් අලුත් ටෙලි නාට්‍යයක ෂූටින් සඳහා සහභාගි වුණා. තවම නමක් යොදල නැහැ. ඒකෙ මගේ චරිතය වෙන්නෙ රාණි. ඇය චණ්ඩි ගැහැනියක්.


සැමියාගෙන් ලැබෙන සහය මොන වගේද?


ඇත්තටම ඔහුගෙ ඉවසීම මත තමයි මගේ රංගනය රැඳිල තියෙන්නෙ. කවදාවත් මට මේ ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙන්න කියල නැහැ. කියන එකකුත් නැහැ. ඒ වගේම මගේ දුවත් මගේ වීඩියෝස් අප්ලෝඩ් කරන ඒවා, එඩිට් කරන ඒවා කරල දීල එයාට පුළුවන් විදිහට මට සහයෝගය ලබා දෙනව.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post