මට බොරුවට වැඩ කරන්න බැහැ-කලණ ගුණසේකර




ඔහු ශ්‍රී ලාංකේය කලා ක්‍ෂේත්‍රය තුළ තම අනන්‍යතාවය රැකගත් රංගන ශිල්පියෙකි. එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් තම රංගන පරාසයෙහි ශක්‍යතාව විදහා දක්වන මොහු ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් දක්‍ෂ කලාකරුවෙකි. තමන්ගේ සැබෑ නමට වඩා තමන් රඟ පෑ චරිතයේ නමින් මොහුව ආමන්ත්‍රණය කිරීම ඊට හොඳම උදාහරණයකි කූඹියෝ. ප්‍රියන්ත මහඋල්පතගේ සිට අක්‍ෂි ජනා ශෙවාන් ඊට තවත් කදිම නිදසුන්ය. අද දවසේ අපේ කතාබහ ආදරණීය කලා, එහෙමත් නැතිනම් කලණ ගුණසේකර සමගය.

කලණ ගුණසේකරව මේ දවස්වල සිහින නෙළුම් මල් සිනමා නිර්මාණයෙන් දකින්න ලැබෙනවා?


මේක සමීර නාඔටුන්නගේ දෙවැනි චිත්‍රපටය. ඔහුගේ පළමු සිනමා නිර්මාණය වන මෝටර් බයිසිකලේ චිත්‍රපටයෙත් මම රඟපෑවා. සිහින නෙළුම් මල් මෝටර් බයිසිකල් ආකෘතියෙන් වෙනස් හැඩයක්. පවුලේ හැමෝටම විඳින්න පුළුවන්න ලස්සන චිත්‍රපටයක්. ළඟම තියෙන හෝල් එකට ගිහිල්ලා ඔබත් නරඹන්න කියලා තමයි කියන්න තියෙන්නේ.


මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රඟපෑ ඔබ සිහින නෙළුම් මල් චිත්‍රපටයේදී වෙනස් හැඩයක් නිර්මාණය කරගත්තේ කොහොමද?


සමීර නාඔටුන්න කතා කරපු ගමන් චිත්‍රපටයේ පරිමාව දැනගෙන හිටියා. මොකද අපි වේදිකාවේ ඉඳලා මිත්‍රයෝ. පොඩිම පොඩි චරිතයක් තිබුණත් රඟපානවා කියන එක ඔළුවේ තිබුණා. නමුත් මම හිතනවා හොඳ සාර්ථක චිත්‍රපටයක් කියලා. මෙහි හේමාල්, දුෂේනි, උමාල්, මධුර ඉතාම හොඳට රඟපානවා. සියලු දේවල් එක්ක එකතු වුණු ඉතාම හොඳ චිත්‍රපටයක්.


අධ්‍යක්‍ෂ සමීර චිත්‍රපටයේ රඟපෑවට පසුව ඔබට මොනවද කිව්වේ?


සමීර මට මුලින්ම චිත්‍රපටය ගැන කතා කළා. ඊට පසුව මගේ චරිතය ගැන කතා කළා. ගොඩාක් ලොකු සංවාදයක් තිබුණේ නැහැ ඒ චරිතයත් එක්ක. සමීරට විශාල බලාපොරොත්තුවක් තිබුණා ඒ චරිතයට මාව සුදුසු ඇති කියලා. අපි රඟපාලා ඉවරවෙලා තමයි චිත්‍රපටය නැරඹුවේ. ඔහු හොඳ අධ්‍යක්‍ෂවරයෙක් කියලා මම කලින් ඉඳලා දන්නවා. සිහින නෙළුම් මල් කියන්නේ කවියක් වගේ කතාවක්. ඒක ප්‍රේක්‍ෂකාගාරයට යන්න පුළුවන් අවස්ථා ගණනාවක් තියෙනවා. අනික මට පොඩි සතුටක් තියෙනවා අපේ පරම්පරාවේ අධ්‍යක්‍ෂවරයෙක් ප්‍රධාන ධාරාවේ වැඩකට අතගහපු එක ගැන.


රීකන්ඩිෂන් කෙල්ලගේ දොස්තර මහත්තයාට ලැබෙන ප්‍රතිචාර?


මම හිතන්නේ ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අනුර ඒකනායක කියන්නේ මාත් එක්ක වේදිකාවේ ඉඳලා එකට හිටපු මිත්‍රයෙක්. මේ වැඩේ පටන් ගන්න කලින් ඉඳලාම ඔහු ටෙලියක් කරනවාද නැතිනම් චිත්‍රපටයක් කරනවාද කියලා අපි දෙන්නා අතර විශාල සංවාදයක් පවා ඇති වුණා. කතාව ලියන්න කලිනුත් මාත් සමග කතාබහ කළා. පස්සේ වැඩේ කරන්න ගත්තහමත් මම අනුරගෙන් ඇහැව්වේ මාව මේ වැඩේට ඕකේද කියලා. නැති නම් යාළුකමට ද කතා කරන්නේ කියලත් මම ඇහැව්වා. ඔහුම කිව්වා, නැහැ මම යාළුකමට නෙවෙයි කතා කරන්නේ ඉස්සරහට විවිධ හැඩතල ටිකක් මේ චරිතය වටා මැවෙනවා. ඒ වැඩෙත් එක්කයි මම උඹට රඟපාන්න කතා කරන්නේ කියලා. අනුර ඒකනායක කියන්නේ අපේ සිනමාවට සහ ටෙලිනාට්‍ය කලාවට අවශ්‍යතාවයක් කියලා. අනුර රචකයෙක් සහ වේදිකා නාට්‍යකරුවෙක් විදිහට විකල්ප ධාරාවේ වැඩ ගොඩක් කරපු චරිතයක්. දේශපාලනික කියැවීමක් තියෙන පුද්ගලයෙක්.


දොස්තර මහත්තයා හින්දා ඔබට කාලෙකින් යුරේනිව හම්බ වෙනවා?


කූඹියෝ ටෙලිනාට්‍යයේ නම් අපි දෙන්නට එකට රඟපාන්න ලැබුණේ නැහැ. නයිට් රයිඩර් චිත්‍රපටයේ අපි දෙන්න එකට රඟපෑවා. යුරේනි ඉතාම හොඳ දක්‍ෂ නිළියක්. යුරේනිට තියෙන හැඩතල ටික ඉතාම හොඳට ඇක්ට් එකට පාවිච්චි කරනවා. මේකත් මම හිතන්නේ ඇයට හම්බ වෙච්ච ඉතාම විශාල අවස්ථාවක් ඇයට හිමි දක්‍ෂතා ටික එළියට දාන්න.


කොච්චර කාලෙකට පස්සේ ද ටෙලිනාට්‍යයක් විකාශය වෙන්නේ?


ඇත්තටම මම ගොඩක් ටෙලිනාට්‍ය කරලා නැහැ. කූඹියෝට පස්සේ අඩෝ, ත්‍රෛයිලෝක, පොදු 1, පොදු 2, අක්‍ෂි වගේ ටෙලිනාට්‍යවල තමයි රඟපෑවේ. ඊට පස්සේ තමයි රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ රඟපෑවේ. මමත් කල්පනා කරලා බැලුවහම අවුරුද්දකට හෝ දෙකකට වගේ පස්සේ තමයි ටෙලිනාට්‍යයක රඟපෑවේ. මට වැඩ ටිකක් හම්බ වෙනවා. නමුත් මම චුට්ටක් බලනවා මට මේකේ මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද කියලත්.


කලා වැඩක් භාරගන්නකොට හරි පරිස්සම්ද?


නැහැ. පරිස්සම්ම කියන කාරණාව නෙමෙයි. මට එන්ජෝයි කරන්න තියෙන්න ඕනෑ. මට ඒකේ ආතල් එකක් තියෙන්න ඕනෑ. මට ආතල් එකක් තියෙන්න නම් මට දැනෙන්න ඕනෑ. මට දැනුණොත් තමයි රඟපාන්න පුළුවන්. නැතිනම් ගිහිල්ලා බොරුවක් කරන්නේ. මට එහෙම බොරුවට වැඩ කරන්න බැහැ.


කලාගේ ජීවිතයට කූඹියෝ මොන විදිහටද දැනුණේ?


ඇත්තටම කූඹියෝ මට දැනුණේ අනෙක් පිටපත් ගත්තහම දැනෙන ආශ්වාදයම තමයි. මොකද මම රඟපාන වේලාවේ දන්නේ නැහැ, ඒක කොච්චරක් දුරට ප්‍රසිද්ධ වෙයිද? කොච්චරක් දුරට මිනිස්සු වැලඳ ගනීවිද නැතිද කියලා. මම බලන්නේ මට හම්බවෙන චරිතය හොඳට කරන්නේ කොහොමද? අධ්‍යක්‍ෂකට එන්ජෝයි කරන්න පුළුවන් වෙන්න කොහොමද කරන්නේ කියලා විතරයි. ඇත්තටම ඒක නළුවෙක් සහ අධ්‍යක්‍ෂවරයෙක් අතර තියෙන රහස් කතාවක් වගේ එකක්. නළුවා කොච්චර හොඳට වැඩ දාලා උඩ දාලා රඟපෑවත් වැඩක් නැහැ අධ්‍යක්‍ෂවරයා කැමැති නැතිනම්. ඒ නළුවාට චරිතයෙන් මිදිලා එතැනින් එහාට සතුටු වෙන්න බැහැ. මම හැම තිස්සේම කල්පනා කරන්නේ අධ්‍යක්‍ෂවරයා ඒ චරිතයෙන් සතුටු වෙනවා නම් මටත් ඒ චරිතය හරහා සතුටු වෙන්න පුළුවන් කියලයි.


කූඹියෝ කරද්දී තිබුණු එකමයි පොදු එකේ ප්‍රිමාල්, අක්‍ෂි ජනා, ශෙවාන්, ගිනි අවිය එකේ සුන්තා වගේ විවිධ චරිත රඟපාද්දි තිබුණෙත්.


ප්‍රියන්ත මහ උල්පත ජීවිතයේ එක හැරවුම් ලක්‍ෂ්‍යයක් කියලා හිතනවාද?


මම හිතනවා කූඹියෝ කියල කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍යය ක්‍ෂේත්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් කියලා. ප්‍රියන්ත මහඋල්පත කියන්නේ මම රඟ පෑ තවත් ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක චරිතයක්. හැබැයි ප්‍රියන්ත මහඋල්පතට විශාල පිරිසක් ආදරය කරනවා. මම ඒකට කැමැතියි. නළුවෙක් විදිහට මට සතුටු වෙන්න පුළුවන්. අනෙක් කාරණාව තමයි ගොඩක් අඩුවෙන් තමයි මට මගේ නම කියලා කතා කරන්නේ. එක්කෝ කතා කරන්නේ ‘සුන්තා කොහොමද’ කියලා. නැති නම් අඩේ මේ ප්‍රියන්ත මන්ත්‍රීතුමානේ. එහෙමත් නැති නම් ප්‍රිමාල් කියලා. ඔන්න ඔය ආකාරයෙන් තමයි මාව ආමන්ත්‍රණය වෙන්නේ. නළුවෙක් විදිහට මට වඩා මම රඟ පෑ චරිතවල නම් මතක් වෙන එක ගැන ස්තුතිය යන්න ඕනෑ රචකයා සහ අධ්‍යක්‍ෂවරයාට.


මොනවද කලාගේ අලුත්ම වැඩකටයුතු?


ටෙලිනාට්‍යය නම් තව එකක් කළා ඩබ්ලිව්. රවීන්ද්‍රගේ. ඊළඟට මම මේ දවස්වල පිටපත්වල වැඩ ටික කරගෙන යනවා. මට හිතිල තියෙනවා කොටස් 60ක විතර ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න. අධ්‍යක්‍ෂවරයෙක් වීමට වඩා මට යම්කිසි හේතු කාරණා ටිකක් තියෙනවා.


මොකද මම වේදිකාවට එන්නේ දාස මල්ලිගේ බංගලාව, රුවන්මලී පීරිස් සහ මම අධ්‍යක්‍ෂණය කරමින් ඒක රාජ්‍ය සම්මානය දක්වා දිව යනවා. ඊට පසුව මම කෙටි චිත්‍රපට කිහිපයක් කරලා තියෙනවා. පූනාවල ගිහිල්ලා සිනමා අධ්‍යක්‍ෂණය සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා තියෙනවා. වැඩියෙන් අධ්‍යයනය කරලා තියෙන්නෙත් සිනමා අධ්‍යක්‍ෂණය කියන කාරණාව. මම පිටපත් රචකයෙක් විදිහට ඇත්තටම වැඩ කරනවා. මම ඒක කරන්නේ රංගන ශිල්පියෙක් විදිහට. ඒක සපෝර්ට් වෙන හින්දා මම හිතාගෙන ඉන්නවා ජීවිතේට එක ටෙලිනාට්‍යයක් කරලා බලන්න. ඒකෙදි මට ගෙනියන්න පුළුවන් හැඩතල ටික ගැන පොඩි අධ්‍යයනයක් කරන්න. තව මාව පොඩ්ඩක් ඉස්සරහට ඒ පැත්තෙන් අරගෙන යන්න ඕනෑ.


මේ දවස්වල අධ්‍යක්‍ෂණයට සූදානම් වෙනවා?


එක ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න සූදානමක් තියෙනවා. මෙහි පිටපතත් සූදානම්. මේ පිටපත රෝහිත ජයකොඩි තමයි ලියන්නේ. ඔහු නවක පිටපත් රචකයෙක්. මට ඕනෑ වුණා අලුත් මානයකින් දකින්න. අපේ සාකච්ඡාව ඇතුළේ ඒක සාර්ථක වේවි කියලා මම විශ්වාස කරනවා. මෙහි නම චිකාගෝ බෝඩරේ.


අධ්‍යක්‍ෂණ කාර්යයට ප්‍රමාද වුණේ ඇයි?


මම තවම කල්පනා කරනවා මම ඉක්මන් වැඩීද කියලත්. මොකද මට අවශ්‍ය වුණේ නැහැ අධ්‍යක්‍ෂවරයෙක් වෙන්න. මට දැනටත් අවශ්‍යතාවයක් නැහැ. මම මේ මොහොතෙදිත් අවශ්‍ය නැහැ කියලාද කියලත් කල්පනා කරනවා. දැන් සෑහෙන කාල ප්‍රමාණයක් ගෙවිලා තියෙනවා. මේ මොහොතේදී ඒ අත්දැකීම ලබාගත්තා නම් නළුවෙක් විදිහට මම ගෙවන ඊළඟ ජීවිතයට ඒකෙ අවශ්‍යතාවය ඉතාම හොඳින් දැනේවි කියලාත් හිතනවා.


මේ දවස්වල ෂූටින් නැතිද?


එහෙම ලොකුවට වැඩක් භාර ගත්තේ නැහැ. ජේ. සුරේෂ් කියන ඉන්දීය අධ්‍යක්‍ෂවරයාගේ මයි සිම්බා කියන චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. ඒක ටිකක් වෙනස් අත්දැකීමක්. ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීමත් ඉතාම හොඳයි. රොෂාන් රණවන, නයෝමි තක්‍ෂිලා, රජිත හිරාන් වගේ නළු නිළියන් රැසක් මෙහි රඟපෑවා.


වේදිකා නාට්‍යවලින් ඈත් වෙලාද?


ඇත්තටම වේදිකා නාට්‍ය භාර ගත්තේ නෑ. ඒකට ප්‍රධානම හේතුව මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයයි. මම ඉන්න ආර්ථික අර්බුදයත් එක්ක වේදිකාවක් භාර ගන්න තරම් මානසිකත්වයක් මට නැහැ. ඒ හින්දා ඇත්තටම භාර ගත්තේ නෑ. ඒකට විශාල කැපකිරීමක් කරන්න ඕනෑ. මොකද වේදිකාව කියන්නේ විශාල කැපකිරීමක ප්‍රතිඵලයක්. ඒ කැපකිරීම කරන්න මගේ පර්ස් එක සූදානම් නැහැ.


ඔබට ලැබෙන වටිනාකම පිළිබඳව තෘප්තිමත්ද?


ඇත්තටම වේදිකාව කියලා කියන්නේ රංගන ශිල්පියකුට තමන්ව හදාගන්න තියෙන හොඳම ස්ථානයක්. ඒ ස්ථානය හදාගන්න යම්කිසි ආර්ථිකමය පදනමක් තියෙන්න ඕනෑ. මුල් කාලයේ අපි වේදිකාවෙමනේ හිටියේ. අපිට මොකුත් සල්ලි ප්‍රශ්නයක් තිබ්බෙත් නැහැ. ලංකාව ඇතුළේ ඉඳලා ටෙලි නාට්‍යයක දෙකක රඟපාලා චිත්‍රපටයක රඟපාන නළුවකුට හෝ නිළියකට නිශ්චිත මුදලක් හෝ වටිනාකමක් ඉන්දියාවේ වගේ ලැබෙනවා නම් වේදිකාවේ දිගටම හිටිය හැකියි. නමුත් මේ වේලාවේ මට ආර්ථික අතින් ඒක කරන්න ශක්තියක් නැහැ. අපි ඉතිං මාර සල්ලිකාරයෝ වුණා නම් වේදිකාව අතහරින්නේම නැහැ.


දිනේෂ් විතාන



Previous Post Next Post