මම කැමති නැහැ පුහුණුවක් නැතුව යුද්දෙට යන්න -රුමාල් ධනංජන




රුමාල් ධනංජන කියන්නේ නව පරපුරේ දක්ෂ නිවේදකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක්. රාජිණි නාට්‍යයේ රුමා ලෙස ප්‍රේක්ෂක ආදරේ දිනාගත් රුමාල් ධනංජන මේ දිනවල කා අතරත් ජනප්‍රිය වෙලා ඉන්නේ පාට කුරුල්ලෝ හි මෙවන් නිසා. ඒ නිසා මෙවන් ගැන වගේම රුමාල්ගේ කලා ජීවිතේ ගමන් මඟ කළ කෙටි කතාබහයි මේ.


පාට කුරුල්ලෝ හි මෙවන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාම උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා. හැමදාම ට්‍රෙන්ඩ්ඩින් වෙනවා අපේ එපිසෝඩ්. මේ දවස් වල ලංකාව පුරා වයිරල් වෙලා තියෙන එකම ටෙලි නාට්‍යය පාට කුරුල්ලෝ තමයි.


රුමාල්ගේ මුල්ම නාට්‍යය ගැන මතක් කළොත්?


දෙරණ නාලිකාවේ විකාශය වූ රාජිණි නාට්‍යය. එහි මගේ චරිතය වුණේ රුමා. මගේ නමත් රුමාල් නිසා මට ඇත්තටම යාළුවො කතා කළේ රුමා කියලා. ඒ නමින්ම මගේ පළමු මෙගා නාට්‍යය ලැබීමත් සතුටක්. අවුරුදු දෙකහාමාරක් වගේ කාලයක් රාජිණි නාට්‍යය විකාශය වුණා. මාව ප්‍රේක්ෂකයින් අතරට අරගෙන ගියේ රුමා කියන චරිතය.


ව්‍යාපාර පැත්තක් කරනවා කිව්වා, ඒ ගැනත් කිව්වොත්?


මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා රුමාල් මෝටර් පාට්ස් කියලා. වාහනවල අමතර කොටස් තමයි විකුණන්නේ. 2018දී පටන් ගත්තේ. මේ වෙනකම් මමම තනියම මහන්සි වෙලා රංගන සහ නිවේදන කටයුතු අස්සේ ඒකත් කරගෙන යනවා.


නළුවෙක් වෙන්න ඕනේ කියලා කොතැනදී ද හිතුණේ?


මම උසස් පෙළ ලිව්වට පස්සේ මට හිතුණා රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ කියලා. ඒ හැකියාව මගේ ඇඟේ තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ මම ඉම්පාස් එකට ගිහින් මුලින්ම රංගනය සහ නිවේදනය ගැන ඉගෙන ගත්තා. අවුරුදු පහක් විතර කාලයක් තව විවිධ වැඩමුළු වලට ගිහින් ෆිල්ම් ඇක්ටින් පිළිබඳව ඉගෙන ගත්තේ. ඊට පස්සේ තමයි මම නමක් තියෙන චරිතයක් කරන්නේ.


ඒ කැප කරපු කාලය ගැන අද මොකද හිතෙන්නේ?


අද ගොඩක් සතුටුයි. මගේ හීනයක් වෙලා තිබ්බේ රංගනයෙන් සහ නිවේදනයෙන් ඉදිරියට යන්න. ඒ දෙකම අද වෙද්දී සැබෑ වෙලා තියෙනවා. ඒ නිසා අද ලබන ප්‍රතිචාර එක්ක අද ඉන්න තැන ගැන මාරම සතුටුයි. තවම හරියටම මගේ හීනෙට ගියේ නැහැ. දවසක මම ඒ තැනට යනවා. ඒ බලාපොරොත්තු වෙනුවෙන් තවත් මහන්සි වෙලා ඇක්ටින් ගැන ඉගෙන ගනිමින් ඉස්සරහට යනවා.


වැඩ කරන්න ආසාවෙන් ඉන්න අධ්‍යක්ෂවරු ඉන්නවද?


මගේ ජීවිතේ මම වැඩ ආසාවෙන් හිටියා. ඒ තමයි පාට කුරුල්ලෝ නාට්‍යය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා. කියන්න සතුටුයි මම සුළු චරිතයක් කළ ක්‍රවුඩ් එකේ පෙනී සිටිය චරිතය කළ නාට්‍යයේ කෝටිපතියෝ නාට්‍යයේ අධ්‍යක්ෂවරයාත් ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා. මම බලාපොරොත්තුවෙන් හිටියා කවදා හරි ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ නාට්‍යයක නමක් තියෙන චරිතයක් කරන්න. ඒ සිහිනයත් දැන් සැබෑ වෙලා තියෙනවා.


සජිත, කුසල් සහ විරාජ් එක්කනේ පාට කුරුල්ලෝ හි ඉන්නේ, කොහොමද ඒ අත්දැකීම?


මතක් කරන්නම ඕනේ සජිත අයියාව. සජිත අයියා දෙන සපෝර්ට් එක ගැන කියලා නිම කරන්න බැහැ. මම එක තැනකදී කිව්වා සජිත අයියේ මට මේ චරිතය කර ගන්න අමාරුයි. මට මේකට උදව් කරන්න. මට ඔයාලත් එක්ක මේකට හැඩ ගැහෙන්න අමාරුයි කියලා, සජිත අයියා කිව්වේ බය වෙන්න එපා මම ඉන්නවා මේ චරිතේදී උඹට. ඕනේ දෙයකට ඕනේ වෙලාවක මම ඔයාගේ අඩුපාඩු හදන්නම්, ඕනෙම දෙයක් කියන්න. කතා කරන්න කිව්වා. එයා සීනියර් ආටිස් කෙනෙක් වෙලත් ඒ දෙන සපෝර්ට් එක ගැන මට මාරම සතුටුයි. ඒ වගේම තමයි කුසල් අයියා. අපිව ළඟින් තියාගෙන අඩුපාඩු හදාගෙන යනවා. විරාජ් එක්ක තමයි මම ගොඩක් වෙලාවට එකට ඇක්ට් කරන්නේ. විරාජ් කියන්නේ මට මෑත කාලයේ හමුවුණු හොඳම සඟයෙක්.


කොහොමද ප්‍රේක්ෂක ආදරේ සහ පෞද්ගලික ජීවිතේ ආදරේ?


ප්‍රේක්ෂක ආදරේ හැමදාම වගේ ලැබෙනවා. මඟ තොටේදී දැක්කත් කතා කරනවා. ඒකට මම හරි ආසයි. ඒ ආදරේ ලබා ගන්න මම හීන දැක්කා. අද ඉතින් ඒ ආදරේ නොඅඩුව ලැබෙනවා. පෞද්ගලික ජීවිතේ ආදරේ නම් තවම මම හොයනවා. කවදා හරි ප්‍රථම ආදරේ ළඟම ආදරේ කර ගන්න ලැබෙයි කියලා හිතනවා. ඒ කියන්නේ මගේ හිතේ හැමදාම තිබුණේ ප්‍රථම ආදරේ විවාහයක් දක්වා පවතින්න ඕනේ කියන සිතුවිල්ල.


මොනවගේ කෙනෙක් ද හොයන්නේ?


අනේ මම හොයන්නේ මගේ කලා කටයුතු නිවේදන කටයුතු සහ ව්‍යාපාර කටයුතුවලට උදව් කරන කෙනෙක්. අනික මාව තේරුම් අරගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්, මගේ අඩුපාඩු හදන්න පුළුවන් කෙනෙක්. එයාටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් සහ එයාගේත් යම් අරමුණක් තියෙනවා නම් ඒ දේටත් මට උදව් වෙන්න පුළුවන් කෙනෙක් මම හොයන්නේ. ඒ නිසා මගේ ප්‍රාර්ථනාව ප්‍රථම ආදරේම විවාහ කර ගන්න ලැබේවා කියලා.


පවුලේ කවුද ඉන්නේ


අම්මා, තාත්තා, අයියා, මල්ලි සහ මම ඉන්නේ. අයියා නම් දැන් විවාහ වෙලා ඉන්නේ. දැන් ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි මමයි.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගේ දැක්ම තමයි මගේ ව්‍යාපාර කටයුතු ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරයක් දක්වා දියුණු කර ගන්න ගමන් චිත්‍රපට ක්ෂේත්‍රයට එන එක. ඒ හීනය වෙනුවෙන් වැඩ කරන්න මම පටන් ගත්තා විතරයි. ඒ වෙනුවෙන් තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි වැඩ කරගෙන යන්නේ. අපි යුද්ධයට යනවා නම් යන්න කලින් පුහුණු වෙන්න ඕනනේ. මම කැමති නැහැ පුහුණුවක් නැතුව යුද්ධෙට යන්න. කතාවක් තියෙනවානේ පුහුණුවේ දහඩිය හෙලන්නා යුද්ධයේ දී ලේ නොහලයි කියලා. ඒ නිසා මටත් ඕනේ ඒ වගේ වෙන්න. ඒ නිසා කවදා හෝ සිනමාවෙන් මට ඇරයුමක් එනකම් ඒ වෙනුවෙන් මම පුහුණු වෙලා බලන් ඉන්නවා.


අනුෂා රණසිංහ




Previous Post Next Post