රීකන්ඩිෂන් කෙල්ල දිලූ ගැන යුරේනි කියපු කතාව




ඇය ලංකාවේ සමාජ මාධ්‍ය තුළ මෙන්ම කලා ක්‍ෂේත්‍රය තුළ පුවත් මවනා යුවතියක්. මේ දිනවල විකාශය වන ඇය රංගනයෙන් දායකවන ‘රීකන්ඩිෂන් කෙල්ල’ නිසා ඇය පිළිබඳව කතාබහක් ඇති වෙලා. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා. මේ දවස්වල විස්තර කොහොමද?


මේ වන විට ‘රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ගොඩක් දුරට අවසානයි. ඉතින් ඔය වැඩකටයුතු සමඟ කාලය ගෙවී යනවා.


රීකන්ඩිෂන් කෙල්ල දිලූගේ චරිතය නිර්මාණය වුණු ආකාරය ගැන කියමු?


අනුර ඒකනායකගේ කුළු¾දුල් ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය තමයි රීකන්ඩිෂන් කෙල්ල කියන්නේ. ඔහු ඩුබායිවල ඉන්න කාලේ තමයි මට මේ වැඩේ කරමු කියලා කතා කළේ. මම වගේ කෙනෙක්ට දිලූ වගේ චරිතයක් කරන්න පුළුවන් කියලා ඔහු හිතපු එකම ලොකු දෙයක්. මම මගේ රංගන ජීවිතයේ මේ වගේ චරිතයක් කරලා නැහැ. ඉතින් මට පුදුම හිතුණා. අනුර කියන්නේ හොඳ දැක්මක් තිබෙන අධ්‍යක්‍ෂවරයෙක්. ලංකාවේ පිටපත් රචකයන්ගේ ලොකු හිඟයක් තිබෙනවා. මට හිතෙන විධියට අනුර කියන්නේ පිටපත් රචනයේ


විශාරදවරයෙක්. ලංකාවේ බොහෝ අය මිනිස්සු දිහා බලන්නේ, මනින්නේ එකම කෝණයකින්. අනුර එහෙම නැහැ. ඔහුට මම කිව්වේ ඔයාට මං ගැන විශ්වාස නම් මම මේ අභියෝගය භාර ගන්නම් කියලා. මුලින්ම මට රංගන ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමඟ රඟපාන්න තිබෙන නිසා යම් පැකිළීමකුත් තිබුණා. ඒත් මම අභියෝග භාර ගන්න කැමැති කෙනෙක්. ඒ අනුව රීකන්ඩිෂන් කෙල්ල කියන්නේ මට පාසලක්. මම චාන්දනී සෙනවිරත්න, කළණ ගුණසේකර, ධර්මප්‍රිය ඩයස් වැනි හැමෝගෙන්ම බොහෝ දේ ඉගෙන ගත්තා. එහෙම තමයි රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍යයේ දිලූගේ චරිතය නිර්මාණය වුණේ.


රීකන්ඩිෂන් කෙල්ලට ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම මේ නාට්‍යයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතාලියේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ ඉන්න අයත් මේ නාට්‍ය බලනවා. සමහර කමෙන්ට්ස් කියෙව්වම මට තේරෙනවා ඒ අය මොනතරම් මේ චරිත සමඟ ජීවත් වෙනවද කියලා. ඇස්වලට ක¾දුළුත් එනවා ඒ කතා ඇහුවම. හැබැයි දැන් ප්‍රතිඵල ලැබෙන විට සතුටක් තිබෙනවා. මේ ලැබෙන ප්‍රතිචාර සමඟ කලාකරුවෝ විධියට අපි හරි වාසනාවන්තයි කියලා හිතෙනවා.


අපි දැකලා තියෙන යුරේනි කියන්නේ නාගරික කෙල්ලෙක්නේ. මේ චරිතය ඔබට මොන වගේ අභියෝගයක් වුණාද?


පළමු වැනි දවස් කිහිපය තුළ මට මේ චරිතය කරන්න ඉතා අපහසු වුණා. මේ චරිතය තේරුම් ගන්න, මේ චරිතයට අවතීර්ණ වෙන්න, අධ්‍යක්‍ෂවරයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද යන දේවල් තේරුම් ගැනීමේදී ගැටලු සහගත තැන් තිබුණා. ඉතින් මම හැමදාම සෙට් එකට ගියේ ‘මට මේක කරන්න පුළුවන්කම ලැබෙන්න’ කියලා යාඥා කරලා. අනෙක් දෙය එක දර්ශන වාරයක් තුළ රඟපාන විට අපිට තිබුණු දෙබස් ඉතා දීර්ඝයි. ඉතින් මට මේ චරිතය කරද්දී මට ලොකු ආතතියක් තිබුණා. හැමෝම මට මේ චරිතය කරන්න උදවු කළා. මෙවැනි චරිත අද සමාජයේ ගම්වල දකින්න පුළුවන්. එයාට ලොකු ගටක් තිබෙනවා. හැමෝම බලන්නේ මෙවැනි කෙල්ලන්ව පාවිච්චි කරන්න. ඇයගේ සිහිනය වෙන්නේ නිරූපණ ශිල්පිනියක් වෙන්න. අවාසනාවකට අද සමාජයේ එවැනි ගැහැනු ළමයින් හෑල්ලුවට ලක් කරනවා. ඉතින් අපි ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා බලමු.


අපිට යුරේනිව අනෙක් කලාකරුවන්ට සාපේක්ෂව සෝෂල් මීඩියාවල දකින්න ලැබෙන්නේ අඩුවෙන් මොකක්ද ඒ හේතුව?


සෝෂල් මීඩියාවල මම ලොකුවට නැහැ. මගේ මොකක් හරි දෙයක් තිබුණොත් ඒවා සෝෂල් මීඩියාවල පබ්ලිෂ් කරනවා හැරෙන්නෙ මම සෝෂල් මීඩියා බැඳගෙන කාගෙන ඉන්න ආස කෙනෙක් නෙවෙයි. මම පාඩුවේ ඉන්න කෙනෙක්. මම ෆේස්බුක් එහෙම යන්නෙම නැති තරම්. තව මිනිස්සුන්ගේ ගොසිප් බලන්න, කුණු අහන්න, තවත් මිනිහෙක්ට මඩ ගහනවා බලන්න මම සමාජ මාධ්‍ය භාවිත කරන්නේ නැහැ. ලංකාවේ බොහෝ දෙනෙක් සෝෂල් මීඩියා භාවිත කරන්නේ සෘණාත්මක දේවල් සිදු කරන්න. ඒවා බැලුවම අපේ මනසත් සෘණාත්මක වෙනවා. මට වැඩක් තිබෙනවා නම් මම සෝෂල් මීඩියාවල ඇක්ටිව් වෙනවා. නැත්නම් පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා.


Happy Hour දැන් සිය වැනි එපිසෝඩ් එකට ළඟයි. ඒක ගැන මොකද හිතෙන්නේ?


Happy Hour සිය වැනි එපිසෝඩ් එකෙන් ඉවර කරන්න ඉන්නේ. මට දැන් ඇති. ඕනම දෙයක් ඕනවට වඩා ඕන නැහැනේ. මම මේ වැඩසටහන අවුරුදු දෙකකට ආසන්න කාලයක් ආසාවෙන් කළා. මම නවත්වන්න ආසාවෙන් හිටියට මට නවත්වන්න දෙන එකක් නැහැ.


මේ දවස්වල දේශපාලනය උණුසුම් වෙලා.


ඒ ගැන මොකද හිතෙන්නේ?


දේශපාලනය ගැන මම කතා කරන්න කැමැති නැහැ. නිදහස ලැබිලා දැන් අපිට වසර 74ක්. නමුත් ජාතියක්, රටක් විධියට අපිට නිදහසක් ලැබිලා නැහැ. අපේ දේශපාලකයෝ හැමදාම කරන්නේ කාට හරි ගැතිකම් කරන එක. එතකොට අපිට රටක් විධියට ඉස්සරහට යන්න බැහැ. ඉතින් ලංකාවේ දේශපාලනය විශ්වාස කරන්න බැහැ. මිනිස්සු වේලක් කන්නත් ගොඩක් දුක් විඳිනවා. ඒ මිනිස්සු හැමදාම රැවටෙනවා. අපේ රටේ ස්වාභාවික සම්පත් හැමදෙයක්ම තිබෙනවා. අපේ රටේ හැමෝම ආත්මාර්ථකාමී බවෙන් මිදිලා රටට ආදරයෙන් වැඩ කළොත්. මේ රට ගොඩ යයි.


සංගීතමය වැඩකටයුතු අමතක කරලා දැම්මද?


මේ ළඟදී ළහිරු පෙරේරා කතා කළා. එයා මං වෙනුවෙන් සින්දුවක් හදලා. මම ඉතින් ඒ සින්දුව අහන්න ගියා. ඒක හරි ජොලි සින්දුවක්. ළහිරු පෙරේරා මේ දිනවල ඔහුගේ අලුත් සින්දුව එක්ක කාර්ය  බහුල වෙලා. ඊට පස්සේ මගේ ගීතයේ වැඩ පටන් ගන්නවා කිව්වා. එහෙම වුණොත් අලුත් ගීතයක් ඉක්මනින් එයි.


ඉදිරි වැඩකටයුතු මොනවාද?


ලබන වසරේදී අමල් අල්විස් අධ්‍යක්‍ෂණය කළ මම සහ අශාන් ඩයස් රංගනයෙන් දායකත්වය සැපයූ ‘Swans by the sea’ සිනමාපටය තිරගත වීමට නියමිතයි. ඒ වගේම හිරු ‘Mega Star’ Seson 4 එකේ වැඩකටයුතු සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා.  ඒ වගේම කටාර්, ඕස්ට්‍රේලියා සහ යුරෝපයේ ටුවර් වගයකට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් ජීවිතය හරිම සරල විධියට ගලාගෙන යනවා.


 ගිහාන් සචින්ත



Previous Post Next Post