රොකී නිසා මම ගොඩක් බැනුම් අහනවා-සචින් චතුරංග




ඔහු මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. පාර දිගේ නාට්‍ය හරහා බොහෝ දෙනාගේ සිත් දිනාගත් ඔහු රංගනයට මෙන්ම ගායනයටත් හැකියාව ඇති කලාකරුවෙක්. මේ දිනවල රොකී ටෙලි නාට්‍යය නිසා ඔහු පිළිබඳව කතා බහක් ඇති වෙලා. අද  එක් වන්නේ රංගන ශිල්පී සහ ගායක සචින් චතුරංග මෙන්ඩිස්. මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස්වල රොකී ටෙලි නාට්‍ය සහ සංසාරේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ කාලය ගෙවී යනවා. ඒ වගේම මගේ නවතම ගීතය මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ වගේම නිවේදන කටයුතුත් කරගෙන යනවා. මට මේ වන විට රිදී තිරයෙන් ආරාධනා ලැබී තිබෙනවා. මේ වන විට මම චිත්‍රපටි දෙකකට සහභාගි වුණා. ඒ වගේම ආකාශ් තාරුකගේ ‘කලර් පෙන්සිල්’ කියන චිත්‍රපටියට ආරාධනා ලැබිලා තිබෙනවා. මේක හරිම ලස්සන චිත්‍රපටියක්. ඒ වැඩ කටයුතු සමඟ කාලය ගෙවී යනවා.


මේ දිනවල විකාශය වන රොකී ටෙලි නාට්‍ය ගැන කතා කරමු?


ඇත්තටම රොකී ගැන කතා කරනවා නම් රොකී කියන්නේ වෙනස්ම ආකාරයක කතාවක්. ඒ කතාවේ පවුලක සහෝදර සහෝදරියො ඉන්න විධිය, ඒ ජීවන රටාව ගෙවී යන විධිය හරිම වෙනස්. ශාන් පුතා, රන්දික ගුණතිලක අයියා වගේ අය එක්ක රඟපාද්දී කාලය සතුටින් ගෙවිලා යනවා. මේ චරිතය ගැන කතා කරනවා නම් ඒ චරිතය ටිකක් ආත්මාර්ථකාමී තමන් ගැන හිතන චරිතයක්. නමුත් පස්සේ කාලෙක ප්‍රේක්ෂකයා තේරුම් ගනීවි ඇයි මෙයා ආත්මාර්ථකාමී වෙලා තිබෙන්නේ කියලා. මෙයාට මනුස්ස හැඟීම් නැද්ද කියන එක බලන්න මම ඉදිරියට භාර දෙනවා. මම ලොකුවට රොකී එකේ චරිතය ගැන කතා කරන්න කැමැති නැහැ. ඒ ගැන විචාරය කරන්න මම ප්‍රේක්ෂකයාට භාර දෙනවා. රොකී නිසා මම ගොඩක් බැනුම් අහනවා. මේක හරිම ලස්සන නාට්‍යක්. තව ඉස්සරහට මේ කතාව තවත් ලස්සන වේවි.


ඔබේ නවතම ගීතය ශෘංගාරි ගැන කතා කරනවා නම්?


මට එක පාරටම සින්දුවක් කරන්න ආසවක් ආවා. මම ඊට පස්සේ මේ ගීතයේ පද රචනාව සහ සංගීතය නිර්මාණය කරන්න දිදුල තුසර මල්ලිට දුන්නා. ශෘංගාරි ගීතයේ ලියවෙන්නේ ආදර කතාවක් ගැන. ශෘංගාරියේ තුළ තිබෙන්නේ හිතක මැවුණු අලංකාර ගැහැනු ළමයෙක් ගැන කතාවක්. ඉතින් මේක හරිම ලස්සන ගීතයක්. මේ වන විට මේ ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් තවමත් මේ ගීතය රසවින්ඳේ නැත්නම් දැන්ම රසවිඳින්න කියලත් ආරාධනා කරනවා.


අනෙක් සංගීත වැඩ කටයුතු ගැනත් කතා කරමු?


මේ ගීතයට පසුව මම තව ගීත තුනක් රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මගේ ඊළඟ ගීත ශෘංගාරියේ ගීතයට වඩා ගොඩක් වෙනස් වෙයි. මගේ තාත්තා තමයි ඒ ගීත රචනා කළේ. ප්‍රියංජිත් මංජුල මෙන්ඩිස්. ඔහු 1980 ගණන්වල තමයි ඒ ගීතය ලියලා තිබෙන්නේ. නමුත් ඒ ගීතයේ සංගීතය අපේ කාලයට ගැලපෙන විධියට නිර්මාණය කළා. ඉතින් ශෘංගාරියේ වගේම මේ ගීතත් ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳගනී කියලා මම සිතනවා.


අයියයි මල්ලියි තාත්තයි මේ කලා පවුලේ කතාන්දරය මොකක්ද?


අපි තුන්දෙනාගෙන් මුලින්ම කලා ක්ෂේත්‍රයට ආවේ අපේ අයියා දසුන් මදුශංක මෙන්ඩිස්. එයා හින්දා මම නළුවෙක් වෙන්න ආශා කළා. හැමෝම කියන කතාවක් තමයි එයා හැම තැනම රඟපානවා. මම හැම තැනම සින්දු කියනවා කියන එක. එයා රඟපාලා සම්මාන ගේනවා දැකලා තමයි මට නළු උණ ගැහුවේ. අපි දෙන්නට එක දිගටම වැඩ නිසා අපේ තාත්තට රස්සාවෙන් අස්වෙන්න වුණා. ඊට පසුව තාත්තා චිත්‍රපට ක්ෂේත්‍රයේ නිෂ්පාදක කළමණාකරුවෙක් ලෙස වැඩ කළා. ඊට පස්සේ ඔහුත් මේ ක්ෂේත්‍රයට ආවා. දැන් අයියා යම් කාලයකට කලා ජීවිතයට සමුදීලා තිබෙනවා. එයා ඉක්මනින්ම තව අලුත් වැඩකින් ප්‍රේක්ෂක ඔබ වෙත එයි. මමත් ඒ බලාපොරොත්තුවෙන් සිටිනවා.


ළමා නළුවෙක් ලෙස මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීම ඔබේ රංගනයට කළ බලපෑම කෙසේද?


ළමා නළුවෙක් ලෙස මම මේ ක්ෂේත්‍රයට පැමිණෙන විට ලංකාවේ අද බොහෝ දෙනෙක් ගරු කරන ආදරය කරන ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් වගේම ආදරය මට ලැබුණා. ඒවා මට මගේ රංගනය ඔප්නංවා ගන්න, වගේම මනුෂ්‍යයෙක් ලෙස ගොඩනැඟෙන්නත් ගොඩක් උපකාර වෙලා තිබෙනවා. ඔවුන් ඉතාම ගුණවත් ඒ වගේම හරිම සුහදශීලීයි. ඔවුන් මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ දේවල් මම මේ වෙද්දී ක්‍රියාවට නංවනවා. මේ ක්ෂේත්‍රයට අලුතෙන් එන අයටත් ඔවුන් මට කියාදුන් ඔවදන් මම කියලා දෙනවා. ළමා කාලය සමඟ සසඳා බලන විට අද ක්ෂේත්‍රය ගොඩක් වෙනස් වෙලා වැඩි දියුණු වෙලා. ඒ කාලේ මට ලැබුණු අත්දැකීම් මට අද වන විට බොහෝ ප්‍රයෝජනවත් වෙලා තිබෙනවා.


පාර දිගේ මතකය ගැනත් සිහිපත් කරන ගමන් රෝඩ්ස් ගැනත් මතක් කරමු?


පාර දිගේ කියන්නේ ප්‍රේක්ෂකයෝ ආදරයෙන් බලපු නාට්‍යයක්. විශේෂයෙන්ම සිවගුරුනාදන් මාමාව මේ මොහොතේ මතක් කරන්න ඕන. තිර රචනය කරපු සද්ධා මංගල සූරියබණ්ඩාර මාමාවත් ආදරෙන් මතක් කරන්න ඕන. රංගන දි සිල්වා අයියා තමයි මාව මේ නාට්‍යයට සම්බන්ධ කර ගන්න කියලා යෝජනා කළේ. පාර දිගේ නාට්‍යයෙන් අපි රෝඩ්ස් කියලා සංගීත කණ්ඩායමකුත් නිර්මාණය කළා. රෝඩ්ස් සංගීත කණ්ඩායම එක්කත් මම මේ දිනවල ගොඩක් කාර්යබහුල වෙලා. ඉතින් අපිට හරිම සතුටුයි. ලෝකයේ නිර්මාණය වුණු කිසිම චිත්‍රපටයකින් හෝ ටෙලි නාට්‍යයකින් සංගීත කණ්ඩායමක් නිර්මාණය වෙලා නැහැ. ඉතින් අපි ඒ දේ කළා. ඒක ලස්සනට ගලාගෙන යනවා. රෝඩ්ස් එක්ක ගෙවෙන ජීවිතය හරිම සතුටින් ගෙවිලා යනවා.


සචින් කියන්නේ ශරීරය ගැන හිතන කෙනෙක් මේ ගැනත් කියනවා නම්?


ඔව් මම ශරීරයට ගොඩක් ආදරය කරනවා. මට ජිම් යන්න ඇඟ හදන්න පිස්සුව ගැහුවේ මගේ ලොකු අයියා නිසා. එයා ගැන නම් ගොඩක් අය දන්නෙ නැහැ. ජිම් ගියේ නැති වුණාම මට හරියට කෑවේ නැහැ වගේ. මම ඇඟ හදන්න හරිම ආසයි. ඒක තේරුම් කරන්න බැරි උමතුවක්. ඒ දෙය මම ආසාවෙන් ආදරයෙන් කැමැත්තෙන් කරනවා. ජාත්‍යන්තර කායවර්ධන තරගවලට සහභාගි වෙන්නත් ආසාවෙන් සිටිනවා.


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?


ඉදිරියේදී මගේ ජීවිතය ගොඩක් වෙනස් වෙයි. සංගීතමය පැත්තට පොඩ්ඩක් බර වෙන්න ආසයි. රඟපාන එකත් දිගටම කරන්න ආසයි. ව්‍යාපාරය ගැනත් පොඩි අදහසක් තිබෙනවා. මේ හැමදේම ලබන වසරෙදී සපල කර ගන්න තමයි අදහස තිබෙන්නේ.


ගිහාන් සචින්ත



Previous Post Next Post