නොදන්න දේවල් කරන්න යන්නෙ නැහැ – වොල්ගා කල්පනී




මේ දිනවල විකාශය වන ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලි නාට්‍යයේ හිමායා ලෙසින් ඔබේ ආලින්දයට ගොඩවන ඇය සම්මානනීය රංගන ශිල්පිනියක්. සෙමින් ගමනක් හැමදාම ප්‍රිය කළ ඇය, වැඩ ලැබෙන තරමට තමන්ගෙ ගොඩ වැඩිකරගන්න හිතුවෙ නැහැ. ටික්ටොක් කරන දඟකාර ගැහැනු ළමයකුගේ චරිතයක් කළත් සැබෑවට ටික්ටොක් නොකරන ඇය වොල්ගා කල්පනී.

වොල්ගා, මේ දිනවල ෆ්ලැට් නොවන ෆ්ලැට් දකින්න ලැබෙනව. හිමායා ගැන රසිකයො මොකද කියන්නෙ?


මට මේ ටෙලි නාට්‍යයේ ලැබිල තියෙන්නෙ ටික් ටොක් කරන ගෑනු ළමයකුගේ චරිතයක්. ටික කාලෙකට පස්සෙ තමයි මට මේ වගේ දඟකාර චරිතයක් ලැබුණෙ. මේ වන විට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනව.


වොල්ගාට සැබෑවටම ටික්ටොක් එකවුන්ට් එකක් තියෙනවද?


අලුතෙන් පොඩි පොඩි වැඩ ටිකක් කරන නිසා එකවුන්ට් එකක් හදාගෙන තියෙනව. නමුත් මම ටික්ටොක් කරන්නෙ නැහැ.


රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?


ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලියේ රූගත කිරීම් කරන්නෙ නාරාහේන්පිට ඇන්ඩර්සන් ෆ්ලැට් එකේ. මුලින්ම කියන්න ඕන, ඒවායේ නිවැසියන්ගෙන් රූගතකිරීම් කරද්දි අපිට ලොකු සහයෝගයක් ලැබෙනව. විශේෂයෙන්ම කියන්න ඕන, මේක රූපවාහිනියෙ ඇතුළෙ ප්‍රොඩක්ෂන් එකක්. විනය සහ ඉවසීම ගොඩක් හොඳට තියෙන කණ්ඩායමක් එක්ක තමයි අපි වැඩ කරන්නෙ. සමහරවිට ඒක අධ්‍යක්‍ෂවරයා නිසා වුණ දෙයක් වෙන්නත් පුළුවන්. මොකද ඔහු හරිම ආදණීය චරිතයක්. රංගන ශිල්පීන් ඇතුළු මුලු කණ්ඩායම ම වැඩකරන්නෙ හරිම එකමුතුකමින්. මේ ළඟකදිත් කතා වුණා ෂූටිං ඉවර වුණාට පස්සෙ අපිට දුක හිතෙයි නේද කියල.


මාවෝ ලක්‍ෂිත බොහෝ කාලෙකට පස්සෙ රූපවාහිනියට ගොඩවෙද්දි ඔබටත් අවස්ථාවක් ලැබෙනව?


අවුරුදු හයකට පස්සෙ කරන ප්‍රොඩක්ෂන් එක. ඇත්තටම මේක මගේ වාසනාවට වගේම යමක් ඉගෙනගන්න මට ලැබුණ හොඳ අවස්ථාවක්. කොහොමත් මේ වගේ වාසනාවන්ත තැන්වල මම ටිකක් ගෑවෙනව.


වෙන මොනවද වැඩකටයුතු?


මම වැඩ පටලවාගන්න කෙනෙක් නෙමෙයි. වෙන වැඩක් භාරගත්තෙ නැහැ. මේ දවස්වල මේ නිර්මාණයට විතරයි සම්බන්ධවෙලා ඉන්නෙ. මගේ කොණ්ඩෙ පාටත් වෙනස් කරන්න සිදුවුණ නිසා තව වැඩක් භාරගන්න කොහොමත් ටිකක් ඉන්න වෙනව.


එකවරකට එක වැඩක් පමණක් භාරගන්නෙ ඇයි?


මූලිකම දේ මම කාර්යබහුල වෙන්න කැමති නැහැ. අපි තන්හාවට, ආසාවට, පෙරේතකමට හැමදෙයක්ම භාරගත්තොත් එක වැඩක්වත් හරියට කරන්න වෙන්නෙ නැහැනෙ. එක වැඩක් කළාම ඒක හරියට කරල එතැනින් ඉවර කරන්න පුළුවන්. මගේ විදිහ ඒකයි. අද අපි දකිනව මොන දෙයක් හරි කරල ජනප්‍රිය වෙන්න හදන අයව. එහෙම නැතිව හිමින් ගමනක් යන එක හොඳයි කියලයි මම ඉස්සර ඉඳන් හිතුවෙ.


මෙහෙම වෙනකොට ජනප්‍රියත්වය අඩුවෙයි නේද?


මම වැඩ ගොඩක් කළේ නැති වුණාට ප්‍රේක්‍ෂකයො මා හැමදාම ඒ තැන තිබ්බා. මම ජනයාට ප්‍රියයි කියල දන්නව, නමුත් ක්‍ෂේත්‍රයට ආපු දවසෙ ඉඳන්ම ජනප්‍රියත්වය පසුපස ගියේ නැහැ. ජීවිතයෙදිත් එහෙමයි, අපිට ලැබෙන්න තියෙන දේවල් ලැබෙනව, නොලැබෙන දේවල් මගහැරෙනව. ඒ නිසා මධ්‍යස්ථ ගමනක් යන එක හොඳයි.


ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලියට ලැබුණ ආරාධනයත් තෝරාබේරාගෙනද භාරගත්තෙ?


නැහැ, මේ ආරාධනයනම් දෙපාරක් නොහිතා භාරගත්තා. ඒකට හේතුව වුණේ මාවෝ අයියගෙ නිර්මාණයක් වීම. ඒ වගේම රූපවාහිනිය ඇතුළෙන් කෙරෙන වැඩක් කියල දැනගත්තාම හිතන්න දෙයක් කොහොමටවත්ම තිබුණෙ නැහැ.


සිනමාවට අලුත් ආරාධනා නැද්ද?


මට ටෙලි නාට්‍යයට තරම් සිනමාවට ආරාධනා ලැබෙන්නෙ නැහැ. නමුත් ලැබෙන සමහර ආරාධනා තුළ මගේ සීමා මායිම් ඇතුළෙ රඟපාන්න බැරි තැන් මට තියෙනව. එහෙම වෙනකොට ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න සිදු වෙනව.


ෆ්ලැට් නොවන ෆ්ලැට් තුළින් කතාබහ කෙරෙන්නෙ මොන වගේ දෙයක්ද?


මේ නිර්මාණයෙන් කතාවෙන්නෙ කාලීන මාතෘකාවක්. මිනිස්සු තමන්ට වටිනා බැඳීම් පැත්තකට දාලා, තරගකාරී සමාජයක මොකක්දෝ මිරිඟුවක් පස්සෙ දුවනව. ඒ වගේම වර්තමානයේ මිනිස්සු හරිම තෘෂ්ණාවෙන් ජීවත් වෙනව. මේක එවැනි මිනිසුන් නැරඹිය යුතුම ටෙලිනාට්‍යයක්.


ලැබෙන ආරාධනා ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?


මේක හරි ගෞරවනීය වෘත්තියක්. අපේ ක්‍ෂේත්‍රය තුළ වුණත් තේරුමක් නැති වැඩවලට මට කතාකරන්නෙ නැහැ.


මෙතෙක් ලැබුණ චරිත ගැන අදහස මොන වගේද?


මෙතෙක් ලැබුණ හැම චරිතයකටම මම හරි ආදරෙයි සහ හරිම සතුටුයි. ප්‍රවීණ සහ නවක අධ්‍යක්‍ෂවරු යටතේ වැඩකරන්න හට අවස්ථාව ලැබිල තියෙනව. රංගනය කියන වෘත්තිය තුළ මම හරිම තෘප්තිමත්.


වේදිකාවේ තොරතුරු මොනවද?


වේදිකාවට ආරාධනා දෙකක් ලැබුණා. ඒ දෙකම මට තෘප්තිමත් වෙන්න පුළුවන් තත්ත්වයක තිබුණෙ නැහැ.


ක්‍ෂේත්‍රයේ වර්තමානය ඔබ දකින්නෙ කොහොමද?


වර්තමානයේ මේ ක්‍ෂේත්‍රයේ බිහිවෙන නිර්මාණ ගැන කතාකරන්න තරම් නම් මම ප්‍රවීණයෙක් නෙමෙයි. නමුත් මට වැඩිය අලුත් අය ගැන නම් තියෙන්නෙ කනගාටුවක්. මොකද විනය කියන දේ ඇත්තෙම නැහැ. සමාජ මාධ්‍යයට අනවශ්‍ය ලෙස ඉඩක් දීල තියෙනව. මොනවා කරල හරි කමක් නෑ ජනප්‍රිය වෙන්න ඔන කියන තැනක ඉන්නෙ.


වොල්ගා සෝෂල් මීඩියාවල නැද්ද?


ඇත්තටම මම සෝෂල් මීඩියා ගැන දන්නෙ නැහැ. ඒ නිසා නොදන්න දේවල් කරන්න යන්නෙ නැහැ. පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න මට වුවමනාත් නැහැ.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post