මම ගන්න තීරණ දිහා දුව උපේක්ෂාවෙන් බලනවා - මීනා කුමාරි


 මීනා කුමාරි පනහ හැට දශකවල ඉන්දියානු ආදරය දිනූ සුරූපී හින්දි නිළියකි. ඉන්දියානුවන්ට ඒ මීනා කුමාරි නැවතත් මතක් කළ අපේ නිළියකි. ඇය ලංකාවේ මීනා කුමාරිය. කලාත්මක මලයාලම් චිත්‍රපටයක රඟපෑ එකම ශ්‍රී ලාංකික කලා ශිල්පිනිය වන ඇයට ඉන්දියාවේදී රසිකයන් ආමන්ත්‍රණය කර ඇත්තේ ‘ලංකාවේ මිනා කුමාරි' යන නමිනි. වසූදා ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය
ඇයව ‘වසූදා’ ලෙස මතක තවත් පිරිසකි. රංගනයේ අතීත මතක ගැන කතා කරන අතර පෞද්ගලික තොරතුරු සහ වර්තමාන කලා කටයුතු ගැන මීනා කුමාරි නම් ඇය 'සඳමඬලට' කීවේ මෙහෙමය.

1989 දී. ඒ කියන්නේ මම ඉස්කෝලෙන් අයින් වෙච්ච කාලේ, මම සාජි එන්. කරුන් අධ්‍යක්ෂණය කළ පිරවි' කියලා කලාත්මක මලයාලම් චිත්‍රපටයක් නැරඹුවා. ඒක බොහොම ලස්සන චිත්‍රපටයක්. කොහොම හරි ' වසූදා අවසාන කාලේ රංජනී රත්න විභූෂණ මට කතා කරලා ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මලයාලම් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට නිළියක් හොයන්න ලංකාවට එනවා කියලා කිව්වා. ඉතින් මමත් එදා තිර පරීක්ෂණයට සහභාගි වෙලා බැලුවා. කොහොම හරි අවසානෙදී ඔහු මාව තෝරගෙන තිබුණා. මම ආසාවෙන් බලපු චිත්‍රපටයක අධ්‍යක්ෂවරයෙක් එක්ක ඒ විදිහට වැඩ කරන්න ලැබෙයි කියලා මම හීනෙකින්වත් හිතලා තිබුණෙ නැහැ. කොහොම හරි අපි ඉන්දියාවේ තමයි තිරගත කිරීම් කළේ."

ඇය 2009 ඉන්දියාවේ තිරගත වුණු කුට්ටි ශාන්ක්' කියන ඒ චිත්‍රපටයේ රඟපෑවේ ඉන්දියාවේ දේවත්වයෙන් අදහන මලයාලම් නළු මම්මුතී සමඟයි.

"ඔහු එක්ක වැඩ කරන්න හරිම පහසුයි. නිහතමානී පුද්ගලයෙක්. ඊට අමතරව මම රංගන ශිල්පිනියක් විදිහට එහිදී ලොකු අත්දැකීමක් ලැබුවා. උදාහරණයක් විදිහට ලංකාවේ තිරගතකිරීම් වෙන්නේ බොහොම සාමාන්‍ය විදිහටනේ. එහේ එහෙම නෙවෙයි ලොකු කැරවෑන් එකක් ගෙනල්ලා ලොකු ප්‍රඩක්ෂන් එකක් කරනවා. කොටින්ම කිව්වොත් එහි නළු නිළියන්ට සෙරෙප්පු දෙක ගලවලා තවත් සෙරෙප්පු දෙකක් දාන්නත් පිරිස ඉන්නවා. කලාකරුවන්ට හොඳින් සලකන එක ඉන්දියානු චිත්‍රපට  ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට බලපෑවා වෙන්නත් පුළුවන් .

කොහොම වුණත් එහි රසිකයෝ මට ගොඩක් ආදරේ වුණා. මම යන කොට ලංකාවේ 'මීනා කුමාරි ' කියලා හයියෙන් කෑ ගහනවා. ඒක බොහොම වටින අත්දැකීමක්. මේ චිත්‍රපටයට සම්මාන පවා ලැබුණා. සම්මාන උළෙලවලට මගේ නමත් නිර්දේශ වෙලා තිබුණා."

මීනා ඇය රඟපෑ මලයාලම් චිත්‍රපටයේ මතකය වගේම අපට ඇයව මතක හිටි වසූදා ගැන මතක් කරන්නත් අමතක කළේ
නැහැ.

"වසූදා ටෙලි නාට්‍යයේ රඟපානකොට දුවට අවුරුදු පහයි. මම දුව වෙනුවෙන් උපරිම කැපකිරීම් කරන අතරතුරේ නාට්‍ය වෙනුවෙනුත් ගොඩක් කැප වුණා. ඒ නිසාම 'වසූදා ' මම නොහිතුව විදිහට රසිකයන් අතරට ගියා. ඒ කාලෙ ලොකුවට දුරකථන තිබුණේ නැහැනේ. ඉතින් මට ලියුම් මිටි ගණන් ආවා. අදටත් ඒව මගේ ළඟ තියෙනවා. පාරෙ යන කොට කට්ටිය ළඟට ඇවිල්ල කතා කරනවා. එදා විතරක් නෙමෙයි අදටත් මට ගොඩක් අය කතා කරන්නේ වසූදා කියලයි. බාල, මහලු, තරුණ, සිංහල මුස්ලිම් භේදයක් නැතුව හැමෝම වසූදට ආදරය කළා.


ඒ නාට්‍යයෙන් ඒ තරම් ජනප්‍රියත්වයක් ලැබුවත්, ඊට පස්සේ ඔබ රංගනයෙන් ඈත් වෙනවා. ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ඇවිල්ලා එක පාර එහෙම නතර වෙන්න දුක හිතුණේ නැද්ද?

''දුව උසස් පෙළ කරද්දි මම වැඩ කළේ අඩුවෙන්. එයා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මම එයා වෙනුවෙන්ම හිටියා. මම කලාවෙන් ඈත් වෙලා ඒ කළ කැප කිරීම අහක ගියේ නැහැ. එයා විභාග ඉවර කරලා ඇයගේ කණ්ඩායමේ ඉහළම ලකුණු අරගෙන දැන් විදේශගත වෙලා උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ වගේම කලාව ගැන පසුතැවිලි නොවෙන්න මට තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි වසුදා' තුළින් මම දීපු පණිවුඩය. වසූදා කියන්නේ බොහොම ඉවසිලිවන්ත ගැහැනු කෙනෙක්. ඇය ඇයට එන ප්‍රශ්න වලදී පුළුවන් තරම් ඉවසනවා. ඉවසලා අවසානයේදී අවශ්‍ය තැනදී

බොහොම නිවැරදි සෘජු තීරණ ගන්නවා. මම දකින විදියට ඒක හොඳ බිරියකට තිබිය යුතු ලක්ෂණයක්. මේ චරිතය දිහා බලලා ඉවසීම ප්‍රගුණ කරපු කාන්තාවන් හිටියා. මේ මෑතකදී මට කෙනෙක් කතා කළා. පුතේ මම වසූදා එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, අදටත් මං ඔයාට පිං දෙනවා' කියලා ඇය කිව්වා. ඒ කාලේ වසූදාගේ ෆොටෝ එකක් රාමු කරලා තියාගෙන ප්‍රශ්නයක් ආවම ඒක දිහා බලලා හිත හයිය කරගත්තා කියලත් තව කෙනෙක් කිව්වා. ඉතින් මම රඟපාපු චරිතයකින් සමාජයේ ඒ තරම් දෙයක් ගත්තා කියලා දැනෙද්දී වැඩිපුර රඟපාන්න ලැබුණේ නැති එක ගැන කිසිම පසු තැවීමක් නැහැ. අනික මම රඟනොපා ඉන්න කාලෙදී මට වාණිජ මලයාලම් චිත්‍රපටවලට පවා ආරාධනා ආවා.

වසූදා' නිසා දැනෙන තෘප්තිය නිසා ඒ ගැනවත් මට අද දුකක් නැහැ." මීනත් සැබෑ ජීවිතයේදී වසූදා වගේ චරිතයක්ද?

"ඇත්තටම ඔව්. ඒ චරිතය ඇතුළෙ බාගෙට බාගයක්ම මම ඉන්නවා. මිනිස්සුන්ට ඒ චරිතය ඔච්චර දැනුණේ, විශ්වාස කළේ ඒ නිසා වෙන්න ඇති.”ඇය කතා කළේ බොහොම නිවුණු ස්වරයෙන් මීනා කුමාරි කතා කරනකොට ඇත්තටම 'වසුදා' චරිතය මගේ හිතේ ඇඳුණා.

"මේ වෙද්දී මම ආයෙත් කලා කටයුතු කරගෙන යනවා.
මගේ අම්මා තාත්තත් කලාවට ළැදි අය. ඒ අයගෙන්
මට ලොකු හයියක් හම්බෙනවා. ඒවගේම දුවත් කියන්නෙ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලයි. ඇත්තටම මගේ දුවගෙන් මගේ ජීවිතයට ලොකු හයියක් හම්බෙනවා”

 මීනා කලා ක්ෂේත්‍රයේ ඉන්නකොට විවිධ කටකතා හැදෙනවා. ඔබත් ඇතැම් තැන්වලදී එහෙම දේවලට මුහුණ දීලා ඇති. අම්ම කෙනෙක්, කාන්තාවක් විදියට ඔබ ඒ දේවල් දිහා උපේක්ෂාවෙන් බැලුවද?

"තමන් කරන දේ හරි නම් කාටවත් කරදරයක් නැත්නම් ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බලන්න පහසුයි. ජීවිතයේ සමහර අවස්ථාවලදී ගත්තු තීරණවලදී මම එහෙම තීරණ ගන්නේ ඇයි කියලා දුවට කියලා දුන්නා. ඇය බොහොම උපේක්ෂාවෙන් ඒ දේවල් තේරුම් ගත්තා. ඒවගේම ඇය නිතරම මට හයියක් වුණා."

ඒ උත්තරේට ඇය පිළිතුරු දුන්නේ එහෙමයි. මේ දිනවල ඇය 'රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි නාට්‍යයේ කන්‍යා සොයුරියකගේ චරිතයක් රඟපානවා. ඒ චරිතයටත් බොහෝ දෙනා ඇලුම් කරනවා කියලා ඇය කිව්වා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

Previous Post Next Post