ජීවිතේ අනතුරේ දාගෙන රාත්‍රී ප්‍රසංග ගොඩක් භාර ගන්නේ නැහැ -අමිලා නදිශානී




පාසල් අධ්‍යාපනය ලබන කාලයේදීම ඇය සංගීතය හා ගායනය ප්‍රගුණ කළාය. ඉන් අනතුරුව අධ්‍යාපනය හමාර වීමෙන් පසු කණ්ඩායම් සංගීතය සඳහා ඇය එක් වූවාය. එලෙස කටයුතු කරමින් රූපවාහිනී ගායන රියැලිටි වැඩසටහන් කලාවේ මූලාරම්භයේම ඇය මෙරට ගායන ක්ෂේත්‍රයට පිවිසුණාය. ඒ සිරස රූපවාහිනී සේවය දියත් කළ සිරස සුපර් ස්ටාර්ස් නම් ගායන රියැලිටි වැඩසටහන තුළිනි. සුහසක් ප්‍රේක්ෂක ශ්‍රාවක ජනතාවගේ අසීමිත ප්‍රතිචාර ලබමින් ජනප්‍රියත්වයේ ඉහළම තැනට පැමිණීමට ඇයට ඉන් හැකි වූවාය. එදා මෙන්ම අදත් ඇය ලැබූ ඒ ජනප්‍රියත්වය නම් කිසිදු අඩුවක් නැත. එනිසාම අදටත් ප්‍රසංග වේදිකාවේ කාර්යය බහුලම ගායන ශිල්පිනිය බවට පත්ව ඇත. ඒ කාර්යය බහුලත්වයත් සමඟින් හා හා පුරා කියා අප හා කතා කිරීමට ද ඇය අමතක කළේ නැත. මෙවර අප හා කතාබහට එකතු වන්නේ ජනප්‍රියතම යොවුන් ගායන ශිල්පිනී අමිලා නදීශානිය‍.


අමිලාගේ පවුලේ විස්තර කිව්වොත්


මගේ පවුලේ විස්තර කිව්වොත් මමයි, මගෙ හස්බනුයි, දුවයි, පුතයි. මගේ හස්බන්ඩ් කේ.ජී.සමන්ත. මගේ පුතා කේ.ජී.බිතුම් චානක්‍ය. මගේ දුව කේ.ජී.ලිතුම්‍යා සිතුම්දි. පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ එයා අධ්‍යාපනය සඳහා එහෙ ගිහිල්ලා ඉන්නවා. දුව තවම විදුර විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් ඉන්නවා හත වසරේ. එතකොට මගේ තාත්තා නෑ. අම්මා අපි ගාව ජීවත් වෙනවා.


ඔබ ඉන්නේ කොහෙද?


අපි බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තමා ජීවත් වෙන්නේ.


අමිලා පාසල් ගියේ


කිරිඇල්ල සෙන්ට්‍රල් එකට ගියා මම ඕලෙවෙල් (සාමාන්‍ය පෙළ) වලට. ඊට පස්සෙ ඒ ලෙවෙල් (උසස් පෙළ) සඳහා රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකාවට තමා ගියේ.


ඒ කාලේ අරමුණක් තිබුණද ගායිකාවක් වෙනවා කියලා


පුංචි කාලේ ඉදං අරමුණක් තිබුණා ගායිකාවක් වෙනවා කියලා. ඒ අරමුණ සඳහාම තමයි මම කටයුතු කළේ.


කොහොමද කොයි කාලේද ගායනයට එන්නේ?


පාසල් යන කාලේ ඉදං ගායන කටයුතුවලට සහභාගී වුණා. ඒ කියන්නෙ ගායනය හා සංගීතය හැදෑරුවා ඉස්කෝලෙ යන කාලේ ඉදලම. ඊට පස්සේ ඒලෙවෙල් (ඒ/ඹ්) කරලා ඉවරවෙලා තමයි මම කණ්ඩායම් සංගීත වැඩවලට එකතු වුණේ. මම පාසල් අවධියෙන් පස්සෙ විවාහ වුණාට පසුවත් හස්බන්ඩ්ගෙ සංගීත කණ්ඩායමෙන් තමයි මම කණ්ඩායම් සංගීතයට මුලින්ම එන්නෙ. ඊට පස්සේ අනුරාධපුර සුරංගා සංගීත කණ්ඩායම, කාන්තා සංගීත කණ්ඩායමෙන් තමයි මම ප්‍රසංග වේදිකාවට මුලින්ම අවතීරණ වෙන්නේ. කණ්ඩායම් සංගීත කටයුතු වලින් පස්සේ දෙදාස් හතේ (2007) දී තමයි සිරස සුපර් ස්ටාර්ස් වේදිකාවෙන් මම හිට් වෙන්නේ. ඒ ජනප්‍රියත්වයෙන් පස්සේ ප්‍රසංග වේදිකාවට ලංකාවේ සහ පිටරට වලත් ප්‍රසිද්ධියට පත් වුණා. ඉතිං මම එහෙම තමයි ගායන තරුවක් බවට පත් වුණේ.


එදා ගැයූ ප්‍රථම ගීතය


ගැයූ ප්‍රථම ගීතය කියලා කිව්වොත් ඇත්තටම මේ… කොට උඩ මන්දිරය කියන ටෙලිඩ්‍රාමා එකේ මම ඇන්ටන් ජූඩ් (නැසීගිය රංගන හා ගායනවේදී ඇන්ටන් ජූඩ් මහතා) මහත්මාත් එක්ක සෝන්ග් (song)) එකක් ගායනා කළා. ඊට පස්සෙ මම “මේ රැ පායන්න එපා” කියන ගීතය තමයි මගේම ගීතයක් හැටියට ප්‍රථම වරට පටිගත කළේ. අ…ඊටත් පස්සේ ඉතිං මම ගීත ගණනාවක්ම ගායනය කළා. ගැයූ ගීත ප්‍රමාණය කියන්න පුළුවන්ද?


දැනට මගේම ගීත සියයක් (100) පමණ මම ගායනා කරලා තියෙනවා.


ඒවායින් වඩාත් ජනප්‍රිය වුණු ගීත මොනවාද?


“ඔබ දන්නවාද දන්නවාද දන්නෙ නෑ”, ඒවගේම “හිතුවක්කාර මනමාලි”, “දෑ සමන් රේණු” ඒ වගේ ගීත ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ජනප්‍රිය සහ ප්‍රසිද්ධ ගීත රැසක් මට දැන් මගේ ප්‍රසංග වේදිකාවේදී ගායනය කරන්න හිමිවෙලා තියෙනවා. ඉතිං ඒවගේම ගොඩාක් වෙලාවට ටෙලිඩ්‍රාමා සෝන්ග් (ඉධදඨඵ) ගත්තහම මම දැනට ටෙලිඩ්‍රාමා 25ක විතර ගීත ගායනා කරලා තියෙනවා. චිත්‍රපටත් 10ක විතර දැනට ගීත ගායනා කරලා තියෙනවා.


මෑතකදී අලුත් ගීත කළේ නැද්ද? අවසන්වරට අලුත් ගීතයක් කළේ කවද්ද?


මෑතකදීත් සින්දු පහක් විතර අලුතින් කළා. නිතරම සාමාන්‍යයෙන් මම ම අලුත් ගීත මොනවා හරි කරනවා. මෑතකදීත් ඒ වගේ කරපු මගේ අලුත්ම ගීත කිහිපයක් ජනප්‍රිය වුණා. ඉතිං ඒ වගේ නිතර නිතර මං අලුත් ගීත කරනවා. ඒ වගේම ගොඩාක් වෙලාවට මගේ හඬ යොදාගෙන ආධුනික ශිල්පීන්ට ගොඩාක් ගීත නිර්මාණ කටයුතු කරනවා. ඉතිං ඒ වගේ ඒවටත් දායක වෙනවා.


ඔබ වෘත්තීය ගායන ශිල්පිනියක්නේ ? මේ දවස්වල ප්‍රසංග එහෙමත් තියෙනවද?


මේ දවස්වල දිගටම ප්‍රසංග තියෙනවා සීසන් එක නිසා. ඉතිං දිගටම ප්‍රසංග වලට සහභාගී වෙනවා.


දවසකට වැඩිම ප්‍රසංග කීයක විතර ඔබ ගීත ගායනා කරලා තියෙනවද?


වැඩිම කියනවනං ප්‍රසංග පහක වගේ ගීත ගායනා කරලා තියෙනවා. හැබැයි මේ මෑතකදි නම් නෙවෙයි. මෑතකදි නම් ඇත්තටම ගී ප්‍රසංග තුනකට වඩා මම කරන්න යන්නෙ නෑ ගොඩාක් වෙලාවට දෙකක් තමයි. ඊට වඩා නම් යන්නේ නැහැ. මොකද ජීවිතය අනතුරේ තියලා වේගෙන් ගිහිල්ලා ප්‍රසංගවලට සහභාගී වීම මම අනිවාර්යනේම කරන්නෙ නැහැ. ඉස්සර කළාට දැන්නම් කොහෙත්ම එහෙම කරන්නෙ නැහැ.


අමිලාගේ වයස කියන්න පුළුවන්ද?


මගේ වයස අවුරුදු (44) හතළිස් හතරයි.


ඔබ විවාහකයි. සැමියා ගැනත් කියමු. ඔහු සංගීතයට සම්බන්ධයි ද?


විවාහකයි. කොහොමත් මම විවාහකයි කියලා මුළු ලංකාවම දන්නවා. එයා මියුසීෂියන් කෙනෙක්. එයා කී බෝඩ් (keyboard) වාදන ශිල්පියෙක්.


අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද?


අවසාන වශයෙන් කියන්න තියෙනවද කියන්නේ ඉතිං ගායිකාවක් වුණාම ගොඩක් වෙලාවට කාර්යය බහුලයි. ඉතිං මොන දේ තිබුණත් ජීවිතේ සාර්ථකව ගත කරන්න වුණේ හැමඅතින්ම සාර්ථක වෘත්තිමය ගායන ශිල්පිනියක් හැටියට මම සතුටින් කාලය ගත කරනවා. මේ දවස්වල නම් ටිකක් උගුරත් අසනීපෙන් ඉන්නේ මොකද ගොඩාක් කාර්යය බහුල නිසා ඉතිං මොන කාර්යය බහුලත්වය තිබුණත් නොපිරිහෙළා ඉටු කරන්න තියෙන කාර්යයන් අමතක නොකර ඉටු කරන්න මම වග බලා ගන්නවා. ඒක තමා මගේ ජීවිතේ සාර්ථකත්වය කියන එක කියලා මම විශ්වාස කරනවා.



Previous Post Next Post