නළුවා ලස්සන වෙන්න ඕන රඟපානකොට – බුද්ධික ජයරත්න



බුද්ධික ජයරත්න අපේ රටේ රිදී තිරයට වගේම පුංචි තිරයටත් අලුත් කෙනෙක් නෙමෙයි. නමුත් ඔහුගේ රංගන හැකියාව අද වන විට විදෙස් සිනමාවත් හැඩකරන්නට සමත් වෙලා. අරුගම්බේ සහ Sunnny’s Mansion යන විදෙස් සිනමා නිර්මාණ ඒකට හොඳම උදාහරණ සපයනව. මේ අතර බුද්ධික රංගනයෙන් දායක වුණ ‘සීරුවෙන්’ සිනමා නිර්මාණයත් මේ දිනවල සාර්ථකව තිරගත වෙනව.

බුද්ධික, මේ දිනවල ‘සීරුවෙන්’ සාර්ථකව තිරගත වෙනව?


අද කාලෙ හොරර් ත්‍රිලර් කියන සංකල්පය යටතේ එන චිත්‍රපට හරි ජනප්‍රියයි. අපේ කාලෙත් ඩ්‍රැක්‍යුලා වගේ චිත්‍රපට තිබුණ. නමුත් අපි ඒවා බැලුවෙ හරි බයෙන්. දැන් ලෝකය ඊට වඩා වෙනස්. ‘සීරුවෙන්’ කියන සිනමා නිර්මාණයත් වැටෙන්නෙ මේ හොරර් ත්‍රිලර් කියන ගනයට. අධ්‍යක්‍ෂවරයෙක් හැටියට සුදේශ් වසන්ත පීරිස් ඒ අභියෝගය සාර්ථකව ජයගෙන තියෙනව. ඒ වගේම මෙවැනි නිර්මාණයක් නිෂ්පාදනය කරන්න පෙළඹුණ නිහාල් විජේසිංහ මහත්මයාටත් මම ස්තූතිවන්ත වෙනව.


ප්‍රේක්‍ෂකයා මෙවැනි නිර්මාණයක් මොන ආකාරයෙන් භාරගනීවිද කියල අදහසක් තිබුණද?


අපිටත් පොඩි දෙගිඩියාවක් තිබුණ හොරර් ත්‍රිලර් ගනයේ චිත්‍රපටයක් අපේ රටේ ප්‍රේක්‍ෂකයා කොහොම භාරගනීවිද, ෆැමිලි ඕඩියන්ස් එකක් නැතිවෙයිද කියන දේ ගැන. නමුත් මේ වන විට අපිට ලැබෙන තොරතුරු එක්ක දැනගන්න ලැබෙන්නෙ චිත්‍රපටය නරඹන ප්‍රේක්‍ෂක පිරිස දිනෙන් දින වැඩිවෙනව කියල. ඒ තුළ අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රේක්‍ෂක ආකර්ශනයක් මේ චිත්‍රපටයට ලැබිල තියෙනව.


ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී සමග එකට රඟපාන්න ලැබීම ඔබට මොන වගේ අත්දැකීමක්ද?


ජැක්සන් ඇන්තනී මහත්මයා ගැන කතාකරනකොට, එතුමාගේ වියෝවත් එක්ක බොහොම සංවේදී පැත්තකුත් තියෙනවනෙ. මෙතනදි ප්‍රේක්‍ෂකයා දකින්නෙ එතුමාගේ රඟපෑම පමණයි. අපි මේ රූගතකිරීම් කළේ නතරවෙලා. ඒ කාලය තුළ අපි එකට හිටියෙ. අපි විවිධ දේවල් කතා කළා, එකට කෑවා, සිංදු කිව්වා, විහිළු තහළු කළා මේ දේවල් මතක් වෙනකොට වේදනාවක් දැනෙනව. එතුමාගේ රංගනය ගත්තොත්, ඒ දිහා බලාගෙන ඉන්න එකත් අපිට හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන් අවස්ථාවක්. රංගධරයා කියනදේ වෘත්තීයමය වශයෙන් එතුමාගේ දක්‍ෂතාවට ගෞරවයක් වශයෙන් කිව්වට අපිට සරල සාමාන්‍ය මනුස්සයෙක්. අපේ හිතවත්කම අවුරුදු ගාණක් තිබුණට අපිට එකට වැඩකරන්න ලැබුණෙ නැහැ. මේ තමයි අපිට එකට වැඩ කරන්න ලැබුණ අවස්ථාව. ඒක හරිම සුන්දර අත්දැකීමක්.


චිත්‍රපටය තිරගත වන විට රංගන ශිල්පියාගේ කාර්යභාරය අවසන් වෙනවද?


අපි චිත්‍රපටයක රඟපාල ලැබෙන වේතනය ගන්නව කියන දේට වඩා රංගන ශිල්පීන්ට විශේෂ කාර්යභාරයක් තියෙනව, නිර්මාණය තිරගත කරන අවස්ථාවේ නිෂ්පාදන කණ්ඩායමට දෙන සහයෝගය. මට පුළුවන් හැම අවස්ථාවකම ඒ සහයෝගය මම ලබාදෙනව. මොකද චිත්‍රපටය දුවන්න ඕන. නිෂ්පාදකවරයා ජයග්‍රහණය කරන්න ඕනා. එහෙම නොවුණොත් ඔහු අතින් තවත් නිර්මාණයක් බිහිවෙන්නෙ නැහැ.


මොනවද අලුත් වැඩකටයුතු?


චන්ද්‍රම් රත්නම් මහත්මයා ඔහුගේ අලුත් චිත්‍රපටයට මට ආරාධනා කළා. ඒ වගේම තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිල තියෙනව. මම සම්බන්ධ වුණ මගේ ප්‍රථම විදෙස් චිත්‍රපටය වන ‘අරුගම්බේ’ මේ මාසයේ තිරගත වෙනව. මේක මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම මගේ දෙවැනි විදෙස් චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා ගිය අවුරුද්දෙ. ඕස්ටේ්‍රලියාවේ තමයි රූගත කළේ. මේ නිර්මාණයේ එකම ආසියාතිකයා වුණේ මම. ඒක නම් කරල තියෙන්නෙ Sunnny’s Mansion කියල. බොහෝ දුරට ජනවාරි මාසයේදී තිරගතවෙයි කියල බලාපොරොත්තු වෙනවා.


විදෙස් සිනමාවට සඳහා ඔබට ලැබෙන ආරාධනා ගැන අදහස මොන වගේද?


ඇත්තටම මෙවැනි ආරාධනා ලැබෙන්නෙ වාසනාව වගේම මගේ හැකියාව එක්ක කියලයි මට හිතෙන්නෙ. ඇතැම් අවස්ථාවල අපිට හැකියාව තිබුණත් විදෙස් වෙළෙඳ පොළ සඳහා අපි කෙරෙහි අවධානය යොමුකරගන්න තියෙන අවස්ථාව අඩුයි.


නිසි ක්‍රමවේදයකට ඒවා සිද්ධ වෙන්නෙත් නැහැ.


පුංචි තිරයෙන් ඈත් වෙලාද?


එහෙම දෙයක් නැහැ. පටන්ගත්ත දවසෙ ඉඳන් සිනමාවට වගේම ටෙලි නාට්‍යයටත් මට ආරාධනා ලැබුණෙ සීමාසහිතව. නමුත් මම අතිශය කාර්යබහුල නළුවකුත් නෙමෙයි.


රංගන ශිල්පියෙක් වීම ඔබට දැනෙන්නෙ කොහොමද?


රංගන ශිල්පියෙක් වීම කියන්නෙ මගෙ ජීවිතයේ අතිශය සතුටු වන කාරණා දෙකෙන් එකක්. එකක් තමයි මගේ පුතා තේජාන් ලැබීම. අනෙක් කාරණාව තමන්ට උපරිම සතුටු වෙන්න පුළුවන් රැකියාවක නිරත වෙන්න ලැබීම.


නළුවා නඩත්තු කළ යුතුද?


නළුවෙක් ආයාසයකින් නඩත්තු කළ යුතු නැහැ. නළුවෙක් ලස්සන වෙන්න ඕන නැහැ පාරෙ යනකොට. නළුවා ලස්සන වෙන්න ඕන රඟපානකොට. ඒ නිසා මට පහසු විදිහට මගේ සාමාන්‍ය ජීවිතේ ගතකරනව.


මේ වන විට ලැබුණ චරිත ගැන සෑහීමකට පත්වෙනවද?


මෙතෙක් මට ලැබුණ චරිත ගැන තෘප්තිමත්. නමුත් සෑහීමකට පත්වෙන්නෙ නැහැ.


බුද්ධික අධ්‍යක්‍ෂණයට යොමුවෙන්න අදහසක් තියෙනවද?


මට හරියට රඟපාන්නවත් බැරි කාලෙ චිත්‍රපටයක් කළා. නමුත් හරියට දෙයක් කරන්න අදහසක් තියෙනව. අපි බලමු ඉදිරියේදි.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post