කොඩිගහයට කලූ මගේ මහත්තයා –තිලක්ෂණී රත්නායක




පසුගිය කාලයේ පුංචි තිරයේ ‘තමලිනී’ ලෙසින් ඔබ හමුවට ආ ඇය, එළැඹෙන 09 වැනිදා සිට රිදීතිරයේ රතී ලෙසින් යළිත් ඔබ හමුවට පැමිණීමට නියමිතයි. ඒ චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘දුස්රා’ නමැති සිනමා නිර්මාණය හරහායි. ‘දුස්රා’ හි ‘රතී’, තිලක්ෂණී රත්නායකයි. ඉතිං අද දවසේ කතානායිකාව ඇයයි.

‘දුස්රා’, 09 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කරනවා නේද?


සතුටුයි. අපි මේ චිත්‍රපටය රූගත කිරීම් සිදු කරල අවුරුදු පහක් වගේ වෙනවා. අපි මොකක් හරි කථාවක් නිර්මාණය කළාට පස්සෙ ඉක්මනට ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමනේ අවසාන පරමාර්ථය. ඉතිං ඒක මේ මොහොතේ සැබෑ වීම ගැන ඇත්තටම සතුටුයි.


මෙය ඔබේ පළමු සිනමා නිර්මාණය ද?


නැහැ. මීට කලින් මම ප්‍රසන්න විතානගේ ‘උසාවිය නිහඬයි’, අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’, ලලිත් රත්නායකගේ ‘විෂම භාග’ වැනි නිර්මාණවලට දායක වෙලා තියෙනවා.


‘රතී’ කියන්නේ ඇත්තටම කවුද?


‘රතී’ කියන්නේ ශ්‍රී ලාංකේය පරිසරයේ ජීවත්වන ආර්ථික, සමාජ, සංස්කෘතික යන කාරණා එක්ක මුහු වුණ ගැහැනු දරුවෙක්. එතකොට ඒ කාරණාවල බලපෑම් ඇයටත් තියෙනවා. ජීවිතයේ යම්කිසි විදිහකට ජීවත් වෙන්න බැහැ කියලත් ඇයට හීනයක් තියෙනවා. ‘රතී’ ආදරවන්තියක්. ඇයත් ලාංකේය පරිසරය ඇතුළෙ හොඳට ජීවත් වෙන්න උත්සාහ කරන තැනැත්තියක්.


‘රතී’ වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද සිදු කළේ?


එහෙම විශේෂ කැපකිරීමක් මම සිදු කළේ නැහැ. සාමාන්‍යයෙන් රංගන ශිල්පිනියක් චරිතයක් භාර ගත්තහම වැඩ කරන විදිහටයි, මම වැඩ කළේ. චරිතය වෙනුවෙන් විශේෂ දෙයක් කළේ නැහැ. විශේෂ ස්කිල් එකක් මම පුහුණු කළා. ක්‍රිකට් ගහන්න මට එච්චර පුරුදු පුහුණුවක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. නමුත් ‘රතී’ කියන චරිතය හොඳට ක්‍රිකට් ගහන කෙනෙක්. මම ඒ වෙනුවෙන් පුහුණුවීම් සිදු කළා.


‘දුස්රා’ කියන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිර්මාණයක් හින්දා, ඒ චරිතය භාරගන්න බය හිතුණා ද?


නැහැ. මම හිතන්නේ පිටපතක් හෝ කථාවක් රංගන ශිල්පිනියකගේ ඇහැකින් බැලුවොත් ඒක අපි ලඝු කරන්නේ නැහැ. වැඩිහිටියන්ට පමණයි ද ළමයින්ට ද? කියලා අපි බලන්නේ කථාවනේ. ඒ කථාව ඇතුළෙ සමාජයට ලබාදෙන්න පුළුවන් පණිවුඩය මොකක්ද කියලයි වැඩ කරන්නේ. එතකොට ඒ කථාව ප්‍රේක්ෂකයන්ට යනකොට තමයි ඔය කියන කාරණා ඔය කියන අංශ යටතට දාල ප්‍රදර්ශනය කරන්න වෙන්නේ. එතකොට රංගන ශිල්පිනියක් විදිහට මම කථාව ගැන බලන්නේ කථාවක් විදිහට විතරමයි.


මේ දවස්වල මොනවද කරන්නේ?


මේ දවස්වල ඇත්තටම වැඩ කරනවා හරි අඩුයි. මේ දවස්වල මම ඇත්තටම කරන්නේ චිත්‍රපට බලන එකයි, ගොඩක් නිර්මාණ රසවිඳින එකයි. ඒ වගේම පිටපත් කියවනවා.


තිලක්ෂණී පිටපතක් භාරගන්න කොට හරි පරිස්සම් වෙනවාද?


ඒ කියන්නේ ඉස්සෙල්ලාම බලනවා වැඩ කරන්න පුළුවන් කට්ටියක් ද ඉන්නේ කියලා. මොකද කොච්චර හොඳ කථාවක් වුණත් මට ඒගොල්ලොත් එක්ක කතාබහ කරල අදාළ විදිහට කරන්න බැරිනම් මට ඒක කරන්න බැහැනේ. ඒ හින්දා ඒ කාරණාව මම බලනවා.


මෙගා නිර්මාණ භාරගන්නේ නැතිද?


මේ මොහොතේ නම් මම දීර්ඝ ටෙලිනාට්‍ය භාරගන්නේ නැහැ. මොකද මට ඒ වෙනුවෙන් මේ වෙලාවෙ කාලය ලබාදෙන්න විදිහක් නැහැ. හැබැයි මම ඒ ගැන විරුද්ධත්වයක් නැහැ. මම ‘නොනිමි’ කියන ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඒක කොටස් සියයක ටෙලි නාට්‍යයක්. වැඩ කරන එක, කාත් එක්කද කියන එක මතයි රඳා පවතින්නේ.


තිලක්ෂණී විවාහකයි නේද?


ඔව්. මම විවාහකයි. මගේ ස්වාමිපුරුෂයා නලීන් ලුසේනා. ඔහුත් කලා ක්ෂේත්‍රයේම රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් වගේම පිටපත් රචකයෙක් විදිහට වැඩ කරනවා. ඇත්තටම මේ වෙලාවෙ මට වැඩ කරගෙන යන්න පුළුවන් විදිහේ පරිසරයක් නිර්මාණය කරන්නේ ඔහු. ඉතිං ඒ ගෞරවය ඔහුට හිමිවෙන්න ඕනෑ.


ලුසේනාගෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?


අපි දැන් කරන රස්සාවෙ සීමා මායිම් ලකුණු කරන්න හරිම අමාරුයිනේ. අනික කාර්යාල රස්සාවක් වගේ නෙමෙයිනේ. ඔහු මට වඩා කාලයක් ක්ෂේත්‍රයේ වැඩ කරලා, මට වඩා දුරක් ඇවිත් තිබෙනවා. ඉතිං ඔහුට පුළුවන් මම දන්න තරමින් ඔබ්බට මාව යොමු කරවන්න. අනික ඔහු ගුරුවරයෙක් විදිහටත් විශ්වවිiාල දෙකකම සේවය කරල තියෙනවා. ඉතිං ඔහුට තියෙන දැනුම මෙච්චරයි කියල කියන්න අමාරුයි.


පසුගිය කාලයේ ලුසේනා, කොඩිගහයට කලූ හින්දා ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා නේද?


‘කොඩිගහයට’ රඟපෑවාට එක කොටසක්වත් මම තවම නරඹල නැහැ. ඇත්තටම කථාව කොහොමද යන්නේ කියන්නවත් මම දන්නේ නැහැ. තවමත් බලන්න බැරි වුණා. ඇත්තටම අපි ගෙදර ඉන්නකොට නිර්මාණවලට එහා ගිය ලෝකයක් අපි නිර්මාණය කරගන්නවා. ඒ හින්දා ගොඩක් වෙලාවට පෞද්ගලික ජීවිතය ඇතුළෙ කලාව ඇරුණහම තව ගොඩක් දේවල් අපි ෂෙයාර් කරගන්නවා.


මොනවද ඉදිරි සැලසුම්?


ඇත්තටම මම කැමැතියි වැඩිපුර වේදිකාවෙ වැඩ කරන්න. ඒක තමයි මගේ තිබෙන දීර්ඝ කාලීන සැලැස්ම. වේදිකා නාට්‍යයක් කියන එක මේ මොහොතේ ප්‍රොසීනියම්. වේදිකාව ඇතුළෙ නාට්‍යයක් කරන විට එක තැනකට වඩා වැඩි තැනකට ගිහින් තියෙනවා. ඒ දැනුම කොහොමද අපේ ජීවිතවලට ලැබෙන්නෙ කියල හොයන්න සහ වේදිකාව ආශ්‍රිත නිර්මාණකරණයේ යෙදෙන්න තමයි මගේ ඇත්තටම බලාපොරොත්තුව තියෙන්නේ.


දිනේෂ් විතාන




Previous Post Next Post