රටේ වෙන දේවල් බැලුවම ශිෂ්ට සම්පන්න කතා ලියන්න බෑ- ඩබ්ලිව් ජයසිරි



ඔහු හෙළ කලා කෙතෙහි තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය මතු නොව සාහිත්‍ය තුළද ඔහු තම අනන්‍යතාව තහවුරු කළ විශිෂ්ටයෙකි. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගධර ඩබ්ලිව් ජයසිරි.


 ‘හ¾දුනා ගත්තොත් ඔබ මා’ ගැන කතා කරමු?


‘හ¾දුනා ගත්තොත් ඔබ මා’ කියන වැඩසටහන ජූලි 30 වැනිදා සුදර්ශි ශාලාවේදී පැවැත්වුණා. මේ ඇගයුම් උළෙල සංවිධානය කරලා තිබුණේ සිංහල සංස්කෘතික ආයතනයේ සිනමා අනුමණ්ඩලය. මේ වැඩසටහන ඉතා හොඳින් සංවිධානය කර තිබුණා. ඇත්තටම මට තිබුණේ මේ වැඩේට සහභාගි වෙන්න විතරයි.


– එදින ඔබ රංගනයෙන් දායක වුණු චිත්‍රපට ත්‍රිත්වයක් ප්‍රදර්ශනය කළා මේ ගැන කියනවා නම්?


එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘විසි දැල’ සිනමාපටයත්, ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘බඹරු ඇවිත්’ සිනමාපටයත්, අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘මේ මගේ සඳයි‘ සිනමාපටයත් මෙදින ප්‍රේක්ෂකයා වෙත සිනමා දැක්මක් ලෙස නරඹන්න අවස්ථාව උදා වුණා. ‘බඹරු ඇවිත්’ ප්‍රදර්ශනය කළාට පසුව තමයි සවස ඇගයුම් උළෙල පැවැත්වුණේ.


– ‘බඹරු ඇවිත්’ සිනමාපටය සහ ආචාර්ය ධර්මසේන පතිරාජ පිළිබඳ මතකය අවදි කරමු?


ආචාර්ය ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් සිනමාපටය 2020 වසරේදී කාන්ස් සිනමා උළෙලේ කාන්ස් ක්ලැසික්ස් කාණ්ඩය යටතේ තෝරා ගැනුණා. ඒ අනුව මෙය ලෝකයේ විශිෂ්ටතම සිනමාපටයක් ලෙස නම් කෙරුණා. බඹරු ඇවිත් හෙවත් “The Wasps Are Here” තිරගත වුණේ 1978දී. අපි මේ සිනමාපටය කරපු කාලේ මේ තරම් සමාජය දියුණු වෙලා තිබුණෙ නැහැ. කල්පිටියේ ගිහින් බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දෙමින් තමයි අපි මේ සිනමාපටයේ රූගත කිරීම් සිදු කළේ. අපිට ඉන්න තිබුණෙ එක කාමරයයි. අපි ඒක මාලනී ෆොන්සේකාටයි, රූබී ද මැල්ටයි දීලා. එළියට වෙලා හිටියා. අපි නිදාගත්තේ මාගලක් බිම එළාගෙන. ඉතින් ඔය වගේ බොහෝ දුෂ්කර දේවල්වලට මුහුණ දෙමින් අපි මේ වැඩේ අවසන් කළේ. ධර්මසේන පතිරාජ කියන්නේ සිංහල සිනමාවේ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්.


– ‘මේ මගේ සඳයි‘ සිනමාපටය සහ අශෝක හඳගම ගැන ඔබේ අදහස?


‘මේ මගේ සඳයි‘ කියන්නේ අශෝක හඳගමගේ හොඳම සිනමාපටය. අවාසනාවන්ත ලෙස මේ සිනමාපටය අපිට ලංකාවේ සිනමාශාලාවක තිරගත කරන්න බැරි වුණා. නමුත් මේ සිනමාපටය වරින් වර ප්‍රදර්ශනය කළා. එක්තරා ආකාරයක අහිගුªණ්ඨික පිළිවෙතක් අනුගමනය කරමින් තමයි අපිට මේ සිනමාපටය තිරගත කරන්න සිදු වුණේ. මම නැවතත් කියනවා මේ සිනමාපටය තමයි අශෝක හඳගමගේ විශිෂ්ටතම සහ ඔහු නිර්මාණය කළ හොඳම සිනමාපටය කියලා. අශෝක හඳගමගේ ‘මේ මගේ සඳයි‘ චිත්‍රපටයේ මෙහෙම දෙබසක් තියෙනවා. ‘හැම ඇ¾දුමක් යටින්ම නිරුවතින් එකෙක් ඇවිදිනවා. සිවුරෙයි කියලා වෙනසක් නෑ, ගුරුවරියගෙයි කියලත් වෙනසක් නෑ.


– ඔබ දේශද්‍රෝහී බල්ලා, සිරිසේන තෙපානිස් සමඟ වැඩිහිටියන්ගේ කතා වැනි කෙටිකතා පොත් ලියා තිබෙනවා. තව කෙටිකතා පොතක් ලියන්න අදහසක් නැද්ද?


කෙටිකතා ලියන්න ආසයි. දැන් මේ රටේ සිද්ධ වෙන යම් යම් කරුණු කාරණා දෙස බලන විට එතරම් ශිෂ්ට සම්පන්න කතා ලියන්න බැහැ. ලියන්න වෙන්නෙ බොහොම අසභ්‍ය දේවල්. ඒ දේවල් මෙහෙ මිනිස්සු ලියන්න දෙන්නෙ නැහැ. ඒ දේවල් ගණන් ගන්නෙ නැහැ. මගේ ජීවිත කාලය තුළ අපේ භාෂාව පොහොසත් වුණු දවසකට මම ලියනවා. ඉංග්‍රීසි භාෂාව තුළ නව දේවල් නිර්මාණය වීමත් සිදු වෙනවා. අපේ භාෂාව එහෙම වෙන්නෙ නැහැ. මොකද අපි භාෂාව හංගගෙන ඉන්නෙ. ලියන භාෂාව කියලා අමුතු පණ්ඩිත භාෂාවකින් තමයි අපි ලියන්නෙ. එළියට බැස්සම මේ රටේ මිනිස්සු කතා කරන සාමාන්‍ය භාෂාව අපිට නිතර දෙවේලෙ ඇහෙනවා. ඒව පදනම් කරගෙන කතාවක් ලියන්න බැහැ. මං දන්නෙ නැහැ මේ මට හිතෙන විධිය. මට වඩා වෙනස් විධියට හිතන අය ලියනවා ඇති.


– මතක සමඟ ලට්ට ලොට්ට සහ ඉතුරු බිතුරු මතක සමඟ මා ලියූ ගී ගැන කතා කරමු?


මතක සමඟ ලට්ට ලොට්ටවලින් පසුව තමයි මම ඉතුරු බිතුරු මතක සමඟ මා ලියූ ගී කියලා පොත රචනා කළේ. මතක සමඟ ලට්ට ලොට්ටවල මට ලියා ගන්න අමතක වුණු බොහෝ දේ එහි ලියැවුණා. එහි තිබෙන්නේ මගේ ජීවිතයේ මට වරින් වර මුණගැසුණු සහ මම කළ කී දෑ පිළිබඳ මගේ මතකයේ තිබෙන දේවල්. මගේ මතකයේ තිබෙන දේවල් මම මේ හරහා කොළවලට අතුර ගත්තා. සමහර දේවල් අමතක වෙලා තිබෙනවා. ඒ වගේම තව දේවල් ගොඩක් ලියන්නත් තිබෙනවා. මේ හිතේ තිබෙන දේවල් කොහේවත් කටුසටහන් ගහලා නැහැනෙ.


– සිනමාපටයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද?


මම චිත්‍රපටයකට තිරපිටපතක් ලියලා වසර ගණනාවක් තිස්සෙ බලාගෙන සිටිනවා. මම එය කිහිප දෙනෙක්ට දුන්නා. නමුත් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. මේ කාලයේ කිසිම කෙනෙක් ලෙහෙසියෙන් චිත්‍රපටයකට මුදල් වියදම් කරන්නෙ නැහැ. මේ කාලයේ අපේ රටේ ආර්ථිකය තිබෙන්නෙ යහපත් මට්ටමක නෙවෙයි. ඒ නිසා සිනමාපටයක් නිෂ්පාදනය කරන්න යම් නිෂ්පාදකයෙක් පෙලඹෙන්නේ ඉතා අඩුවෙන්. මට සිනමාපටයක් කරන්න අදහසක් තිබෙනවා. නිෂ්පාදකයෙක් ලැබුණු ගමන් මම එය අධ්‍යක්ෂණය කරන්න ආරම්භ කරනවා.


– නවකතාවක් ලියන්න අදහසක් නැද්ද?


නවකතාවක් ලියන්න අදහසක් තිබෙනවා. මම ලියන්න හරිම කැමැතියි. නමුත් ලංකාවේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව මිනිස්සු එදිනෙදා ජීවිතයට තමයි මූලිකත්වය දෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට කලාව කියන දෙය ඔවුන් රසවිඳින්නේ  අන්තිමටම. ඒ නිසා මේ වගේ කාලයක නවකතාවක් ලියන්න කලින් හිතන්න දේවල් ගොඩක් තිබෙනවා.


– ගී පද රචකයාගේ භූමිකාව ගැන කතා කරමු?


මම ගීත රචනා කරන්න කැමැතියි. කවුරු හරි මගෙන් ඇහුවොත් ගීතයක් ලියලා දෙන්න පුළුවන්ද කියලා මට දැන් වුණත් ලියලා දෙන්න පුළුවන්. මම ගීත රචනා කරන්නේ මගේ විනෝදය සඳහා. උදුම්බරා, ආදරයේ ඔබ ඔබමයි වගේ ගීත මම රචනා කළා. ඉතින් අවස්ථාවක් ලැබුණොත් මම දැන් වුණත් ගීතයක් ලියලා දෙන්න ලැහැස්තියි.


– දශක හයක කලා ජීවිතය දෙස ආපසු හැරී බලන විට මොකද හිතෙන්නේ?


මම මුලින්ම චිත්‍රපටයකට රංගනයෙන් දායකත්වය සැපයුවේ 1973දී. ඒ දාහකින් එකෙක් කියන සිනමාපටයට. 1965දී මම වේදිකා නාට්‍යවලට රංගනයෙන් එක්වුණා. එයා දැන් ලොකු ළමයෙක්, බව දුක, බව කර්ම, තනි තටුවෙන් පියාඹන්න වගේ සිනමාපටවලට මෙන්ම මාරා සාද්, ‍ෙදාළහක්, ධවල භීෂණ වගේ වේදිකා නාට්‍යවලටත් මම රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා. මම කලාව කරපු නිසා මගේ ජීවිතය සතුටින් නිදහසේ ගත කළා. මේ ගමන ගැන ආපසු හැරී බලද්දි මට තිබෙන්නේ සතුටක්.


ගිහාන් සචින්ත



Previous Post Next Post