මුළු චිත්‍රපටයම අභියෝගයක් වුණා කිව්වොත් හරි- ඩිෂ්නි රාජපක්ෂ




මේ දිනවල තිරගත වන “සීරුවෙන්” චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ඇය සුරූපී රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය රසික හදවත් තුළ නොමැකෙන මතකයන් සනිටුහන් කළ ආදරණීය චරිතයක්. මේ සොඳුරු කතාබහ මෙවර  එක් කළේ ඩිෂ්නි රාජපක්ෂ. 


ඉතින් ඔබේ වැඩකටයුතු කොහොමද…?


මේ දිනවල නම් මගේ කාලය ගෙවෙන්නේ සුදේශ් වසන්ත පීරිස්ගේ “සීරුවෙන්” චිත්‍රපටයේ වැඩකටයුතු එක්ක සහ සුරංගද අල්විස්ගේ Room Number 106 කියන චිත්‍රපටයත් සමඟයි. සීරුවෙන් චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ඒ වගේම Room Number 106 චිත්‍රපටයේ රූගත කිරීම් ඉතා හොඳින් කරගෙන යනවා. එහි මා සමඟ බිමල් ජයකොඩි ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රාශියක් රංගනයෙන් දායක වෙනවා.


“සීරුවෙන්” චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරමු නේද…?


සීරුවෙන් චිත්‍රපටයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කලා ක්ෂේත්‍රයේ අයගෙනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මෙය තවමත් නොබලපු අයට සීරුවෙන් චිත්‍රපටය නරඹන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.


ජැක්සන් ඇන්තනී රංගධරයා අවසන් වරට රංගනයෙන් දායක වූ නිර්මාණය “සීරුවෙන්” ඔහු ගැන ඔබට තිබෙන මතකය අවදි කළොත්…?


ජැක්සන් සර් සමඟ අවසන් වරට රංගනයෙන් දායක වූ රංගන ශිල්පිනිය මමයි කියන එක ආභරණයක් කරගන්න මම කැමැති නැහැ. ඇත්තටම ඔහු සමඟ එකට වැඩකටයුතු කරන්නට ලැබීමටම භාග්‍යයක්.  ජැක්සන් ඇන්තනී කියන චරිතය ඉතාමත් නිහතමානී, සුන්දර, ආදරණීය චරිතයක් විධියටයි මට දැනුණේ. මේ නිර්මාණයට ඔහු සමඟින් දායක වීමට ලැබීම මට කියන්න බැරි තරම් සතුටක්. නමුත් එතුමා තවදුරටත් අපිත් එක්ක ඉන්නවා කියන ජීවමාන හැඟීමක් තමයි මට නම් තිබෙන්නේ. ඔහු අපෙන් වෙන් වුණා කියන කාරණය මගේ හිත නම් පිළිගන්න කැමැති නැහැ. ඔහුත් සමඟ රංගනයේ යෙදුණු අවසන් චිත්‍රපටය මෙය කියලා මට තවමත් විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඒ “ඇත්ත” අමාරුවෙන් හරි පිළිගන්න වෙනවා.


ඔහු සමඟ රංගනයෙන් දායක වීමේදී ඔබට ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් මොනවාද…?


ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒ අත්දැකීම් නම් මට ජීවිතයේ ලැබුණු වටිනාම දෙයක්. හරිම සතුටෙන්, සැහැල්ලුවෙන් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් තමයි ඔහු සමඟ කාලය ගත වුණේ. ඇත්තටම පුදුමාකාර සහයෝගයක් ඔහුගෙන් ලැබුණා.


චිත්‍රපටයේ තිබෙන ත්‍රාසජනක රූගත කිරීම් අතරතුර ඔබට මුහුණ දීමට සිදුවුණු අභියෝග ගැනත් මතක් කරමු…?


චිත්‍රපටයම අභියෝගයක් වුණා කිව්වොත් හරි. සුනඛයෙක් එක්ක සිදුවීම් කිහිපයක රූගත කිරීම් තිබුණා. ඉතින් ඒ සුනඛයා ඇත්තටම අපි පසුපස පැන්නුවා. ඒ සිදුවීම්වලදී සුනඛයාට වඩා වේගයෙන් අපිට දුවන්න සිද්ධවුණා. ඒ වගේම මෙය එක රැයක් තුළ සිදුවෙන සිද්ධියක් වටා නිර්මාණය වුණ චිත්‍රපටයක්. ත්‍රාසය, භීතිය, දුක වගේ හැඟීම්වල එකතුවක් චිත්‍රපටය පුරාම තිබුණා. මාසයක වගේ කාලයක් රූගත කිරීම් සිදුකළා. ඉතින් එක රැයක රූගත කිරීමක හැඟීම් මුළු මාසයක් තබාගන්න එකත් අභියෝගයක් වුණා. ජැක්සන් සර් මාව එකපාරම සීලිමෙන් ඇදලා ගන්න සිදුවීමක් තිබුණා. ඒ හැමදේම අභියෝග වුණත් මං හරිම කැමැත්තෙන් තමයි ඒ අභියෝග සියල්ලම භාර ගත්තේ.


අනෙක් රංගන ශිල්පීන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය මොනවගේද..?


විශේෂයෙන්ම ජැක්සන් සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම හැමෝම හොඳ සහයෝගයක් ලබා දුන්නා. ජැක්සන් සර් නිතරම කියපු දෙයක් තමයි රංගනයේ යෙදෙනවා කියන්නේ “භාව ඉවසීම” කියලා. මුළු චිත්‍රපටය පුරාම මම ඒ දේ හිතේ තබාගෙන රූගත කිරීම්වලට සම්බන්ධ වුණා.


ඒ වගේම දසුන් පතිරණ කියන්නේ මගෙ හොඳම යහළුවෝ කිහිපදෙනාගෙන් එක් අයෙක්. ඔහුගෙනුත් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා. බුද්ධික ජයරත්නත් මට මගේ සහෝදරයකු වගේ. ඒ චරිතවලින් ලැබුණු සහයෝගය අතිවිශිෂ්ටයි.


ඔබ නර්තනයටත් උපන් හපන්කම් දක්වන කෙනෙක්. ඒ ගැනත් කතා කරමු…?


නර්තනය කියන දෙය මං උපතින් ගෙනාපු දෙයක්. ඉතින් නර්තනයටත් මම රංගනයට වගේම ගොඩක් ආසයි. නර්තනය, රංගනය කියන දෙකම මට මානසික තෘප්තියක් ගෙන දෙනවා.


තරුණ රංගන ශිල්පිනියක් විධියට වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳව ඔබටත් යම් අදහසක් ඇති නේද…?


මම දකින විධියට ක්ෂේත්‍රය ගැන හැදෑරීමකින් තොරව එන අයකුට වඩා ක්ෂේත්‍රය ගැන ගෞරවයකින් තොරව එන අය භයානකයි. හැදෑරීමකින් තොරව ක්ෂේත්‍රයට පිවිසුණත් මෙයට ගෞරවයක් තිබෙනවා නම් මේ විෂය අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවා. නමුත් ක්ෂේත්‍රයට කිසිදු ගෞරවයකින් තොරව පැමිණෙන අයගෙන් ලොකු හානියක් සිදුවනවා කියලයි මම හිතන්නේ. මේක අපේ ජේ‍යෂ්ඨ ශිල්පීන් බොහොම ගෞරවයෙන් විනයානුකූලව රැකගෙන දීපු දෙයක්. ඉතින් මේ ක්ෂේත්‍රය ගෞරවයකින් යුතුව, විනාශ වීමට නොදී රැකගන්න අවශ්‍යයි කියන අදහස මට තිබෙනවා.


පසුගිය කාලයේ ඔබ රංගන ක්ෂේත්‍රයේ දකින්න ලැබුණේ නැහැ. විදේශ ගතවුණා කියලා ආරංචි වුණා…?


ඔව්. මට විදේශ ගත වීමට සිදුවීමත් සමඟ රංගනයෙන් මඳක් අෑත් වෙන්න සිද්ධ වුණා. නමුත් මට ආරාධනා ලැබුණු චිත්‍රපට සියල්ලටම ලංකාවට ඇවිත් දායක වුණා. ඉදිරියේදිත් චිත්‍රපට, ටෙලිනාට්‍ය හා අනෙකුත් කලා නිර්මාණවලට අවකාශය ලැබුණොත් අනිවාර්යයෙන්ම දායක වෙනවා. විශේෂයෙන්ම විදේශගතව සිටියත් චිත්‍රපටවලට වැඩි දායකත්වයක් ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම ටික කාලයක සිට ඕස්ට්‍රේලියාවේ තමයි පදිංචිව ඉන්නේ. ඉතින් වැඩි දායකත්වයක් ලබාදෙන්න මට පුළුවන් වුණේ චිත්‍රපටවලට පමණයි.


ඉදිරි වැඩකටයුතු ගැන සැලසුමක් තිබෙනවාද…?


චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ නිර්මාණවලට සහ ඉදිරියේදී තවත් හොඳ නිර්මාණවලට දායක වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම රංගනයෙන් දායක වුණ නිර්මාණ කිහිපයක් ඉදිරියේදී තිරගත වීමටත් නියමිතයි. මේ දිනවලත් චිත්‍රපට කිහිපයක වැඩකටයුතු සිදුවන නිසා බොහොම කාර්යබහුල කාලයක් ගත කරන්නේ.


රුවිනි අමරකෝන්



Previous Post Next Post