විවාහය පොඩ්ඩක් පරක්කු වුණාට කමක්නෑ -නයෝමි තක්ෂිලා



ඇය ප්‍රේමණීය වුණු අවස්ථා මෙන්ම වෛරයෙන් කැකෑරෙන අවස්ථා අප ඕනෑතරම් දැක තිබේ. වරක් ඇය මිනී මැරුම් චෝදනා ලබා සිරගත වූවාය. තව වරක් ප්‍රේමයෙන් ඔද්දල්ව සිහිවිකල් වූවාය. මේ සියලු පැතිකඩ ඇය නිරූපණය කළේ පූජා හරහාය. ඒ නීල පබළු ටෙලි නිර්මාණයේය. නීල පබළු හරහා අතිවිශාල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කළ පූජා පසුගියදා යන්නම ගියාය. ඇය නිසාම නීල පබළු නැරඹූ ප්‍රේක්ෂක පිරිස බොහෝය. “ඇයි පූජා මැරුවේ“? මේ, මේ දිනවල බොහෝ දෙනා අසන ප්‍රශ්නයකි. ඔවුන් පූජාට බැණ වැදුණ ද වෛර කළ ද ඒ තුළ තිබුණේ ආදරයයි. වසර හතක් පුරා දක්ෂ අයුරින් පූජාට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය නයෝමි තක්ෂිලාය.


අවුරුදු 7ක් පූජා එක්කම දුවලා මේ දවස්වල නයෝමි නිවාඩු පාඩුවේ ඇති නේද?


මේ දවස්වල කොටස් 100ට අඩු නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ගොඩක්ම ෂූටින් තියෙන්නේ ගල්ගමුව, මහව ප්‍රදේශවල. සුරංග අල්විස්ගේ 106 සිනමාපටයේ වැඩත් මේ දවස්වල කෙරීගෙන යනවා. ඒ වගේම ඉන්දියානු ඩිරෙක්ටර් කෙනෙක්ගේ සිංහල නිර්මාණයකටත් දායක වෙලා ඉන්නවා.


කවුරුත් නොහිතූ විදිහට පහුගිය දා පූජාගේ චරිතය නිමාවුණා. පූජා කියන්නෙ නයෝමි තක්ෂිලාගේ අයිකන් එක කිව්වත් හරි නේද?


අනිවාර්යයෙන්ම. පූජා කියන්නෙ දුක, සතුට, වෛරය, මානසික වෙනස්වීම් මේ හැමදේ එක්කම විවිධ හැලහැප්පීම්වලට භාජනය වුණු චරිතයක්. ඇත්තටම මට දැනුණෙ පූජා කියන්නෙ අභ්‍යාසයක් කියලා. ඒක හරියට එකවර නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා වගේ. මීදුම් අම්මා ටෙලි නිර්මාණය හරහා කැමරාව ඉදිරියේ කුලුඳුල් රංගන අත්දැකීම ලැබුව මට නීල පබළු ටෙලි නිර්මාණය රංගන පාසලක් වුණා. ලොකු පවුලක උද්දච්චකමට හැදුණු පූජා හැසිරෙන විදිහ, ඉඳගන්න විදිහ, බලන විදිහ කොටින්ම ඇහිපිල්ලන් ගහන විදිහ අවුරුදු 7ක් තිස්සේ මට කන්ටිනිව් කරන්න වුණා. ඒ අතරේ අඳුන්ගිර – පත්මා, රන්තිලිවැව – මුතුමැණිකා වගේ පූජාට හාත්පසින්ම වෙනස් චරිත කරන්නත් අවස්ථාව ලැබුණා. 2019 පූජාට ජනප්‍රියම නිළිය සම්මානය හිමිවෙද්දි 2022 අඳුන්ගිර පත්මාට හොඳම සහාය නිළිය සම්මානය හිමි වුණා.


පූජා කියන්නෙ නාගරික චරිතයක්. ඒත් අඳුන්ගිර පත්මා ඊට හාත්පසින්ම වෙනස් දුෂ්කර චරිතයක්. අභියෝගයක් වුණේ නැද්ද?


පැහැදිලිවම අභියෝගයක්. සමහර වෙලාවට අද පූජා ෂූට් කරනවා. හෙට පත්මා ෂූට් කරනවා. ඇඳුම් පැලඳුම්, මේකප්, කතාබහ හැසිරීම අහසට පොළොව වගේ. ඒත් මං චරිතයක් ඇතුළෙ ඉන්නෙ ඇක්ෂන් කට් කියනකම් විතරයි. ඒඩී ටුඩේ ෂූටින් පැක්අප් කිව්වට පස්සේ මං සෙට් එකෙන් එන්නෙ ඒ චරිතෙ එතැනම තියලා. ඒ නිසා මට කිසිම චරිතයක් පැටලිලා නෑ. ඒක තමයි හැදෑරීමක් කරල එන එකේ වාසිය.


පූජා කියන්නෙ හැමදාම බැණුම් අහපු චරිතයක්. ඒත් අවසානයේ ඇය හැමෝගෙම ඇස් තෙත් කළා. ඇයි පූජාට ඒ වගේ අවසානයක් දෙන්න හිතුවේ?


පූජා කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි. ඇය හැමදේම කළේ අභිමන්ට තියෙන ආදරේ නිසා. ඒ ආදරේ වෙන කෙනෙක්ට යද්දි දරාගන්න බැරුව තමයි පූජා මේ හැමදේම කරන්නෙ. වෙන පිරිමියකුට අතට අත දුන්නත් ටක් ගාල අත පිහිදගන්නවා. ඒ අතින් බලද්දි ඇය හරිම අවංකයි. ඕනම කෙනෙකුට හොඳ වෙන්න අවස්ථා ලැබෙනවා. අන්තිමේ පූජාත් හොඳ කෙනෙක් වුණා. කලාකරුවන් විදිහට අපි සමාජයට ආදර්ශයක් දෙන්න ඕන කියන තැනයි මං ඉන්නේ. අධ්‍යක්ෂවරයා, පිටපත් රචකයා ඇතුළු අපි හැමෝම සාකච්ඡා කරලා පූජාට ඒ වගේ අවසානයක් දුන්නා.


පූජාගේ අවසානය සනිටුහන් කළ නයෝමිට නොසිතූ ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා නේද?


පූජාගේ මරණයත් එක්ක මෙච්ච්ර කාලයක් පූජාව දරාගෙන හිටිය හැමෝටම ස්තුති කරලා මං ෆේස්බුක් පෝස්ට් එකක් දැම්මා. ඒකට කමෙන්ට්ස් විශාල ප්‍රමාණයක් ඇවිත් තිබුණා. බහුතරයක් අහල තිබුණේ අනේ ඇයි පූජාව මැරුවෙ කියලා. පූජාට ජීවත්ව හිටිද්දි ඇති තරම් බැණ්නා. ඒත් මැරුණට පස්සේ දුක් වෙනවා. අපේ සමාජයෙත් මේ තත්ත්වය දකින්න ලැබෙනවා. ගොඩක් දෙනාට ජීවතුන් අතර ඉද්දි ලැබෙන්න ඕන ගෞරවය ලැබෙන්නෙ මැරුණට පස්සේ.


පූජා හරහා ලැබුණු රසබර අත්දැකීම් ඇති?


පූජා කියන්නෙ එක චරිතයක් වුණාට මට ඒ තුළ චරිත රාශියක් නිරූපණය කරන්න ලැබුණා. සමහර තැන්වල අමතක කරන්න බැරි සිදුවීම්වලට මුහුණ දුන්නා. දවසක් මං මියුසික් වීඩියෝවක රූගත කිරීමකට ගිහින් අනෙක් අයගෙ වැඩ ඉවර වෙනකල් ග්ලාස් එකත් ඇරගෙන කාර් එකට වෙලා හිටියා. එකපාරටම බීපු වගේ මනුස්සයෙක් පොල්ලකුත් අරන් ඇවිත් මට ගහන්න හැදුවා. මොකද උඹ අර අහිංසක කුරුලුට කරදර කරන්නෙ කියලා. එවෙලේ සෙට් එකේ මල්ලිල මාව ඉක්මනින් එතැනින් අයින් කරගත්තා. මගේ කනටම ඇහිල තියෙනවා සමහරු මං යද්දි අරකිව මට පේන්න බෑ දුෂ්ටි කියනවා. ඒ වගේම පූජා කැලේ පැනපු වෙලාවේ උලක් ඇනිලා මැහුම් 5ක් දැම්මා. ඊළඟ දවසෙ මං මුහුදෙ ෂූට් එකට ගියේ ඒ මැහුනුත් දාගෙන. ලුණු වතුර ගෑවිලා පුදුම වේදනාවක් වින්ඳා. ඇවිත් මං බෙහෙත් දාගත්තෙත් තනියම. ඒ වගේමයි මානසික රෝහලේ කළ ෂූට් එකත් අමතක වෙන්නෑ. ඒක වෙනමම ලෝකයක්. මට හිර කූඩුවෙත් ඉන්න වුණා. එදා තමයි මට තේරුණේ දිව්‍ය ලෝකෙ වගේම අපායත් තියෙන්නේ මේ මිහිපිටමයි කියලා. පිස්සන් කොටුවෙ දර්ශනවලට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මාත් වැඩිපුර කැමති ඒකට. එතැනට ගිහින් බැලුවොත් කවදාවත් කවුරුත් තව කෙනෙක්ගේ මනසක් එක්ක සෙල්ලම් කරන එකක් නෑ.


දක්ෂ, හුරුබුහුටි නයෝමිට ප්‍රේමණීය ආරාධනාවලින් නම් අඩුවක් නැතුව ඇති?


ආදරණීය අත්දැකීම් නැතුව නෙවෙයි. ඒත් විවාහය කියන එක මේ කාලෙ මෙහෙම වෙන්න ඕන කියල නෑ. ඒකට වයස අදාළම නෑ. හරිම කෙනා හමුවෙලා හරිම වෙලාවට ඒක කෙරේවි කියලයි මට හිතෙන්නේ. එහෙම නැතුව වයස ගියා කියලවත් සමාජයෙන් බේරෙන්න ඕන නිසාවත් නෙවෙයි හරිම තීරණය ගන්න ඕන නිසා පොඩ්ඩක් පරක්කු වුණාට කමක්නෑ කියලයි මට හිතෙන්නේ.


 නාමලී ගමගේ



Previous Post Next Post