20න් උපාධිධාරියෙක් වෙන එක මගේ හීනයක් -ඉසල වීරසූරිය



මේ දිනවල විකාශය වන ‘නෙලුනි’ ටෙලි සිත්තමේ ‘සුද්දා’ගේ චරිතය කියන්නෙම රසික සිත් වශී කරගත් දඟකාර චරිතයක්. ‘සුද්දා’ට පණ පොවන මේ සිඟිති හපනා රංගනයට උපන් හපන් දස්කම් දක්වන මාණික්‍යයක්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ එක් කළ මේ සිඟිති හපනා නමින් ඉසල වීරසූරිය.


ඉතින් පුතේ, කොහොමද ඔයාට?


“ගොඩක් හොඳින් ඉන්නවා. ස්කූල් එකේ හෝම්වර්ක් ගොඩක් තිබෙනවා. ඒ පාඩම් වැඩ කරනවා. ඒ වගේම ෂූටින් යනවා. මං හරි සතුටින් ඉන්නවා.”


නෙලුනි ටෙලි නාට්‍යයේ ‘සුද්දා’ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


“ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගෙ ස්කූල් එකේ ටීචර්ස්ලත් ටෙලි නාට්‍ය බලලා මම ගොඩක් හොඳට රඟපානවා කියනවා. මගේ යහළුවොත් ඒක බලලා මට විහිළු එහෙමත් කරනවා. ඉතින් මට ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාරවලට ගොඩක් සතුටු හිතෙනවා.”


නෙලුනි නාට්‍යයේ ‘සුද්දා’ගේ චරිතය ගැන විස්තර ටිකක් කියමුද?


“සුද්දා කියන්නේ ටිකක් කපටි, දඟකාර චරිතයක්. ස්කූල් යන්න ටිකක් අකමැති, බොරු එහෙම කියලා කොහොම හරි ගෙදර ඉන්න හදන චරිතයක්. චූටි කාලේ අපි කරන දඟකාරකම් කරන්න හදන ඇත්තම චරිතයක්.”


මුලින්ම පුතාට රංගනයට ආරාධනාවක් ලැබුණු ආකාරයත් මතක් කරමුද?


“සමන් ප්‍රේමරත්න මාමා තමයි මට මුලින්ම රංගනයට අවස්ථාවක් සලසා දුන්නේ. සිත නිවන කතාවක තමයි මුලින්ම රඟපෑවේ. ඒ නිර්මාණයේ නම වන්දනා ගමන. මං මුලින්ම රඟපාන කොට මට වයස අවුරුදු 4යි.”


මුලින්ම කැමරාවක් ඉදිරියේ රංගනයේ යෙදෙන විට පුතාට මොකද හිතුණේ?


“මට මතක තිබෙන මුල්ම කාලෙදී  නම් ගොඩක් බය හිතුණා. ඒත් මං ටික ටික පුරුදු වුණා. දැන් නම් රඟපාන්න ගොඩක් ආසයි.”


පුතාට රංගනයේදී මෙතෙක් ලැබුණු අභියෝග ගැනත් මතක් කරමුද?


“පොඩි හාමුදුරුවන්ගේ චරිතයක් කළා. ඒ චරිතයේදී මගේ කොණ්ඩය කපන්න වුණා. මට ඒකට නම් ගොඩක් දුක හිතුණා. නෙලුනි ටෙලි නාට්‍යයේදී ගැමි චරිතයක් තමයි රඟපෑවේ. ඒ චරිතයේදී මට මඩේ නටන්න වගේ දේවල් කරන්න වුණා. වැව්වල නාන්න තිබුණා. මට හුරුපුරුදු නැති ගොඩක් දේවල් මං මගේ චරිත ඇතුළේ කළා.”


පුතාගේ පෞද්ගලික විස්තර ටිකක් කියමුද?


“මට දැන් වයස අවුරුදු 12යි. මම ඉන්නේ මීගොඩ. මං ධර්මපාල විද්‍යාලයේ ඉංගී්‍රසි මාධ්‍යයෙන් 7 ශේ්‍රණියේ ඉගෙනුම ලබනවා. මම ලබන වසරේ 8 ශේ්‍රණියෙන් අ.පො.ස. සා.පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටිනවා. ඒ වැඩවලට මගේ අම්මයි, තාත්තයි මට ගොඩක් උදවු කරනවා. මගේ අම්මා මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණික නිලධාරිනියක්. තාත්තා ඉන්ජිනේරුවෙක් විධියට වැඩ කරනවා.”


පුතාගේ රංගන කටයුතුවලට පාසලෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමුද?


“මගේ ස්කූල් එකේ විදුහල්පතිතුමිය මට ගොඩක් උදවු කරනවා. මගේ පන්ති භාර ගුරුතුමියත් මට ගොඩක් දේවල් කියලා දෙනවා. මම හදාගන්න ඕන තැන්, වැරදෙන තැන් ගැන උපදෙස් දෙනවා. ඩ්‍රාමා උගන්වන ගුරුතුමියත් මගේ රංගන කටයුතුවලට ගොඩක් උදවු කරනවා. ඒ හැමෝම නිසා තමයි මම මගේ චරිත ලස්සනට කරන්නේ.”


පුතා ඉදිරියට රංගනයෙන් දායක වීමට ආසාවෙන් බලාගෙන සිටින චරිතයක් තිබෙනවාද?


“මං ගොඩක් කොමඩි චරිත කරන්න ආසයි. ඒක මගේ හිතේ තිබෙන ලොකු ආසාවක්. ඉදිරියටත් ඒ වගේ චරිතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”


පුතාගේ මල්ලිත් ළමා රංගන ශිල්පියෙක් නේද?


“ඔව්… මල්ලිත් ගොඩක් දක්‍ෂයි. මගේ මල්ලි ලොකු වෙලා සම්මානය නළුවෙක් වෙයි කියලා මට හිතෙනවා. මල්ලියි මමයි ෂාන් පෙරේරා සර්ගේ මන්දාරම් සින්දුවේ එකට රඟපෑවා. මල්ලි සමහර වෙලාවට ටිකක් දඟයි. ඒත් ලස්සනට රඟපානවා.”


පුතාගේ අනාගත බලාපොරොත්තු ගැනත් කියමුද?


“මට ඕනි අවුරුදු 15දී අ.පො.ස. උ.පෙළ කරලා අවු. 16 වන විට විදෙස් රටකට ගිහින් විදෙස් විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න. ඒක තමයි මගේ ලොකුම හීනය.


මගේ ලාස්ට් ගෝල් එක තමයි අවුරුදු 20දී උපාධිධාරියෙක් වෙන එක. ජීවිත කාලෙම කෙනකුට ඉගෙන ගන්න පුළුවන්. ඒත් මම හිතන්නේ අවුරුදු 20න් පස්සේ අපි කැමැති ෆීල්ඩ් එකක් වෙනුවෙන් වැඩ කරන්න ඕනි. මම වෛද්‍යවරයෙක් වෙන්නත් ආසයි. මම මේ වන විට ප්‍රංශ භාෂාවත් හදාරනවා. මගේ අන්තිම බලාපොරොත්තුව හොඳට ඉගෙන ගෙන මගේ රටට සේවයක් කරන එක.”


රුවිනි අමරකෝන්



Previous Post Next Post