කසුන්ගේ හොඳ නරක කියන්න ඕනෑ ප්‍රේක්ෂකයෝ තමයි-කසුන් තාරක




මේ දිනවල බොහෝ සේ ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වන රංගන ශිල්පියෙක් සමඟයි අද අපේ කතාබහ. කොඩිගහ යට ටෙලිනාට්‍ය හරහා තමයි මේ රංගන ශිල්පියාව බොහෝ දෙනෙක් හ¾දුනා ගන්නේ. ඒ වගේම මේ දිනවල විකාශය වන ටේක් කෙයාර්හි ඔහු රංගනයෙන් පණ පොවන කසුන්ගේ චරිතය පිළිබඳවත් ප්‍රේක්ෂකයා අතර කතාබහක් ඇතිවෙලා. අද එක් වන්නේ රංගන ශිල්පී කසුන් තාරක රත්නපාල. 


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස් සතුටින් ගත කරනවා. හැම මොහොතක් පිළිබඳවම සුබවාදීව සිතමින් යහපත්ව ගත කරනවා.


ඔබ රංගනයට ප්‍රවිෂ්ට වුණු ආකාරය පිළිබඳව කතා කරමු?


රංගන ශිල්පියෙක් වීමේ වුවමනාව මට ඇති වෙන්නේ කුඩා අවධියේමයි. නමුත් ඒ ආශාව තිබුණත් මෙහෙම තැනකට යන්නෙ කොහොමද කියලා අදහසක් තිබුණේ නැහැ. ගමේ තිබෙන විවිධ සමිති සමාගම්වල, පාසලේ නාට්‍යවලට මම දායකත්වය සැපයුවා. මගේ පාසල රත්නපුර, වත්තහේන විද්‍යාලය. මම එහි සාමාන්‍ය පෙළට යන තුරු ඉගෙන ගත්තා. ඒ දේවල්වලින් තමයි මට රංගන ශිල්පියෙක් වෙන්න පන්නරය ලැබෙන්නේ. එවැනි තැන්වලින් තමයි මට රංගන ශිල්පියෙක් වෙන්න මූලබීජ සැපයූවේ. සාමාන්‍ය පෙළින් පසුව මම අධ්‍යාපනය හදාරන්න කරවිට මධ්‍ය මහා විද්‍යාලයට යනවා. එහිදී තමයි මම නාට්‍ය හා රංග කලාව කියන විෂය හ¾දුනා ගන්නේ. එම පාසලේදී මට තේරෙනවා නාට්‍ය හා රංග කලාව හදාරලා ඉදිරියට ගමනක් යන්න පුළුවන් කියලා.  උසස් පෙළින් පසු මට රංගනය හදාරන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ‍ෙදාරටුව විවර වෙනවා. විශ්වවිද්‍යාලය තුළ හදාරමින් සිටින අතරතුර තමයි මට පුංචි තිරයට පැමිණෙන්න අවස්ථාව උදා වුණේ. ඔය ආකාරයට තමයි මම රංගනයට ප්‍රවිෂ්ට වෙන්නේ.


රංගන ශිල්පියෙක්ට වේදිකාව තුළින් ලබෙන පන්නරය මොන වගේද?


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ආවට පසුව තමයි මට වේදිකාව සම්බන්ධයෙන් නව අත්හදා බැලීම් සහ වැඩි දුර හදාරන්න අවස්ථාව උදා වෙන්නේ. එහිදී දේශීය සහ විදේශීය රංගන ආචාර්යවරුන්ගෙන් රංගනය පිළිබඳව හදාරන්න අවස්ථාව උදා වෙනවා. ඒ කාලයේම මට සෝමලතා සුබසිංහ මහත්මිය නිර්මාණය කළ ප්ලේ හවුස් ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වෙනවා. එහිදීත් මට රංගනය ගැන විශාල හැදෑරීමක් ලැබෙනවා. නළුවෙක් ලෙස යම් යම් දෑ අත්හදා බලන්න අවස්ථාව උදා වෙනවා. එහි තමන්ට ඕනෑ විධියට නිදහසේ හැදෑරීමට අවස්ථාව  උදාවෙනවා. අප තුළ සිටින රංගන ශිල්පියා අවදි කරගන්න වේදිකාවෙන් විශාල පිටිවහලක් ලැබෙනවා.


ටේක් කෙයාර් ගැන කතා කරමු?


ටේක් කෙයාර් කියලා කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය නාට්‍යයක්. මට හිතෙන විධියට ටේක් කෙයාර් කියන්නේ සර්වකාලීන නිර්මාණයක්. මේ තුළින් කතා කරන්නේ අපේ සංස්කෘතික වටපිටාව තුළ පවුල ආශ්‍රිතව නිර්මාණය වන යම්  ගැටලු ගොන්නක් පිළිබඳව. මෙය විවෘත මනසකින් බැලුවොත් හොඳයි කියන එක මම යෝජනා කරනවා. සෑම නිර්මාණයක්ම බොහෝ දෙනෙක් බලන්නේ තමන්ගේ කෝණයෙන්. එහෙම නැතිව විවෘත මනසකින් බැලුවොත් මේ පිළිබඳව වැරැදි  ආකල්ප නොඑයි කියා මම සිතනවා.  මේ කතාව ගැඹුරින් යුතුව නැරඹුවේ නැත්නම් එක්තරා බාල විනෝදයක් පමණක් ලැබෙන්න පුළුවන්. ටේක් කෙයාර් තුළින් අපි ගෙනයන්නේ වැදගත් පණිවුඩයක්. එය අපි විවෘත මනසකින් යුතුව බලමු කියලා මම යෝජනා කරනවා. 


ටේක් කෙයාර් ටෙලි නාට්‍යයේ කසුන් ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?


ටේක් කෙයාර්හි කසුන් කියන චරිතය බහුවිධ චරිත ලක්ෂණවලින් යුතු චරිතයක්. ඒ චරිතය පිළිබඳව එක් අංශයකින් බලමින් විචාරය කරන්න බැහැ. කසුන් වයස 26ක තරුණයෙක් වුණත් වයසට සරිලන තරමට බුද්ධිය වර්ධනය වෙලා නැහැ. ඒ නිසාම කසුන්ට බොහෝ දේවල් වටහා ගන්න බැහැ. ඔහුට කුඩා කාලයේදී නිවෙසෙන් ලැබුණු තාඩන පීඩන නිසා තමයි ඔහු මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. ඔහු වේවැලට බය පුද්ගලයෙක්. කසුන් කියන්නේ කුඩා කාලයේ අමිහිරි මතකයන්වලට මුහුණු දුන් කෙනෙක්. මේ කියන මානසික තත්ත්වයන් නිසාම ඔහු හොඳ හෝ නරක කියලා කියන්න බැහැ. මේ මානසික තත්ත්වය නිසාම ඔහුට යම්කිසි සමාවකුත් ලැබෙනවා. ඔහුට පෙර කළ කී දෑ පිළිබඳවත් ලොකු මතකයක් නැහැ. මේ චරිතයට පණ පොවන්න මට ලෙහෙසි වුණේ නැහැ. පිටපතේ සඳහන් වන චරිතය සහ පිටපතේ නොකිය වෙන චරිතය පිළිබඳව මට විශාල හැදෑරීමක් කරන්න වුණා. මම මේ චරිතය නිසාම බොහෝ දේ සොයා බැලුවා. මේ චරිතයේ සාර්ථක අසාර්ථක තත්ත්වය පිළිබඳව කියන්න ඕන ප්‍රේක්ෂකයා.


වත්මන් ටෙලි නාට්‍ය කලාව ගැන ඔබට මොකද සිතෙන්නේ?


ප්‍රේක්ෂකයාට උසස් රසවින්දනයක් ලබා දෙන මට්ටමේ නිර්මාණ වර්තමානයේ බිහි වෙමින් පවතිනවා. තරුණ දක්ෂ නිර්මාණකරුවන් ක්ෂේත්‍රයට අවතීර්ණය වෙමින් සිටින බව පෙනෙනවා. අනාගත ටෙලිනාට්‍ය කලාව පිළිබඳව යම්කිසි සතුටු දායක බලාපොරොතුවක් තබා ගත හැකි බව අපිට පෙනෙන්න තිබෙනවා. විවිධාකාරයේ ගුණාත්මක බවින් යුතු නිර්මාණ බොහොමයක් නිර්මාණ වෙනවා. උසස් ප්‍රේක්ෂක රසවින්දනයක් ලබා දීම තමයි නිර්මාණකරුවාගේ අභිප්‍රාය වෙනවා නම් එය ඉතා හොඳ දෙයක්.


සිනමාවෙන් ආරාධනා ලැබුණේ නැද්ද?


මට දැනට සිනමාවෙන් ආරාධනා ලැබිලා නැහැ.


ඔබ කැමැති නිර්මාණයක් සහ නිර්මාණකරුවෙක් ගැන කියනවා නම්?


මම කැමැති නිර්මාණ ගොඩක් තිබෙනවා. කූඹියෝ කියන්නේ මම කැමැති නිර්මාණයක්. ඒ වගේම මම කොඩිගහ යට ටෙලි නාට්‍යයටත් ගොඩක් කැමැතියි. නිර්මාණකරුවන් විධියට. ජගත් මනුවරණ සහ ලක්මාල් ධර්මරත්නට මම කැමැතියි.


ලාංකික ප්‍රේක්ෂකයා පිළිබඳව ඔබේ අදහස?


ලාංකික ප්‍රේක්ෂකයා ක්‍රම ක්‍රමයෙන් උසස් රසවින්දනයක් සොයන බවත් උසස් නිර්මාණ වටා එක් වෙමින් පවතින බවත් මට සිතෙනවා.


ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්?


ඉදිරියේදී මම රංගනයෙන් දායක වුණු එක් නිර්මාණයක් නිකුත් වීමට තිබෙනවා. ඒ වගේම මට නිර්මාණ කිහිපයකින් ආරාධනාත් ලැබිලා තිබෙනවා. අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා.


ගිහාන් සචින්ත



Previous Post Next Post