ආච්චි නිසා තමයි මම අද මෙතැන ඉන්නේ - රදීන් රන්දිව්



 වයස අවුරුදු හතෙන් පහළ ලිට්ල් ස්ටාර් තරගයේදී  ජනප්‍රියම තරුව ලෙසත් එහි අනුශූරතාව දිනාගත් නර්තන ශිල්පියා ලෙසත් ඔහු ප්‍රේක්ෂකයන්ගේ හදවත් ආක්‍රමණය කරන්න මුලින්ම පටන් ගත්තා. පසුව පුංචි තිරයෙන් විවිධ චරිත හරහා අප අතරට ආ ඔහු කුඩා සිංබාහුගේ චරිතය හරහා ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කළා. රිදී තිරය සහ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු කෙදිනක හෝ ශ්‍රී  ලාංකික කලා කෙත අස්වද්දන්නට දායක වෙතැයි අපට බලාපොරොත්තු තැබිය හැකි පුංචි තරුවකි. අද හදගැස්ම සමඟින් එක් වන්නේ රදීන් රන්දිව්.


මුලින්ම පුතාගේ විස්තර ටිකක් කියන්නකෝ…


මම රදීන් රන්දිව්. මම 6 වසර වෙනකම් ඉගෙන ගත්තේ පන්නිපිටය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ. මම දැන් ඉගෙන ගන්නේ පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලයේ. මම ඉගනුම ලබන්නේ 7  ශේ‍ර්ණියේ. මම ඉගෙන ගන්න කැමැති විෂයන් දෙක තමයි ගණිතය සහ විද්‍යාව. මම විනෝදාංශ විධියට කරන්න කැමැති ගායනය හා නර්තනය. ඊට අමතරව මම නිදහසේ ඉන්න වෙලාවට ගිටාර් එකත් වාදනය කරනවා.


මුලින්ම කැමරාවක් ඉදිරිපිටට ගියපු ඒ දවස ගැන මතක් කරමු.


මම මුලින්ම සහභාගි වුණේ වෙළෙඳ දැන්වීමකට. ඉතින් මම එදා තමයි මුලින්ම කැමරාවක් ඉදිරිපිටට ගියේ. ඒ වෙලාවෙ පුංචි බයක් හිතට දැනුණා. මුලින්ම කැමරාවක් ඉදිරිපිටට ඇවිත් දෙබස් කියද්දී ටිකක් පැටලුණා. ඉතින් ටික වෙලාවක් යද්දී ඒ බය නැති වෙලා ගියා. ඊට පස්සේ ඒ හැමදේම හරි ගියා.


ලිට්ල් ස්ටාර් තරගයේදී චන්දන වික්‍රමසිංහ වගේ අතිශයින්ම දක්ෂ නර්තන ශිල්පියෙක් සමඟ නර්තනයේ යෙදෙන්න පුංචි රදීන්ට අවස්ථාවක් ලැබුණා. එදා දැනුණු හැඟීම ගැන කියමු?


ගොඩක් දෙනෙක්ට ලැබෙන අවස්ථාවක් නෙවෙයි චන්දන වික්‍රමසිංහ වගේ කෙනෙක් එක්ක නර්තනයේ යෙදෙන්න. ඉතින් මට ඒ අවස්ථාව එදා ලැබුණා. ඉතින් ඒ නිසා එදා මට පුදුමාකාර සතුටක් දැනුණේ.


සිංහබාහු වගේ අති දැවැන්ත චිත්‍රපටයක සිංහබාහුගේ ළමා කාලයට ඔබ ඔබගේ රංගන දායකත්වය ලබා දෙනවා. ඔබට ඒ චරිතය අභියෝගාත්මක චරිතයක් වුණාද පුතේ…?


මේ චරිතය කරන විට සාමාන්‍ය ජීවිතයේදී අපි ඉන්න ඉරියව්වලට වඩා තරමක් වෙනස් ඉරියව්වලට ඉන්න වුණා. මොකද මට සිංහයෙක් වගේ තමයි රඟපාන්න තිබුණේ.


ඉතින් මට මේ චරිතය සාර්ථකව කරන්න සෝමරත්න දිසානායක සර් සහ රේණුකා බාලසූරිය නැන්දා ගොඩක් උදවු වුණා. සිංහබාහු ගලකින් පනින දර්ශනයක් තිබුණා. ඒ දර්ශනයෙන් පසුව තමයි මගේ කොටස නැතිනම් සිංහබාහුගේ ළමා කාලය අවසන් වුණේ. පසුව සෝමරත්න සර් මට එතැනදී කිව්වා පහළ කට්ටියම ඉන්නවා. ඔයා ආරක්ෂිතයි පුතා කියලා. ඉතින්  මගෙ බය නැති වුණා. මේ විධියට මට රඟපාන්න තිබුණෙ සිංහයෙක් විධියට. ඉතින් මට මේ චරිතය අභියෝගවලින් පිරුණු චරිතයක් වුණා. මම හිතනවා ඒ අභියෝගය මම සාර්ථකව ජය ගත්තා කියලා.


 සිංහබාහු චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු කරන්නේ අපි එදිනෙදා ජීවත්වන පරිසරයේ නෙවෙයි. වනාන්තරයක් ඇතුළේ. ඒ අත්දැකීම ගැන කතා කරමු පුතේ?


අපි සිංහබාහු චිත්‍රපටය පටිගත කළේ අනුරාධපුරයේ හත්ථිකුච්චිවල සහ රත්නපුරයේ. සිංහබාහු චිත්‍රපටයේ අපේ ගෙදර තිබුණේ ස්වාභාවික ගල්ලෙනක.  ගස්කොළන්, ඇළ‍ෙදාළවලින් පිරුණු ඒ පරිසරය ඇත්තටම හරිම ලස්සනයි. ඇත්තටම මම ගොඩක් කැමැතියි ඒ පරිසරයට.


පුතා සිංහබාහු චරිතය රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ. ඒ අයගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කරමු?


ඇත්තටම හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. මේ චිත්‍රපටයේ තිබුණේ ශෛලිගත භාෂාවක්. ඉතින් ඒ දෙබස් පුරුදු පුහුණු වෙන්න පවා ඒ නැන්දලා මාමලා හැමෝම උදවු කළා.


ඔබ මේ වනවිට ටෙලි නාට්‍ය ගණනාවක විවිධ චරිත කිහිපයක්ම කරලා තිබෙනවා. ඒ චරිත අතරින් පුතා කැමැතිම චරිතයක් තිබෙනවාද?


මම විවිධ චරිත මේ වෙනකොට කරලා තිබෙනවා. ඒ අතරින් මම වඩාත් කැමැති චරිතය තමයි හිච්චිගේ චරිතය. ඒ කතාව හරිම ලස්සනයි. ඒ කතාවෙ මට තාත්තා හිටියේ නැහැ. කතාව අවසාන කොටස්වලදී මම තාත්තාව හොයාගෙන යනවා. ඒ වගේ ලස්සන කොටස් ඒ නාට්‍යයේ තිබුණා. මේ දේවල් නිසා මම හිච්චිගේ චරිතයට ගොඩක් කැමැතියි.


පුතාගේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය ගැන අපි කතා කරමු?


විශේෂයෙන්ම ආච්චිව මතක් කරන්න ඕනි. ඇත්තටම එයා නිසා තමයි මම අද මෙතැන ඉන්නේ. ගොඩක් වෙලාවට මාත් එක්ක මගේ වැඩ කටයුතුවලට පවා මාව එක්කන් යන්නේ මගේ ආච්චි. ඒ වගේම මගේ අම්මයි, තාත්තයිත් ලොකු සහයෝගයක් දෙනවා. දෙබස් පාඩම් කර ගන්න වගේ දේවල්වලට ඒ දෙන්නාම ගොඩක් උදවු කරනවා.


පුතා මේ දවස්වල සම්බන්ධ වන අලුත් නිර්මාණය ගැනත් අපි කියමු?


මගේ අලුත්ම චිත්‍රපටය තමයි ශේෂ. ඒ චිත්‍රපටයේ මට රඟපාන්න තියෙන්නේ චන්දන වික්‍රමසිංහ ගුරුතුමා සමඟ. චන්දන වික්‍රමසිංහ ගුරුතුමා තමයි මගේ තාත්තාට රඟපාන්නේ. ඊට අමතරව වැඩ කටයුතු කිහිපයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.


ඔබ ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රවීණයන්ගේ ඇගයීමට ලක් වුණු නර්තන ශිල්පියෙක්. ඔබේ ඒ හැකියාව ගැන කතා කරමු?


මම නර්තනය ඉ‌ගෙන ගන්න ගත්තේ මට  අවුරුදු 4 වගේ ඉඳලා. මම මුලින්ම නර්තන පන්තියකට කියලා සහභාගි වුණේ අමිල ඉලුක්කුඹුර ගුරුතුමාගේ නර්තන පන්තියට. මම ලිට්ල් ස්ටාර් තරගයට සහභාගි වන විටත් මට එම නර්තන කටයුතු සඳහා පුරුදු පුහුණු වීම් කළෙත් අමිල ඉලුක්කුඹුර ගුරුතුමා. නර්තනය කියන්නේ මම කැමැතිම කලාවක්.


පුතා අද ඉන්න තැනට එන්න සහයෝගය දුන්නු අය ගැනත් අපි මතක් කරමු?


මගේ පවුලේ අයගෙන් මට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. ඒ වගේම අනිවාර්යයෙන්ම මම මතක් කරන්න ඕනි මගේ පාසලේ විදුහල්පතිය සහ පන්තිභාර ගුරුතුමිය.  මේ අය මට ලොකු සහයෝගයක් දෙනවා.


පුතාගේ අනාගත බලාපොරොත්තු දිගටම කලා ක්‍ෂේත්‍රයේම රැඳෙන්නද? කොහොමද?


මම මගේ අධ්‍යාපන කටයුතු අංක එකට කරනවා. ඇත්තටම මම ගොඩක් හොඳින් ඉගන ගෙන දක්ෂ නළුවකු බවට පත්වීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ.


ධනංජනා රාජපක්ෂ



Previous Post Next Post