හැදෑරීමක් තිබුණොත් වටිනාකම වැඩියි- චන්දිමා කරුණාදාස




මේ දිනවල විකාශය වන ‘වියළි’ ටෙලි නාට්‍යයේ ‘කාන්ති’ ගේ චරිතයට පණ පොවන ඇය වේදිකාවේ, පුංචි තිරයේ මතකයන් රසිකයන්ගේ හදවතේ හරි අපූරුවට සනිටුහන් කළ ආදරණීය චරිතයක්. මේ සොඳුරු රංගන ශිල්පිනිය චන්දිමා කරුණාදාස, මෙවර හදගැස්ම සමඟින් කළ කතාබහයි මේ.


ඉතින් මේ දිනවල ඔබේ වැඩකටයුතු කොහොමද?


මේ දිනවල නම් මම දුවගේ වැඩකටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. ඒවත් එක්ක සුපුරුදු විදිහට මගේ පෞද්ගලික ජීවිතේ වැඩකටයුතුත් කරමින් රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙමින් කාලය ගත කරනවා.


කුලුඳුල් මවු පදවිය සමඟ දැනෙන අලුත් හැඟීම් ගැනත් විස්තර ටිකක් කියමුද?


ඔව්, මම දැන් අම්මා කෙනෙක්. මට පුංචි දුවෙක් ඉන්නවා. එයාට දැන් මාස තුනයි දින කිහිපයක් වෙනවා. විවාහක කාන්තාවකගේ ලොකුම බලාපොරොත්තුවක් තමයි ඉතින් අම්මා කෙනෙක් වෙනවා කියන එක. අපි කවදාවත් නොහිතන තරම් හරි අපූරු ආදරණීය බැඳීමක් දරුවො සමඟ ඇතිවෙනවා. ඒක හරිම සුන්දර, ආදරණීය හැඟීමක්. දරුවෝ ලොකු වෙනකන් ටික කාලෙකට හරි තමන්ගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙනවා. දරුවෝ පුංචි කාලේ ගොඩක් ලොකු කැපකිරීමක් අපට කරන්න වෙනවා. මම දැන් දවසේ පැය 24ම මගෙ පුංචි දූ වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. මවු පදවිය ලැබීම ගැන සතුටුයි, නමුත් දැන් මගෙ ජීවිතේ තිබුණට වඩා ටිකක් සංකීර්ණයි.


‘වියළි’ ටෙලි නාට්‍යයේ කාන්තිගේ චරිතයට  ලැබෙන ප්‍රතිචාර කොහොමද?


කාන්ති කියන්නේ ගම්බද චරිතයක්. ඕනම අභියෝගයකට ශක්තිමත්ව මුහුණ දෙන කාන්තාවක්, වගේම සමාජය හමුවේ නොයෙක් අපහාස, උපහාස, අවලාද අසන චරිතයක්.


ඇයගේ සැමියාගේ තිබෙන කම්මැළිකම, වගකීම් විරහිතභාවය නිසා ඇය තම පවුලේ සියලුම බර කරට ගන්නවා. නමුත් ආදරය හමුවේ ඇය දරන්නේ වෙනම මතයක්. ඉතින් කාන්තිගේ චරිතය ඉදිරියට දිව යන්නේ කොහොම ද කියලා දැනගන්න නාට්‍ය එක්ක එකතු වෙලා ඉන්න. දැනට කාන්තිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ මම රංගනය තුළින් චරිතයට හොඳ දායකත්වයක් ලබාදෙන නිසා කියලා මම හිතනවා. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගටම වියළි ටෙලි නාට්‍ය සමඟ රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.


නවකතාවක එන චරිතයක් ටෙලි නාට්‍යයක් තුළින් නිරූපණය කිරීමේදී ලැබුණු අභියෝග ගැනත් මතක් කරමු?


ටෙලි නාට්‍යයට ආරාධනය ලැබෙන්න කලින් මම නවකතාව කියවලා තිබුණා. නමුත් මම ඊට පසුවත් නවකතාව කියෙව්වා. නවකතාවක එන චරිතයක් ටෙලි නාට්‍යයකට ගෙනඒමේ දී ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා තමයි මූලිකවම ඒ අභියෝගයට මුහුණ දෙන්නේ. නවකතාවත්, ටෙලි නාට්‍ය පිටපතත් කියවලා පසුව අපිට තීරණය කරන්න පුළුවන් අපි කොහොමද මේ චරිතය පෝෂණය කරන්නේ කියන කාරණය. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා නම් අපට පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා සමඟ කතා කරලා ඒ දේවල් විසඳගන්න පුළුවන්. ඇත්තටම මට මේ චරිතය අභියෝගයක් වුණේ නැහැ. ඊට හේතුව මම කොළඹ ජීවත් වුණත් මට ගම්බද පරිසරය හුරුයි. මමත් ගම්බදව හැදුණු කෙනෙක්. කාන්තිගේ හැසිරීම තුළ සමහර අභියෝග තිබුණත් මට චරිතය නිරූපණයේදී ලොකු අපහසුතාවක් දැනුණේ නැහැ.


‘පාර දිගේ’ ටෙලි නාට්‍යයේ ඩාලිං අක්කාගේ චරිතය ඔබේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් නේද?


ඔව්. මමත් ඒ චරිතය මගේ ටෙලි නාට්‍ය දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් කියලා හිතනවා. මම ඊට කලින් නාට්‍යය කිහිපයකට රංගනයෙන් දායක වෙලා තිබුණා. ඒ චරිතවලට හොඳ ප්‍රතිචාරයන් ලැබුණත් ‘ඩාලිං’ගේ චරිතයට විශේෂ ප්‍රතිචාර ගොඩක් ලැබුණා. අදටත් හම්බෙනවා. ඉතින් ‘ඩාලිං’ අක්කාගේ චරිතය මට හැරවුම් ලක්ෂ්‍යයක් තමයි.


ඔබ නාට්‍ය, රංග කලාව, සිනමාව සම්බන්ධයෙන් දැනුමක් තිබෙන උපාධිධාරිනියක්, වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳව ඔබට තිබෙන්නේ මොන වගේ හැඟීමක් ද?


කලා ක්ෂේත්‍රය කියන්නේ දැන් ඕනෑම කෙනකුට පිවිසෙන්න පුළුවන් තැනක්. නිරන්තරයෙන් අලුත් මුහුණු එකතු වන තැනක්.


අලුත් වන කලා ක්ෂේත්‍රය තුළට අපිත් හැදෑරීමක් සමඟ, අවබෝධයකින් යුතුව ඇතුළත් වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. ක්ෂේත්‍රයට ඇතුළත් වෙනවා වගේම ඒ තුළ ර¼දා පවතින එක තමයි වැදගත්. ඒ නිසා මේක අවබෝධයෙන් යන්න ඕනි ගමනක්. කලා ක්ෂේත්‍රය කියන්නේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් හරි සුන්දර තැනක්.


රංගන ශිල්පියෙක් ශිල්පිනියකට කලා ක්ෂේත්‍රයට පිවිසීමේ දී ඇකඩමික් හැදෑරීමක් අවශ්‍යම ද?


හැදෑරීමක් නැතත් දක්ෂතාව තිබෙන ඕනෑම කෙනකුට කලා ක්ෂේත්‍රයට එන්න පුළුවන්. නමුත් හැදෑරීමක් සමඟ එනවා නම් ඔහුට හෝ ඇයට තිබෙන වටිනාකම සහ ඒ


ක්ෂේත්‍රය හැසිරවීමේ පහසුව වැඩියි කියලා මම හිතනවා.


ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ වේදිකාවෙන්. වර්තමාන වේදිකා නාට්‍ය කලාව ගැන අදහසක් දැක්වූවොත්?


ඔව්, මම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සමඟ තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය තුළින්. ඊට පසුව තමයි මම ටෙලි නාට්‍යවලට දායකත්වය ලබා දුන්නේ. අපි අධ්‍යයන කරන කාලය තුළදී හැමදාම වගේ වේදිකා නාට්‍ය පෙන්වන පරිසරයක් තිබුණා. ඒ කාලයේදී නාට්‍යවලට  විශාල පිළිගැනීමක් තිබුණා. අදටත් වේදිකා නාට්‍ය ගැන අවබෝධයක් තිබෙන, කැමැත්තක් තිබෙන පිරිසක් ඉන්නවා. නමුත් සියලු දෙනාම රංග ශාලාවකට ගිහින් වේදිකා නාට්‍ය නරඹන්න තරම් ලොකු පෙලඹීමක් නැහැ. වර්තමානයේ අලුත් වේදිකා නාට්‍ය ගොඩාක් නිර්මාණය වන අවස්ථා තිබෙනවා. මමත් වේදිකාවෙන් බිහිවුණු කෙනෙක් විදිහට හැමදාමත් වේදිකාවට ආදරෙයි. මම හිතන විදිහට වේදිකාවේ තිබුණු සමාජමය තත්ත්වයන් වෙනස් නොවී ඒ ආකාරයෙන්ම තිබුණා නම් හොඳයි.


වේදිකාවෙන් ඔබේ රංගන දිවියට ලැබුණු පන්නරය ගැනත් මතක් කරමුද?


වේදිකාව තමයි මම ගොඩනැඟුණු තැන. රංගනය පිළිබඳ මූලිකම අඩිතාලම මට ලැබුණේ වේදිකාවෙන්. පිටපත කියවන තැන සිට චරිතයක්


පෝෂණය කිරීම දක්වාත්, හඬ පාලනය කරන ආකාරය, දෙබස් උච්චාරණය කරන්නේ කොහොමද වගේ ගොඩාක් දේවල් ගැන මූලිකම අවබෝධය ලැබෙන්නේ මට වේදිකාවෙන්. වේදිකාවෙන් ගොඩනැඟී රංගන ක්ෂේත්‍රයට එකතු වීම තුළ මට තවත් වටිනාකමක් එකතු වුණා කියලා මම හිතනවා. මම ආදරයෙන් මතක් කරනවා මට වේදිකාවේ රංගනයට අවස්ථාව ලබා දුන් සියලුම දෙනා සහ මාත් සමඟ රංගනයේ යෙදුණු සියලුම දෙනා.


ඔබට සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු.               


විවාහ වීමට පෙරත්, විවාහයෙන් පසුවත් ඔහුගේ සහයෝගය මත තමයි ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරන්නේ. දැන් චූටි බබාත් එක්ක නිසා විශේෂයෙන් ඔහුගෙන්  ලැබෙන සහයෝගය අගය කරන්නම ඕනෑ. ෂූටිං ගියාම දුවව බලා ගන්නේ එයා. ඉතින් මං වෙනුවෙන් කරන ඒ හැම කැපකිරීමක්ම ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. ඒ සහයෝගය නොලැබුණා නම් අද වෙනකොට මං රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා ඉඳීවි.


ඔබේ ඉදිරි වැඩකටයුත් ගැන කියනවා නම්?


දැනට මම තවම අලුත් නිර්මාණ භාර අරගෙන නැහැ. මගේ චූටි දුව නිසා තව මාස කිහිපයක් ගතවෙනකල් මගේ දුව ළඟින් ඉන්න ඕන කියලා මට හිතුණා. නමුත් මේ වන විට මම රංගනයෙන් දායක වී තිබුණු දැනට විකාශය වන සර්කස්කාරයෝ සහ වියළි කියන නාට්‍ය දෙකට දැනට මම රංගන දායකත්වය ලබා දෙනවා. ඉදිරියේදීත් හොඳ චරිතයකට අවස්ථාව ලැබුණොත් භාර අරගෙන කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


රුවිනි අමරකෝන්



Previous Post Next Post