රටම නටවන ප්‍රගීත්ගේ කොමළියා





යූ ටියුබ්, මුහුණු පොත, ටික් ටොක් මේ කොතැනක සැරිසැරුවත් මේ දවස්වල නිතරම ඇහෙන ගීතයක් තමයි ‘කොමළියා’ ඒ විතරක් නෙවෙයි රසික සිත් මාස ගණනක් එක දිගට හොරා ගන්න කොමළියාට පුළුවන් වුණා. ඔබ ආදරය කරන කොමළියාගේ හිමිකරු, ගායන ශිල්පී, ගී තනු නිර්මාණ ශිල්පී ප්‍රගීත් පෙරේරා තමයි අද  එකතු වෙන්නේ.


කොහොමද මේ දවස් ගෙවෙන්නේ?


හොඳින් ඉන්නවා… මේ දවස්වල ඉදිරියේදී එන්න තිබෙන වැඩකටයුතුත් සමඟ තරමක් කාර්යබහුලයි.


කොමළියා ගීතය ඉතාමත් ජනප්‍රිය වුණා. අපි කොමළියා හැදුණු හැටි ගැනත් කතා කරමු?


මට මුලින්ම ලැබුණෙ ඒ ගීතයේ තනුව.  ඊට පසුව මම මෙහි තනුව හර්ෂ පෙරේරාට යැව්වා. ඉතින් එයා ලස්සන වචන ටිකක් එවල තිබුණා. වචන ටික ආපු වෙලේම මම ඒ වචන ටිකට ඇත්තටම ගොඩක් කැමැති වුණා. ඊට පස්සෙ අපි ඉක්මනටම රූප රචනය කරන්න හිතුවා. කොමළියා කියන්නෙ ලොකු කාලයක් අරන් කරපු වැඩක් නෙවෙයි. කොමළියා රූප රචනය සිදු කළේ කසුන් මධුෂංක. මෙහි නර්තනාංග නිර්මාණය කළේ සහ මේන් ඩාන්ස විධියට කටයුතු කළේ මගෙ නංගි මනීෂා අමරසිංහ. ඇත්තටම මට කොමළියා ගීතය ⁣විශේෂයි. මොකද මම කලින් කරලා තිබුණෙ ළයාන්විත ගීත (Slow). මගේ කලින් සින්දු ගොඩක්ම හැඟීම්බර ගායනා. ඉතින් මම කල්පනා කළා වෙනසකටත් එක්ක වේග රිද්මයේ ගීතයක් නිර්මාණය කරන්න. ඉතින් එහෙම තමයි කොමළියා හැදුණේ. කොමළියා හදද්දී ඇත්තටම හිතුවෙ නැහැ  මෙ තරම් දුරක් යයි කියලා. කොමළියා ගීතය මේ තරම් දුරක් ගෙනාව හැමෝටම ගොඩක් ස්තූතියි.


කොමළියාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කතා කරමු…?


දැනට මාස 7ක් පමණ වෙනවා කොමළියා යූ-ටියුබ් එකට උඩුගත කරලා. ඉතින් එච්චර කාලයක් ගියත් තවමත් කොමළියා ගීතයට ටික් ටොක් හැදෙනවා. දැනටත් කට්ටිය කොමළියා ගීතයට ටික් ටොක් හදලා මට  එවනවා. ඉතින් මාස හතක් යද්දී මිලියන දහ තුනකට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් කොමළියා රූප රචනය බලලා තිබෙනවා. ඉතින් තාමත් මගේ  රසිකයෝ මට⁣ කොමළියා ගැන කියලා කෙටි පණිවුඩ පවා එවනවා. ඇත්තටම කොමළියාට අදටත් ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.


මේ දවස්වල ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු එහෙම කොහොමද?


පසුගිය දවස්වල ඇති වුණු ගං වතුර ප්‍රශ්නයත් එක්ක තරමක් දුරට ප්‍රසංග සංවිධානය කිරීමේ අඩුවක් ඇති වෙලා තියෙනවා.  ඒ වුණත් ලැබෙන ප්‍රසංගවලට සහභාගි වෙනවා.


මේ දවස්වල ඔබේ රසිකයන් වෙනුවෙන් අලුත් නිර්මාණ කටයුතුවල නිරත වෙනවාද? අපි ඒ ගැන කතා කරමු?


මේ දවස්වල මගේ රසිකයන් වෙනුවෙන් අලුත් නිර්මාණ කටයුතු කිහිපයක්ම කරනවා.  ඉන් එකක් මගේම නිර්මාණයක්. අනෙක මම මියුසික් කරන ගීත කිහිපයකම වැඩකටයුතුත් කරගෙන යනවා. මගේ නිර්මාණය ගැන කතා කළොත්, කොමළියා ගීතය රස විඳපු ගොඩක් අය කොමළියා වගේ ගීතයක් මගෙන් ඉල්ලුවා. ඉතින් මම මගේ ප්‍රේක්ෂකයො ඉල්ලන විධියට වේග රිද්මයේ ගීතයක් තමයි නිර්මාණය කරල තිබෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට ප්‍රේක්ෂකයන්ට මගේ අලුත් නිර්මාණය දෙන්න බලාපොරොත්තු වෙනවා.


ඔබ මෙතෙක් පැමිණි ගමන් මඟ දෙස  ආපසු හැරී බැලුවොත් මොකද හිතෙන්නේ…?


ඇත්තටම මම මේ ⁣ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතක් වගේ වෙනවා. මේ ⁣ක්‍ෂේත්‍රයේ වැඩ කටයුතු කරද්දී සමහර මිනිස්සුන්ගෙන් මම අෑත් වුණා. ඒ වගේම සමහර අයව ළංකර ගන්නත් වුණා. ඉතින් දවස ගාණෙ ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉස්සරහට යනවා. ඇත්තටම ආපසු හැරී බලද්දී ආපු බාධක ජය ගෙන අද ඇවිත් තිබෙන ගමන ගැන හරිම සතුටුයි. මම මුලින්ම සින්දුවක් හදපු දවසෙ කවදාවත් හිතුවෙ නැහැ මෙච්චර දුරක් එයි කියලා.


ඔබ ඔබේ ජනප්‍රියත්වය උදෙසා සමාජ මාධ්‍ය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ගායන ශිල්පියෙක්. නිර්මාණකරණයේදී සමාජ මාධ්‍ය යොදා ගැනීම ගැන කතා කළොත්…?


ඇත්තටම  සමාජ  මාධ්‍ය කියන්නේ වර්තමානයේදී ජනප්‍රියත්වය සඳහා යොදා ගත හැකි ප්‍රබල අවියක්.  සමාජ මාධ්‍යවලට පුළුවන් කෙනෙක්ව ගොඩනඟන්නත්, කෙනෙක්ව පහළටම ඇද දමන්නත්. අද වෙද්දී සමාජ මාධ්‍ය නැතුව ජනප්‍රිය වෙන්න අමාරුයි. මොකද ගීත ජනතාව අතරට පත් කරන්න වගේ දේවල්වලට සමාජ මාධ්‍ය අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වෙලා තිබෙනවා.


ලංකාවේ වත්මන් සංගීත ක්‍ෂේත්‍රය ගැන ඔබ මොකද හිතන්නේ…?


ඇත්තටම ලංකාවෙ සංගීත ක්ෂේත්‍රය හැම දේකින්ම යාවත්කාලීන වෙලා තිබෙනවා. අපි අවුරුදු 6ක් වගේ ආපස්සට ගියොත් සමහර ගායකයෝ දන්නෙ නෑ ගායකයෙක් අය කළ යුතු මුදල ආදිය ගැනවත්. ඇවිත් ගීතයක් ගායනා කරලා යනවා. එච්චරයි. ඉස්සර සංගීත ක්ෂේත්‍රයේ ක්‍රියාවලිය ගැන ගොඩක් අයට හොඳ අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් වර්තමානය වෙද්දී සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ටම හැමදේම තනියම කරගන්න පුළුවන් විධියට ක්‍ෂේත්‍රය සකස් වෙලා තිබෙනවා. අතීතයේදී කුමන හෝ ආයතනයකට සම්බන්ධ වෙලා තමයි ගීතයක් කරන්න වෙන්නෙ. දැන් එහෙම අවශ්‍ය නැහැ. යූ ටියුබ් චැනල් එකක් තමන්ටම හදාගෙන වුණත් තමන්ගෙම ගීතයක් ජනතාව අතරට ගෙනයන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ අතින් බලන විට අපේ සංගීත ක්ෂේත්‍රය වර්තමානය වෙද්දී දියුණු වෙලා තිබෙනවා.


ගීතයක් ජනප්‍රිය වීමට ගායනයට වඩා රූප රචනය වැදගත්  කියලා බොහෝ දෙනකු සිතනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද ඒ සම්බන්ධව…?


මම හිතන විධියට ගීතයක් ජනප්‍රිය ⁣වීමට රූප රචනය වැදගත් වන්නේ සියයට විසිපහක් වගේ. ඇත්තටම වර්තමානයේදී නිර්මාණ කරද්දී ගායනය අනිවාර්යයෙන්ම ප්‍රබල විය යුතුයි. මොකද අපි මුලින්ම රසිකයන් අතරට පත් කරන්නෙ ගීතය. ගීතයේ ප්‍රබලත්වය ගොඩක් අඩු වුණොත් කොච්චර හොඳ රූප රචනයක් කළත් ජනප්‍රිය වෙන්න තිබෙන ප්‍රවණතාව ගොඩක් අඩුයි. ටික් ටොක්, මුහුණු පොත වගේ සමාජ මාධ්‍ය හරහාත් ගීතය තමයි සමාජගත වෙන්නේ. රූප රචනයත් වැදගත්. නමුත් මම හිතන්නේ ඊටත් වඩා ගීතය වැදගත් කියලයි.


අද රටේ තිබෙන ආර්ථික තත්ත්වයත් සමඟ ගීතයක් නිර්මාණය කිරීමට වැයවන පිරිවැය විශාලයි. ඒ ගැන  කතා කළොත්…?


ඇත්තටම ඒක තරමක් අපහසු කාර්යක්. යූ ටියුබ් පැත්තෙන් බැලුවොත් යම් ආදායමක් ලැබීමට නම් ගීතයක් මිලියන දහයක්වත් නැරඹිය යුතුයි. ලෝකයේ සිංහල සින්දු අහන ජනසංඛ්‍යාව අඩුයි. එතකොට අපිට යූ ටියුබ් එකෙන් ලැබෙන ආදායමත් අඩුයි. ගීතයක් නිර්මාණය කරන්න විශාල මුදලක් වැය වෙනවා. ඉතින් අපිට ලැබෙන ආදායම සමඟ වියදම කළමනාකරණය කරගෙන නිර්මාණ කරන්න සිදු වෙලා තිබෙනවා.


අද ඔබ ලබා ඇති ජනප්‍රියත්වයට පත් වෙන්න ජීවිතයේ හීනයක් තිබුණද?


ඇත්තටම මම ක්ෂේත්‍රයට ආවේ ගී තනු නිර්මාණ ශිල්පියෙක් විධියට. ඉතින් මට හීනයක් තිබුණෙ නැහැ මෙහෙම ජනප්‍රියත්වයට පත්වෙන්න.  ඊට පසුකාලීනව මට ආශාවක් ඇති වුණා මගේම කියල නිර්මාණයක් කරන්න. නමුත් මම හීනෙකින්වත් හිතුවෙ නැහැ මෙහෙම ජනප්‍රියත්වයක්. ඇත්තටම මම හිතුවෙ නැහැ මගේ ගීතවලට මිනිස්සු මෙච්චර ආදරේ කරයි කියලා. ඇත්තටම දැන් ප්‍රේක්ෂක ආදරය පුදුම විධියට ලැබෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.


සංගීත ක්ෂේත්‍රය තුළ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


ඇත්තටම මට සංගීත ක්ෂේත්‍රය තුළ අනාගත බලාපොරොත්තු දෙකක් තිබෙනවා. ඉන්  එකක් තමයි මම කැමැත්තෙන් ඉන්න ගායන ශිල්පීන් ලවා මම මියුසික් කරපු ගීතයක් ගායනා කරව ගන්න එක. අනික් බලාපොරොත්තුව තමයි ප්‍රසිද්ධ චරිතයක්  නොවී ජනප්‍රිය චරිතයක් බවට පත් වෙන එක.


ධනංජනා රාජපක්ෂ



Previous Post Next Post