මුහුරත් උලෙළදා අපි තුන්දෙනාගෙ සරසවිය කවරයෙන් අප්පච්චි පුදුම සතුටක් ලැබුවා - සජිත අනුත්තර




ඔහු දක්ෂයෙකි. කිසිදු දිනක ඉදිරියට තිබු පියවර පිටුපසට නොගනි. තම ජීවිතය හොදින් කියවයි. ජීවිතයට එන ඕනෑම බවුන්ස් පන්දුවකට පහරදීමට ඔහු කල්තියා සූදානම්ය. ඒ ඔහු ලද පවුල් පසුබිමේ අභාසයයි. වේදිකාව ටෙලි නාට්‍යය සිනමාව යන ත්‍රිත්වයම එක ලෙස ජයගත් ශිල්පියකු ලෙස කිව හැකිය. ඔහුගේ සහජ ගායන හැකියාව ශ්‍රාවකයාද මන්මත් කරයි.වර්තමාන පරපුරේ ප්‍රාමාණිකයකු ලෙස ඕනෑම නිර්මාණයකට තම කැපකිරීම ඉතාම ඉහළයි. ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමෙන් සන්නද්ධ ඔහු වර්තමාන පරපුරට හොඳ ආදර්ශයකි. මේ සියලු දේවල් කැටිකර ගනිමින් මේ දිනවල ඔහුගේ සිනමාපට දෙකක් වන සිංහබාහු සහ සිහින සමීකරණ තිරගත වීම සුවිශේෂි කරුණක් වේ. මේ ඔහුගේ අලුත්ම නිර්මාණ පිළිබඳ සරසවිය සමඟ කළ සාකච්ඡාවයි. ඔහු නමින් සජිත අනුත්තරයි.


රිදී තිරය හරහා මේ දිනවල ප්‍රේක්ෂකයන් ඔබ හොඳටම වැලඳගෙන නේද ?


දැනට කාලෙකට ඉස්සෙල්ලා රූපගත කිරීම් කරපු සිනමාපට කිහිපයක් අතරින් මේ දිනවල මගේ නිර්මාණ දෙකක් ප්‍රේක්ෂකයන්ට නරඹන්නට අවස්ථාව උදාවෙලා තියෙනවා. විශේෂයෙන් මේ දිනවල සිංහබාහු නිර්මාණය සහ සිහින සමීකරණ අති සාර්ථක අන්දමින් වාර්තා පිහිටුවමින් තිරගත වෙනවා. සිහින සමීකරණ සහ සිංහබාහු කියන්නේ අන්ත දෙකක ගමන් කරන සිනමා නිර්මාණ දෙකක්. ඉතිහාසය සැඟවෙච්ච තොරතුරු සමුදායක් තුළින් සිංහබාහු සැබෑ තොරතුරු ගවේෂණයක් කරමින් ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නිර්මාණයක් ලෙස කුඩා මහලු සියලු දෙනාටම රසවින්දනය සහ ඉතිහාසය දැනගන්නට පුළුවන් වෙන සිනමාපටයක් ලෙස දින 75 පසු කරමින් තිරගත වෙනවා. ඒ වගේම වර්තමානයේ තරුණ පරම්පරාව තුඩු දෙන මත්ද්‍රව්‍ය උවදුරත් එක්ක ඒ දේවල් වලට මූණ දෙමින් තරුණයෙකු ජීවිතයේ නොයෙක් බාධක කම්කටුලු මැඩ ගනිමින් නැගී සිටින ආකාරය සසික හේරත්ගේ පළමු සිනමා නිර්මාණය වන සිහින සමීකරණ තුළින් සමාජයට විශේෂ පණිවිඩයක් දෙමින් මේ දිනවල තිරගතවීම සිදුවෙනවා. ඒ වගේම තවත් මාසයක් වගේ ගතවන විට මම රංගනයෙන් දායක වුණ තවත් සිනමා නිර්මාණ කිහිපයක් ප්‍රේක්ෂකයන්ට නරඹන්නට හැකියාව තිබෙනවා.


සිනමා නිර්මාණ වගේම ටෙලි නාට්‍ය නිර්මාණ කිහිපයක්ද මේ වන විට විකාශනය වෙනවා නේද?


මේ නිර්මාණ දෙකට අමතරව පාට කුරුල්ලෝ සහ බයිස්කෝප් කියන ටෙලි නාට්‍ය නිර්මාණ දෙකත් විකාශය වෙනවා.නාඩගම්කාරයෝ නාට්‍යයෙන් පසුව මට මේ නිර්මාණ දෙකට හොඳ ප්‍රතිචාර මේ වනවිට ලැබෙනවා. නාඩගම්කාරයෝ සරයි පාර දිගේ බණ්ඩාගේ රඟපෑම බලන්න කවුරුත් එක වෙලාවක එක තැනකට එනවා කියන්නේ හොඳ ප්‍රතිචාරයක්.


වෙනත් ශිල්පීන්ට වඩා ඔබට ලැබෙන ප්‍රතිචාර මේවට වෙනස් නේද?


මේ ගතවන මොහොත වෙන විට දින 75 පසු කරමින් සිංහබාහු තිරගත වෙනවා. මේ මොහොතේදී මට ගොඩක් ආදරණීය හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ සිංහබාහු නිර්මාණයට. මේ සිනමා නිර්මාණයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් තරමක් වෙනස් ස්වභාවයක් ගන්නවා. මගේ අප්පච්චි සහ අයියා කියන අපි තුන්දෙනාම මේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන් අතරට එනවා. මගේ අප්පච්චි අනතුරට පත් වෙන්නෙත් මේ සිනමා නිර්මාණය රූපගත කිරීම් කරන අතරතුරයි. එක වැලක පුරුක් එකට බැඳීලා බැඳීලා කටයුතු කරලා එක පුරුකක් හරි වෙන් වුණාම එතන දැනෙන සංවේදී බව කියලා නිම කරන්න බැහැ. ඒ නිසා බොහෝවිට මේ නිර්මාණයත් එක්ක ඉතාම සංවේදී කාරණා ගොඩක් බැඳීලා තියෙනවා. මනුස්ස සංහතියට පමණක් නෙවේ මේ සංවේදී බව දැනෙන්නේ සතා සිවුපාවුන්ටත් ඒක එලෙසමයි. ඒ සංවේදී බව නිසා වෙන්න ඇති මේ නිර්මාණයට තරමක් ප්‍රේක්ෂකයන් වෙනත් ප්‍රතිචාර ලබා දෙන්නේ. මගේ අප්පච්චිගේ පරම්පරාවෙන් ගෙනා අප්පච්චිගේ කලාවේ තිබුණු දක්ෂතාවයන් අපිට ලබාදීම තුළින් අපේ කලා ගමනට අප්පච්චි යෝධ ශක්තියක් වෙමින් අත්වැලක් උණා. මේ සිනමා පටය වෙනුවෙන් තිබුණු මුහුරත්දා අපි තුන්දෙනාටම ලංකාවේ තිබෙන කලා පුවත්පත සරසවියේ මුල් කවරයක් සරසන්න ලැබීමත් අපි ලද සතුටක් කියලා කියන්න පුළුවන්. ඒ දේ දැකලා අප්පච්චි බොහෝම සතුටු උණා එදා. ඉතිහාසයේ වැළලී ගිය දෙයක් පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස එළියට ගෙනෙන කොට අපි තුන්දෙනාම එකට එහි රංගනයේ යෙදීම සහ මාධ්‍ය තුළින් හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබීම ගැන අප්පච්චි නිතරම කතා කළා. මම පොළොවේ පය ගහලා ඇවිදින නිසා මට වෙනත් වෙනත් ප්‍රතිචාරත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. ඒක තමයි මම ජීවිතේ ලද ලොකුම සතුට මේ වෙනුවෙන්.


ඔබට ජැක්සන් ඇන්තනිගේ පුතා කියනවටද කැමතියි නැත්නම් සජිත ඇන්තනී කියන නමටද කැමති?


මම නිතරම උත්සාහ කරන්නේ අප්පච්චිගේ අඩි පාරේ යන්න නෙවෙයි.අප්පච්චි ක්ෂේත්‍රය ඇතුළේ හොඳ ගමනක් ගිය කෙනෙක්. ඒත් ඒ ගමන ඇවිත් එක තැනක අප්පච්චි නවතිනවා. මට අප්පච්චි නිතරම කිව්ව දෙයක් තමයි මම ආපු පාරේ ඇවිත් මම නැවතුණු තැනින් නවතින්නේ නැතුව ඉදිරියට යන්න කියන එකයි.ඒ නිසා මගේ හැකියාවෙන් ඉදිරියට යාම තමයි මගේ එකම බලාපොරොත්තුව වෙන්නේ හැමදාම. ඒ වෙනුවෙන් මම ගොඩක් කැප කිරීම් කරනවා මේ කාලසීමාව තුළදීත්. ඒ නිසා මම කවදාකවත් ජැක්සන් ඇන්තනිගේ පුතා කියනවාට කැමතියි. නමුත් මා සජිත ඇන්තනි යන නමින් හඳුන්වනවාට තමයි වඩා කැමතියි. ඕනෑම ශිල්පියෙක් ශිල්පිනියක් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන තමන්ට ආවේණික රංග කෞශල්‍යයක යෙදෙනවා නම් ඔහු ආමන්ත්‍රණය කරන්නට ඕනේ ඔහුගේ නමින්ම තමයි. ජැක්සන් ඇන්තනිගේ පුතා උණාට ජැක්සන් ඇන්තනි කියන මහා පෞරුෂය වෙන්න මට කවදාකවත් බැහැ.


දින 75 පසු කරන සිංහබාහු ඔබට විශේෂ නිර්මාණයක් නේද?


සිංහබාහු සිනමා නිර්මාණය කියන්නේ අපේ ජීවිත වලට කිසි දිනක අමතක කළ නොහැකි නිර්මාණයකි.මිහිරි සහ අමිහිරි අත්දැකීම් සමග සමාජගත වුණු ප්‍රශ්න සමුදායකට මුහුණ දෙන්න වුණු නිර්මාණයක්. ඒ නිසා මේ නිර්මාණය මට ගොඩක් විශේෂ වෙනවා. අප්පච්චි සහ අයියා මම තුන්දෙනාම එකට රඟපාපු එකම සිනමා පටය කිව්වොත් මම හිතන්නේ නිවැරදියි. මීට වසර පහකට ඉස්සර තමයි මේ සිනමා පටයට අපිට ආරාධනා ලැබෙන්නේ. ඒකත් හරියටම සුවිශේෂී දවසක තමයි ලැබෙන්නේ. සෝමේ මාමා අප්පච්චිට මේ ආරාධනාව ගේන්නේ මගේ විවාහ මංගල්‍යය දවසේයි.එදාට නියමිතව තිබූ අනුරාධපුර ප්‍රදේශයේ දර්ශන තලයේ රූපගත කිරීම් කරලා නැවත එන අතරතුර තමයි අප්පච්චිව අනතුරට පත්වෙන්නේ. අප්පච්චී අප අතරින් සදහටම වෙන්ව යන්නෙත් මේ නිර්මාණය ඉදිරි කොටස් රූපගත කිරීම් කරන්න තිබෙන අතරතුරදී. ඕනෑම දරුවකුට පිය සෙනෙහස අහිමිවීම තුළ නිර්මාණයක දායක වෙලා තියෙද්දී දැනෙන වේදනාව වචනවලින් කියල නිම කරන්න අමාරුයි. චරිතයක් බාර ගත්තාට පසු අපි සියලු දෙනාම අධ්‍යක්ෂකවරයාට ඒ වගකීම ඉටුකළ දිය යුතුයි.අප්පච්චි නැති උණාට පස්සේ අයියටයි මටයි ඉතිරි අර්ධයේ වැඩකටයුතු සිදු කරන්නට වුණා. ඒත් ඒ වැඩ කොටස කරන්න පහසුකාරයක් නම් වුණේ නැහැ. ඒත් අප්පච්චිගේ බලාපොරොත්තුවක් තිබුණා කවදා හරි අපි ඉදිරියට යා යුතුයි කියලා. ඒ ඉදිරියට යාමේ අරමුණ අප්පච්ච් වෙනුවෙන් අයියත් මාත් ඉටු කළා.සිංහබාහු වෙනුවෙන් අපට මිහිරි අත්දැකීම් සමඟ අමීහිරි අත්දැකීම් ඉතුරු වුණා. ඒත් අමිහිරි අත්දැකීම්ද මිහිරි අත්දැකීම් බවට පත්කර ගන්නට අපිට මඟ කියා දුන්නා අප්පච්චි.


පර්යේෂණාත්මක කාව්‍යමය භාෂාවක් රැගෙන මේ දිනවල තිරගත වන සිංහබාහු ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රධාන චරිතයකින් ඔබව රැගෙන යනවා.?


නිර්මාණශීලී සම්මානිත අධ්‍යක්ෂකවරයකු වගේම පර්යේෂණාත්මක තිර පිටපත් රචනා කරමින් ආදායම් වාර්තා පිහිටුවන නිර්මාණවේදියෙක් තමයි ආචාර්ය සෝමරත්න දිසානායකයන් කියන්නේ. සූරිය අරණ හරහා සජිත අනුත්තර කියන චරිතය ලාංකික සිනමාවට හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ දවස්වල ප්‍රේක්ෂකයන් වැල නොකැඩී සිනමාහල් කරා ඇදුණා. ආදායම් වාර්තා පිහිටුවමින් සිනමා පටය තිරගත වුණේ. මගේ සිනමා ගමනේ පියා ලෙස සලකන්නේ ආදරණීය සෝමේ මාමායි. ඒ වගේම මගේ අයියා සිනමාවට හඳුන්වා දෙන්නෙත් ඔහු. කාලයට උචිත තේමාවන් රැගත් ප්‍රේක්ෂකයාට වුවමනා දේ දෙන්නට ඔහු සමත් වෙනවා. සිරි පැරකුම් තිරගත වුණේ සිනමාහල්වල බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින්, වර්තමානයේ අද අපි දෙන්නම රංගනයෙන් දායක වන සිංහබාහු සිනමා පටය තිරගත වෙන්නෙත් සියලුම සිනමාහල් හවුස්ෆුල් ලේබලය අලවමින්. කවියකු වගේම ගීත රචකයෙක්ගේ නිර්මාණයක් නිසා මෙහි භාවිතා කරන කාව්‍යමය භාෂාව නිසාත් ප්‍රේක්ෂකයාගේ සිත් ඇද බැඳගෙන අවසානයේ තෙක් රැගෙන යනවා. එහෙම තිර පිටපත් රචකයෝ ලාංකේය සිනමාව තුළ හරිම විරලයි. මට මේ තිරපිටපත අතට ලැබුණ ගමන්ම දැක්කේ ඒකේ මුල ඉඳන් අගටම තිබුණේ කවි නිසා චරිතය ගැන පොඩි කුතුහලයකින් කටයුතු කළේ. වේදිකාව නොවන නිසා කාව්‍යමය භාෂාවක් සමඟ හැඟීම් ප්‍රකාශ කරන්නේ කොහොමද කියන අභියෝගය තමයි මුලින්ම මට දැනුණේ. කවියක් කියන විට මුලින්ම ප්‍රේක්ෂකයාට දනවන්න නම් එහිදී හැඟීම්, මනෝභාව, ව්‍යංගර්ථ අවබෝධ කරගත්තාට කතා කරද්දි ඒ හඬ උස් පහත් වීමත් සමඟ කවියෙන් කොහොමද හැඟීම් ප්‍රකාශ කරන්නේ කියන එක නිසා කිසි යම් විදිහකින් ස්වයං පර්යේෂණයක් කරන්නට මට සිදුවුණා. මුලදී ප්‍රේක්ෂකයන් මේක වැලඳ ගන්නේ කොහොමද කියන එක තුළ බයක් හිතට ආවා. වේදිකාවේ මම ඉගෙන ගත්ත නාට්‍ය ධර්මයේ නාට්‍යය කලාව තුළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ සිංහබාහු පුරාවෘත්තයන් නිර්මාණය වුණේ. ලෝක ධර්මයේ ආරෙට නොවේ. ශෛලිගත ආකාරයට යම්කිසි රීතිමය විදිහකට කාව්‍යමය බසකින් කියන බස්වහරක් උණා. එහෙම බලද්දි හා සිතද්දී අපේ තියෙන දෘෂ්ටිවාදයත් එක්ක එවැනි කාව්‍යමය බස් වහරක් තුළින් ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා කියන එක දැනුණා. සිනමා පටයකට මෙවැනි බස් වහරක් යොදා ගැනීම කාලෝචිතයිද කියන ප්‍රශ්න ගණනාවක් විචාරකයන් තුළින් ලැබුණා. ඒත් බුද්ධිමත් ප්‍රේක්ෂකයන් එය වැලඳ ගත්තා. දින 75 පසු කරන විටත් සිනමාහල් කරා හවුස්ෆුල් ලේබලයෙන් චිත්‍රපටය තිරගත වෙනවා. ඒ කියන්නේ නිර්මාණවේදියා සහ නළු නිළියන් සාර්ථකව මේ නිර්මාණය කරලා තියෙනවා කියන එකයි. ප්‍රධාන චරිතයකින් සිනමාවට එන විට ප්‍රේක්ෂකයන් එවැනි භාෂාවකින් මාව නෙරපා දමයිද කියන කුතුහලය තිබුණා. හවුස්ෆුල් ලේබලය වදින විට මට හරිම සතුටක් දැනුණා සිනමා පටය වැලඳ ගන්න බවයි.


සසික හේරත්ගේ සිනමා නිර්මාණයට ඔබට දායක වෙන්න ලැබෙන්නේ කොහොමද?


ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කරන දවසකදී මට මතක හැටියට ඔහු මේ ගැන මට කතා කළේ.ඉන්පසු ඔහු මා සමඟ නිතර දෙවේලේ මේ ගැන කතා කරා දුරකථනයෙන් හා හම්බවෙච්ච හැම මොහොතකදීම. ඒ ගොඩනැගුණු විශ්වාසය හා ඔහුගේ හැකියාව නිසා මට ඇත්තටම මේ සිනමාපටයට දායක වෙන්නට හිතුණා. මට සසික හේරත් කියන දක්ෂ සහය අධ්‍යක්ෂකවරයා ළඟට මම නැවත පැමිණෙන්නේ ඔහුගේ පළමු අධ්‍යක්ෂණය සඳහායි. විසල් කියන චරිතය මට හරිම සමීප චරිතයක් බවට ඔහු පත්කළා. පොළොන්නරුව නුවර කොළඹ වැනි ප්‍රදේශ තෝරාගෙන රූපගත කිරීම් තුළ. පරිසරයන් තුළ සිදුවන විභේදනයන් ජීවත්වන සමාජයන් තුළ වෙනස්වීම් රටාවන් ඒවට අනුවර්තනය වීම හා සමාජය වෙනස් කරන්න ඕන දේවල් වෙනස් කිරීමට නොපැකිළිව මූණ දෙන පුද්ගලයන් ආදරය දයාව සෙනෙහස තුළ සමාජගත වීමට පුළුවන් ඕනෑම කෙනෙකුට කියන එක හරිම අපූරුවට තිර පිටපත රචනා වෙලා තිබුණා. ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණයට මම ඇතුළු අපි සියලු දෙනාට දායක වීම ලැබීමත් හරිම සන්තෝසයි. දක්ෂ නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙක් ලෙස ක්ෂේත්‍රයට අවැසිම වෙලාවක ඔහු පැමිණෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපේ රංගනයට කිසිම අවස්ථාවක ඔහු බාධා කළේත් නෑ ඔහුට ඕන දේ අපි ලබා දුන්නා.


විසල්ගේ චරිතය ඔබේ චරිතයට සැබැවින්ම බද්ධ උණොත් ඔබ මොකද හිතන්නේ?


ඒ චරිතානුරූප රංගනයක් නිසා විසල් වැනි චරිත අද සමාජයේ නිතර ගැටෙනවා. එවැනි දේ සැබැවින්ම මට උණානම් මම නැඟී සිටීම ගැන සමාජගත වීම තුළ මට පුදුම ආඩම්බරයක් තියෙන්නේ. මට කියන්න තියෙන්නේ කිසිවකුට බැහැ කියලා දෙයක් නෑ ඔහුගේ ස්වඋත්සාහයෙන් නැඟී සිටින්නට හැකියාව තියෙනවා නම් රටක් නෙවෙයි ලොවක් දිනන්න පුළුවන් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. නම කියැවෙන පුද්ගලයන් හා සියලු දේ සිදුවෙලා තිබෙන්නේ කර්කශ පොළවේ ජීවත් වුණ ජීවිතවලටයි. ඒ නිසා මේ සිහින සමීකරණ සිනමා පටයේ ජීවත්වන චරිත සැබැවින්ම චරිත ලෙසට ගොඩනැගෙනවා නම් කොච්චර ආඩම්බරයක්ද කියන එක දැනුණා.


අප්පච්චි දවසක් කිව්වා පොඩි එකාගේ තුන්කුලුඳුල් වැඩක් තමයි ගාඩි රුප ගතකරන දවස්වල උණේ කියලා ඒ මොකක්ද?


මගේ ජීවිතයේ මම ගොඩක් වාසනාවන්ත වෙලා තියෙනවා. හොඳ අධ්‍යක්ෂකවරු යටතේ රඟපාන්නට ලැබීම. ඒ සියලු දෙනාම සම්මානනීය අධ්‍යක්ෂකවරු වීමත් විශේෂත්වයක්. අබා, සූරිය අරණ සම්මානනීය සිනමා නිර්මාණ එක්ක ළමා රංගන ශිල්පියෙක් විදිහට සිනමාවට එන මාව තරුණ රංගන ශිල්පියෙක් හැටියට සිනමාවට ගේන්නේ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේයි. සිනමාවේ නිරත වෙන්නට කැමැතියි ශිල්පියෙක් හැටියට මම ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂකවරයාට දැඩි ලෙස ප්‍රිය කරනවා. අප්පච්චිට මම දවසක් කියලත් තියෙනවා මට හරිම ආසයි ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂකවරයා සමඟ වැඩක් කරන්න කියලත්. ගාඩි සිනමා පටය ඒ සිහිනය මගේ ජීවිතයේ සැබෑ කරා කිව්වොත් නිවැරදියි. ගාඩි කියන්නේ දින හැත්තෑවක් වැනි රූපගත කිරීම් කළ සිනමා පටයකි. මම රඟපාපු වැඩිම කැපකිරීමක් කළ සිනමාපටයත් මෙයයි. ඒ කාලය පුරාම මට ජීවත් වෙන්න උනේ කුලහීනයකු ලෙසිනි. මගේ උපාධිය ලබා ගැනීම විවාහ මංගල්‍යය සමඟ මිහිරාවා ආවා ගීතය එළිදැක්වීම යන තුනම සිදුවුණේ මේ ගාඩ් සිනමා පටය හා රුපගකරමින් සිටින විටය. සියළු සිදුවීම් සිදුවුණේ මගේ කොණ්ඩේ රැවුල වවාගෙනයි. ඒ නිසාවෙන් නැති තුන් කුලුඳුල් කතාවක් අප්පච්චි කියන්න ඇත්තේ. මගේ ජීවිතේ ගාඩි කියන්නේ මට අමතක නොවන අත්දැකීමක් බවට පත්වුණා.


සජිත අනුත්තර වෙනස් කළේ බුවිගේ ආදරය නේද?


මගේ ජීවිතේ වෙනස් කළේ ඇය තමයි. බුවිගේ හමුවීමත් සමඟ මගේ කලා ජීවිතය පමණක් නොවේ සියල්ලම වෙනස් වුණා. ක්ෂේත්‍රයේ ගමන වේගවත් බවට හැර වුණා. එක එක ශිල්පීන්ට කළමනාකාරවරුන් කළමනාකාරිනියනි ඉන්නවා. මගේ කළමනාකාරිනිය වෙලා ඉන්නේ ඇයයි. මෙහිදී මගේ කැලැන්ඩරේ අප්ඩේට් කරන්නේ, විදෙස් සංචාර කළමනාකරණය කරන්නේ, ජීවිතේ සියල්ලමට මතක් කරල දෙන්නේ ඇයයි. කලාවේ ගමන මම ගියාට ඇගේ තීක්ෂණ බුද්ධිය හා කළමනාකාරිත්වය නිසා තමයි මෙච්චර දුර ගමනක් මට එන්න ලැබෙන්නේ දැන්. පවුලේ අප්පච්චිගෙන් සහ අම්මගෙන් ලැබුණු රංග කුසලතාවයන් එක්ක මම එකතු කරගත්ත ව්‍යුත්පත්තියත් එක්ක සත්‍යභ්‍යාසයත් එක්ක මම සම්පූර්ණ කරලා තිබුණේ රවුමක ශක්තිමත් භාගයක් විතරයි. ඉතිරි භාගය සම්පූර්ණ කළේ බුවි. මේ ගෙවන ජීවිතයේදී එයාගේ සපෝට් එක මට නැතිවුණොත් එක පාරටම මම ගලෙන් පල්ලහකට ඇදගෙන වැටෙයි කියලා හිතෙනවා. මම හැමදාම හිතන දෙයක් තමයි මට ලැබුණු හොඳම සම්පත ඇයයි.


ඇය තමයි මගේ ශක්තිය. මගේ අප්පච්චිටයි අම්මටයි දෙන ගෞරවය වගේම ඒ හා සමාන ගෞරවයක් බුවිටත් මම පුදකරනවා. මේ සියලු දේවල් මට සිදුකර දුන්නේ සමාජ මාධ්‍ය ජාලා හරහායි. ඒ කාලේ මම පළමු වසරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වුණා. දැනට අවුරුදු අටකට උඩදී තමයි මේ සියලු දේවල් සිදු වෙන්නේ. වෙනත් රටක වාසස්ථානයක් බවට පත්ව සිටි ඇය ලංකාවත් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තා. යාළුවෙකු සමඟ ආශ්‍රය කරන්න පටන් අරන් ආදරයක් බවට පරිවර්තනය කරගෙන අපි දෙන්නා දැන් වසර දෙකක පුංචි පුතුකුගේ පියෙකු සහ මවක බවට පත්වුණා. මේ සියලු දේවල් බාධක කම්කටුලු මැඩගෙන ආපු ගමනක් අපි දෙන්නා. ඒ පියසෙනෙහසට ගෞරව කරන්නට මට අවස්ථාව දුන්නෙත් ඇයයි. මගේ පුංචි කාලේ ගෙව්වා වගේ මගේ පුංචි පුතත් ගෙවන්නේ ඔහුත් කවදා හරි කලාවේ ගමනක් යයි කියලා මම හිතනවා. මගේ චූටි පුතා සහ බුවී මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. බූවී ගේ මාස්ටර් ඩිග්‍රිය කර ගැනීම සඳහායි. ඇය ටික කාලයක් එහි ගත කරන්නේ. ඒත් සමහරක් වෙලාවට මගේ හිත ඇතුලෙන් කෑ ගහනවා කොලු පැටියත් අරම් නැවත ලංකාවට එන්න කියලා. එයාගේ හීනවලට ඉඩ දෙන්න තමයි මං මේ තරම් ඉන්නේ. මට ඉඩ ලද සෑම මොහොතකම මම ඇය සහ ඔහු කරා යනවා. ඇයද ඉඩ ලද හැම මොහොතකම මෙහේ එනවා. පළමු හමුවීමේ සිට මේ තාක් ඒ ආදරේ එලසම පවතිනවා.


ප්‍රේක්ෂකයා නොදුටු නිර්මාණත් සමඟ ඔබ ඉදිරියේදී හමුවන්නේ කෙසේද?


මේ වන විට තිරගතවන සිනමා පට දෙකත් සමඟ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියගේ දුෂ්රා සිනමා පටය තිරගත වීමට නියමිතයි. මේ සිනමා පටය සඳහා මාව තෝරා ගැනීම සම්බන්ධව චන්න දේශප්‍රියට ස්තූතිවන්ත වෙමින් මම පුදුම සතුටක් ලබන්නේ. ඉදිරියේදී එකගෙයි සොකරි වගේම. ලලිත් රත්නායකගේ බොම්බයි මොටයි සිනමාපටයටත් මම හරිම ආසාවෙන් සම්බන්ධ වුණේ. අරුණ ජවර්ධනගේ මායා ටෙලිනාට්‍යත් ඉදිරියේදී දක්නට ලැබෙනවා. මෙයට සමානවම මගේ අලුත් ගීතයද එළිදැක්වීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒවගේම මගේ අලුත් ගීතයත් ඉක්මනින්ම මුදා හරින්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මේ ගමනට සහයෝගය දුන්න නම් නොකී සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.



Previous Post Next Post