මං ආදරේ පස්සෙ පන්නන්නෙ නෑ -දේශානි නෙහාරා




පාර දිගේ ටෙලි නිර්මාණයේ ආන්‍යා ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනූ ඇය පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ භාවනා ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන්නීය. ගුවන් සේවිකාවක් වෙමින් තම වෘත්තීය සිහිනය සැබෑකර ගත් ඇය ආන්‍යා ලෙසින් රංගන සිහිනය ද සැබෑකර ගත්තාය. දිලිසෙන නෙතු සඟල මෙන්ම ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියන ඇය දේශානී නෙහාරාය.


ප්‍රේක්ෂකයන් ඔබව හඳුනගන්නෙ ආන්‍යා විදිහට. ආන්‍යා ද භාවනාට අවස්ථාව ලබාදෙන්නේ?


ඒකත් හේතුවක් වෙන්න ඇති. පාර දිගේ ටෙලි නිර්මාණයට මට ආරාධනා කරන්නේ චාමර සමරවික්‍රම අයියා. ඒක මගේ හීනය සැබෑවීමක්. රැකියාව කාර්යබහුල වෙද්දි පාර දිගේ ඇතැම් කොටස් මං ඩුබායිවල ඉඳන් ෂූට් කරල එවපු අවස්ථා තිබුණා. පාට කුරුල්ලෝ සඳහා ආරාධනා ලැබෙන්නෙත් චාමර අයියගෙන්. මෙහෙම වැඩක් කරනවා සම්බන්ධ වෙන්න පුළුවන්ද නංගි කියලා ඔහු මගෙන් ඇහුවා. එතැනදී මට දෙන්න පුළුවන් දින ගාණට හරියන චරිතයක් තමයි ගන්න වුණේ. දින ලබා දීමේදී A.D. තරංග අයියත් මට ලොකු සහායක් දෙනවා. මං වෙන රටක ඉඳන් ඇවිත් ෂූටින්වලට සම්බන්ධ වෙනව කියන්නෙ එයාලටත් ලොකු චැලේන්ජ් එකක්. ඒ වගේ තත්ත්වයක් යටතේ මාව සම්බන්ධ කරගත්තට මං ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


දේශානිගේ හීනය වුණේ රංගන ශිල්පිනියක් වීමද? ගුවන් සේවිකාවක් වීමද?


ඇත්තටම ගුවන් සේවිකාවක් වෙනව කියන හීනය මට තිබුණෙ නැහැ. මගේ අක්කා ගුවන් සේවිකාවක්. එයා යන එන හැටි දැකලා, එක එක රටවල්වලින් ගේන දේවල් දැකලා, අක්කා ජොබ් එක එන්ජෝයි කරන විදිහ දැකලා තමයි මටත් ආස හිතුනෙ ගුවන් සේවිකාවක් වෙන්න. රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියන එක පුංචි කාලෙ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්. මේ වෙද්දි මං ඒ හීන දෙකම ජයගෙන තියෙනවා.


ඔබ අතිශයින් කාර්යබහුල චරිතයක්. රැකියාව හරි රංගනය හරි දෙකෙන් එකක් තෝරගන්න වුණොත්?


මං සේවය කරන්නෙ ඩුබායිවල. රටවල් දෙකක වැඩ කරනව කියන්නෙ හරියට යුද්ධයක් කරනව වගේ වැඩක්. හරිම වෙහෙසකාරීයි. ඒත් මට හිත් දෙන්නෙ නෑ මේ දෙකෙන් එකක් අතෑරල එකක් තෝරගන්න. ඩුබායිවලට ආවට පස්සෙ මං ලොකු මානසික පීඩනයකින් හිටියා රංගනය අතාරින්න වේවි කියලා. කොහොමහරි කැපවෙලා මේ දෙකම කරගෙන යනවා.


කොහොමද භාවනාට ලැබෙන ප්‍රතිචාර?


භාවනා කියන්නෙ ආන්‍යාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. තාත්තත් එක්ක එකතුවෙලා තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ගේම් ගහන චරිතයක්. භාවනාටත් දැනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියෙදී වෙනස් වෙන්නත් පුළුවන්. දැනටමත් භාවනා කියල කතා කරන අය ඉන්නවා. වෙන රටවලට ගියාම අදටත් ආන්‍යා කියල කතා කරන අය තමයි වැඩිපුර ඉන්නේ. ලෝකෙ කොහේ ගියත් අපේ රටේ මිනිස්සු මාව හඳුනගෙන ළඟට ඇවිත් කතා කරද්දි දැනෙන හැඟීම කියන්න වචන නෑ. ඒ ආදරේ සල්ලිවලට ගන්න බෑ. කලාව නිසා තමයි මට ඒ ආදරේ ලැබුණෙ. මං ඒ ආදරේට ලෝබයි. ඒ වගේම ගරු කරනවා. මාත් ඔවුන්ට ඒ වගේම ආදරෙයි.


දේශානි නාගරික පන්නයේ චරිතවලටම කොටුවෙලා කියලත් හිතෙනවා?


බොහෝවිට මට ඒවම ලැබෙන්නෙ මගේ පෙනුම නිසා වෙන්න ඇති. තෝරගනිද්දිම එයාල කියන්නෙ ඔයා නම් ගැළපෙන්නෙ නාගරික චරිතෙකට කියලා. මං ගොඩක් ආසයි වෙනස් චරිතයක් කරන්න. හද්දා පිටිසර ග්‍රාමීය චරිතයක් කරන්න ලැබුණොත් හරිම කැමැත්තෙන් භාර ගන්නවා. මං වෙන රටක ඉන්න බව දැන දැනත් අපිට ඔයාව ඕන, එන්න පුළුවන්ද අහලා ආරාධනා ලැබෙද්දි නිහතමානී සතුටක් දැනෙනවා. ඒවට බෑ කියන්නත් ලෝබයි. මේ වෙද්දි සිනමාවටත් ආරාධනා දෙක තුනක් ලැබිල තියෙනවා. ඉදිරියේදී ඒ ගැනත් සලකා බලනවා.


ඔබ වඩාත් කැමැති ගුවන් සේවිකාවක් විදිහට හඳුන්වනවටද? රංගන ශිල්පිනියක් විදිහට හඳුනගන්නවටද?


ඒ දෙකටම මං ගරු කරනවා. දෙකම මං ආසාවෙන් කරන නිසා දෙවිදිහටම හඳුන්වනවට කැමතියි. ඩුබායිවලදි ගුවන් සේවිකාව විදිහටත් ලංකාවෙදි රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වනවට වඩාත් කැමතියි.


ඔබ කරාතේ ශූරියක්. ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් ලැබිල නැද්ද?


පොඩි කාලෙ නම් කොල්ලො එක්කවත් ගහගත්තා. දැන් වුණත් කවුරුහරි ගහගන්න ආවොත් අතාරින එකකුත් නෑ.. ඒත් නිර්මාණයක් තුළින් ඒ හැකියාව පෙන්වන්න අවස්ථාවක් ලැබෙනව නම් මං කැමතියි.


ඔබ ආදරය විඳින කෙනෙක්ද, ආදරණීය අත්දැකීම් ගැනත් කතා කරමු?


ආදරය නිසා මං ගොඩක් දුක්වින්ද කෙනෙක්. වැරැදි පුද්ගලයෙක්ගෙන් ලැබුණු වැරදි ආදරයක් නිසා එක කාලෙකදි මට ආදරේට වෛර කරන්නත් වුණා. කලකිරුණා. එපා වුණා. මට ඕන කවදාවත් නොවෙනස් ආදරයක්. වෙනස් වෙන්නෙ නැති දෙයක් මේ ලෝකෙ නෑ කියන යථාර්ථයත් මං දන්නවා. එහෙම ආදරයක් ලබන්නත් පිනක් තියෙන්න ඕන. ලැබෙන්න ඕන වෙලාවට, ලැබෙන්න ඕන විදිහට, හරි කෙනා ලැබෙයි. මං ආදරේ පස්සෙන් පන්නන්නෙත් නෑ. ඒ ගැන ලොකු බලාපොරොත්තුවකුත් නෑ. මේ ලෝකෙ කවදාවත්ම වෙනස් වෙන්නෙ නැති එකම ආදරේ ලැබෙන්නෙ අම්ම, තාත්තගෙන් විතරයි. මං ඒ ආදරේ විඳිමින් ඉන්නවා.


නාමලී ගමගේ



Previous Post Next Post