එයාගෙ කතාවට තමයි මං අහුවුණේ-අශිකා මතසිංහ



අශිකා මතසිංහ මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේම ඔබ හමුවට එන රංගන ශිල්පිනියකි. ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ‘ආයාචනා‘ ටෙලි නිර්මාණයේ තරුණ විය ඉක්මවා ගිය මවකගේ භූමිකාවට පණ පොවන ඇය ප්‍රාර්ථනා, ජානු මෙන්ම පසුගියදා විකාශය ඇරැඹුණු ‘රජ ගෙදර‘ ටෙලි නිර්මාණයේ ද දැකගත හැකිය. මවගේ භූමිකාවටම කොටු වී සිටි අශිකාට පසුගියදා නැවතත් පෙම්වතියක් වීමට ලැබුණු අවස්ථාව සිය රංගන දිවියට නව පණ ලැබුණාක් බඳුයැයි පවසමින්ම ඇය අප හා කතාබහට එක්වූවාය.


ඔබ රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා නේද?


ඔව්. ස්වාධීන රූපවාහිනී නාළිකාවේ ‘ආයාචනා‘ වගේම ‘ජානු‘, දෙරණ නාළිකාවේ ‘ප්‍රාර්ථනා‘, හිරු නාළිකාවේ ‘රජ ගෙදර‘. එකිනෙකට වෙනස් චරිත හතරක්.


අශිකා මවගේ චරිතයටම කොටුවෙලාද කියලත් හිතෙනවා?


පහුගිය කාලෙ එක දිගටම මවගෙ චරිතෙටම ආරාධනා ලැබුණ නිසා මටත් ඒ දෙගිඩියාව තිබුණා. ඒත් අලුතින් සම්බන්ධ වුණු ‘මේන් කැරැක්ටර්’ කියන ටෙලි නිර්මාණයෙන් නැවතත් පෙම්වතිය වෙන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මට නිකං දැනුණෙ ආ‍ෙයම පණ ආවා වගේ හැඟීමක්.


ආයාචනා කියන්නෙ නවක අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක්. ඔබ පුරුදු නැති කෙනෙක් එක්ක වැඩ කරන්න වැඩි කැමැත්තක් නෑ නේද?


මං ගොඩක් කැමැතියි පුරුදු අයත් එක්කම වැඩ කරන්න. ඒක මට පහසුයි. අලුත් කෙනෙක් එක්ක වැඩ කරද්දි හුරුවෙන්න මට ටික දවසක් යනවා. ‘ආයාචනා‘ ටෙලි නිර්මාණයට මට ආරාධනා ලැබෙන්නේ ADගෙන්. ඔහුත් සමඟ මං කලින් වැඩ කරණ තියෙනවා. ‘ආයාචනා‘ ඩිරෙක්ටර් පසිඳු නූපේආරච්චි අලුත් කෙනෙක් වුණාට හරිම සුහදව කෲ එක හැන්ඩ්ල් කරනවා. ‘ආයාචනා‘ චරිතය ලොකු පුතාල දෙන්නෙක් ඉන්න මැදිවිය ඉක්මවූ මවකගේ කැරැක්ටර් එකක්. මුල්ම දවසෙ මේකප් දාලා එද්දි තමයි ගොඩක් වයස බව පෙනුණේ. එදා නම් හිතට පොඩි අවුලක් ආවා. ඒත් ඉතින් ඒ වෙද්දි අතාරින්න බෑනේ. පහුවෙනිදා වෙද්දි ඒ කැරැක්ටර් එකට මං ආස වුණා. මගේ ළමයි ලොකු වුණහමත් මේ වගේ ඉඳියි කියල හිතාගෙන ඒ නිර්මාණයට සම්බන්ධ වුණා.


ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතාකරමු?


මුලදි සමහරු ඇහුවා ඇයි ඔයා මේ වගේ චරිතයක් බාරගත්තෙ කියලා. මේ වෙද්දි නම් එයාලම කියනවා අනේ මේ ඔයා ද ඉන්නෙ. ඒ බවත් අමතක වෙනවනේ කියලා. ඒ කියන්නෙ මං ඒ චරිතයේ ජීවත් වෙනව කියන එකනෙ. ඔයා ගොඩක් හොඳට ඒක කරනව කියලත් කියනවා. ඒ අභියෝගය බාරගැනීම ගැන අද මට සතුටුයි.


‘හිත ළඟ හිනැහුණා‘ කියන්නෙ ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත්?


ඔව්. ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නිර්මාණයේ මිනෝලි කියන්නෙ මගේ රංගන ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය. අධ්‍යක්ෂණය ධනුෂ්ක රත්නායක සහ ප්‍රදීප් රසාංග. මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර පිටපතක්. ටිකක් තද ගතිපැවතුම් තියෙන මහත්තයාවත් පාලනය කරන ගාම්භීර චරිතයක්. අනිත් අයවත් මෝටිවේට් කරන බිස්නස් ලේඩි කෙනෙක්. ඒ නිසා ගොඩක් ප්‍රතිචාර ලැබුණා. බිස්නස් ෆීල්ඩ් එකේ හැප්පෙන ධෛර්යවන්ත කාන්තාවක් වගේම හරිම ආදරණීය අම්මා කෙනෙක්. ගොඩක් ප්‍රතිචාර ලැබුණු චරිතයක්. මහේෂ් අයිය තමයි මට ආරාධනා කළේ. මිනෝලි මාව රංගනය පැත්තෙන් තෘප්තිමත් කළා. දැන් ලැබෙන චරිත මට බෝනස් වගේ දැනෙන්නේ.


අශිකා ක්ෂේත්‍රයට පිවිසුණු විදිහත් කියමු?


ඒකට මූලික අඩිතාලම වැටුණෙ මගේ පාසල වූ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. අනුලා විද්‍යාලයේ සෝෂල් ඩේ එකට මං අන්දවගන්න ගියේ කමලා කහවලගේ මහත්මිය ළඟට. එයාගේ මාර්ගයෙන් මට වෙළෙඳ දැන්වීමකට පෙනී ඉන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ අපේ නංගිගෙ පාසලේ වැඩකට එච්. ඩී. සර් හමුවෙන්න ස්වර්ණවාහිනියට ගිය වෙලාවෙ සර් මගෙන් ඇහුවා ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැති ද කියලා. ඒ විදිහට තමයි ස්වර්ණවාහිනියෙන් නිෂ්පාදනය කළ ‘මල්සර ගීතය’ ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙලා මගේ පළමු රංගන අත්දැකීම ලබාගත්තේ. ඒක රංග බණ්ඩාරනායකගේ අධ්‍යක්ෂණයක්. වෙළෙඳ දැන්වීමකට දායක වෙලා තිබුණු නිසා මට පොඩි අයිඩියා එකක් තිබුණා රංගනය මෙහෙම වෙන්න ඇති කියලා. ‘ඇහැළ මහා නිකිණ්නිය, අහස් මාළිගා, හිත ළඟ හිනැහුණා ‘වගේ නිර්මාණත් ප්‍රේක්ෂකයන් අතරට ගියා. මේ වෙද්දි නිර්මාණ විස්සකට වඩා සම්බන්ධ වෙලා තියෙනවා.


රංගන ශිල්පිනියකගේ හිතක් ආරක්ෂක අංශයේ කෙනෙක්ට බැඳුණෙ කොහොමද?


ඔහු සුරේන්ද්‍ර මුණසිංහ. ගුවන් හමුදා නිලධාරියෙක්. අපි විවාහ වුණේ යෝජනාවකින්. සුරේන් කියන්නේ ඉෂාන් ගම්මුදලි අයියගේ යාළුවෙක්. ඉෂාන් අයියව මුණ ගැහෙන්න ‘කිඳුරංගනා‘ ලෝකේෂන් එකට ආපු දවසක. මගේ යාළුවො දෙන්න නේරංජනායි ටමාෂායි සුරේන්ගෙන් අහලා විවාහ වෙන්න කැමැත්තක් නැද්ද කියලා. එයා කියලා අර කොහොඹ ඇඩ් එකේ ඉන්න කෙල්ල වගේ කෙල්ලෙක් හමුවුණොත් විවාහ වෙනවා කියලා. මං ඒ කොහොඹ ඇඩ් එකේ හිටියා. එතැනදි තමයි මගේ යාළුවො දෙන්න මාව ප්‍රපෝස් කරල තියෙන්නෙ. ඊට පස්සෙ නේරංජනාගෙ වෙඩින් එකට සුරේන්ටත් ආරාධනා කරලා තිබුණා. මං එයාගෙ බ්‍රයිඩ්ස්මේඩ්ට හිටියා. එදාත් කතාබහ කළාට මං කැමැත්තක් පෙන්නුවේ නෑ. කොහොමහරි දිගටම කතාබහ කරද්දි කැමැත්තක් ඇති වුණා. එයාගෙ කතාව තමයි මාව අල්ල ගත්තෙ. කෙටි ඇසුරකින් අපි විවාහ වුණා. දැන් අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි දුවයි. මගේ කලා කටයුතුවලට සුරේන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. අපි හරිම සතුටෙන් ජීවත් වෙනවා.


නාමලී ගමගේ



Previous Post Next Post