හිත ගිය තැන් නැතිවම නොවෙයි -ප්‍රාර්ථනා සෙව්වන්දි



මේ දිනවල පුංචි ළමුන්ගේ ලෝකයේ මෝහිනී ඇයයි. ඒ චරිත් අබේසිංහ සහ ප්‍රියාල් වීරසිංහ අධ්‍යක්ෂණය කරන පුංචි අන්දරේ ටෙලි නිර්මාණයේය. පුංචි තිරය මත විටෙක අහිංසක වන ඇය තවත් විටෙක දඟකාර හිතුවක්කාරියකි. වසර ගණනක් පුරා සෝනු ලෙසින් හිතුවක්කාර රංගනයක නිරත වූ ඇය මේ දිනවල මෝහිනීගේ වෙසින් සිටින්නීය. පුංචි තිරය මත විවිධාකාරයේ වෙස් මවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නා ඈ ප්‍රාර්ථනා සෙව්වන්දිය.


ප්‍රාර්ථනා මේ දවස් වල ගොඩක් කාර්යබහුලයි නේද?


ඔව්. ‘ජානු‘ ටෙලිනාට්‍යය වසර ගාණක ඉඳන් විකාශය වෙනවා. ඒවගේම මේ දවස්වල ‘පුංචි අන්දරේ‘ නිසාත් කාර්යබහුල වෙලා. ‘පුංචි අන්දරේ‘ ටෙලි නිර්මාණයේ මෝහිනීගේ චරිතය මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙනවා. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අලුත්ම ටෙලි නිර්මාණය සසංකාරා එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ඇරුණම කායා වගේම ඉරුගල් වලව්ව ටෙලි නිර්මාණයත් මං ප්‍රධාන චරිතවලින් සම්බන්ධ වන ටෙලි නිර්මාණ. ඊට අමතරව ඉඩක් ලැබෙන විදිහට නිරූපණයේත් යෙදෙනවා.


වසර ගාණක් සෝනු නිසා හිතුවක්කාර වුණු ප්‍රාර්ථනාට එකපාරටම මෝහිනී වැහුණෙ කොහොමද ?


ඒකට වගකියන්න ඕන චරිත් අබේසිංහ සහ ශ්‍රීමාල් වීරසිංහ. එයාලට තමයි ඕන වුණේ මාව මෝහිනී කරන්න. ඔවුන් මගේ වෙනත් දක්ෂතාවක් ඉස්මතු කරන්නයි එතැනදි උත්සාහ කළේ. වේශ නිරූපණයේත් ලොකු වෙනසක් කළා. කොණ්ඩෙ අවුල් කරලා, දත් කළු කරලා, මූණ කැත කරලා සෑහෙන ලොකු විපර්යාසයකට ලක් කළා. පොඩි දරුවෙකුත් උස්සගෙන ඒ වගේ අත්දැකීමක් ලබපු පළමු අවස්ථාව. ඒ බබා මට හුරුත් නෑ. දඟලනවා, අඬනවා. හරි අමාරුවෙන් කන්ට්‍රෝල් කරගත්තෙ. ඇත්තටම මට ලොකු අභියෝගයක් වුණා.


අන්දරෙයි මෝහිනියි එකම වේදිකාවට ගෙනාවෙ කොහොම ද?


ඇත්තම කිව්වොත් ඒ මෝහිනී නෙවෙයි. හැබැයි ගමම රැවටිලා හිටියෙ ඒ මෝහිනී කියලා. ඇය රොඩී කුලයේ කෙනෙක් එක්කයි විවාහ වුණේ. කුලයෙන් ටිකක් උසස් කෙනෙක් නිසා රැහේ උන් තරහයි. තනි අලියා ගහලා සැමියා මැරුණට පස්සෙ ඇය ළමයත් අරන් කැලෑ වදිනවා. එතැනදි තමයි ඇයට අන්දරේගේ උදවු ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අන්දරේ කිවුව ගමන් අපට මතක් වෙන්නේ කවටකම් කරන කෙනෙක්නෙ. ඒත් මෙතැන ඉස්මතු කරන්නෙ අන්දරේගෙ මනුසත්බව.


මෝහිනී විදිහට ඉන්න වෙන්නෙම කැලෑවෙනෙ. කොහොමද ඒ අත්දැකීම?


ඒක නම් මට ලොකු අත්දැකීමක් වුණා. සම්පූර්ණයෙන්ම රූගත කළේ රන්මිනිතැන්නෙ. ඒ කාලෙ මෝහිනීලා සෙරෙප්පු දාන්නෙත් නෑනෙ. සෙරෙප්පුත් නැතුව ඇවිදිද්දි, දුවද්දි කටු ඇනිලා, තුවාල වෙලා ලේ ගලද්දි ඒ වේදනාවත් දරාගෙන හරිම කැමැත්තෙන් ඒ චරිතය කළා. වයස් භේදයක් නැතුව මේ දවස්වල මෝහිණීට සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ පුංචි ළමයින්ගෙන්. හැමෝම කියන්නෙ ඔයා ඒක හොඳට කරනවා…ඔයාගෙ වෙනස්ම දක්ෂතාවක් ඉස්මතු වුණා කියලා..


‘ඉරුගල් වලව්ව‘ කියන්නෙ ඔබ දායක වන අලුත්ම ටෙලි නිර්මාණයක්?


අභිමානී ඉරුගල්බණ්ඩාර කියන්නේ ගැමි පෙනුමක් තියෙන රදළ පැලැන්තියේ තරුණියක්. ඇය ආදරේ කරන්නේ වලව්වේ සේවකයකුගේ පුතෙකුට. ඒ නිසා ඇයට මුහුණදෙන්න වෙන ගැටලුකාරී තත්ත්වයත් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. ‘ඉරුගල් වලව්ව‘ ශ්‍රීමාල් වන්නිආරච්චිගේ දෙවැනි නිර්මාණය. ඒවගේම මං පළවෙනි වතාවට ප්‍රධාන චරිතයක් නිරූපණය කරන සංක ප්‍රසාද් සහ සංජය තුසිත මුරගල අධ්‍යක්ෂණය කරන ‘සඳලු සේයා‘ වගේම සමුද්‍රා හික්කඩුව සහ ශ්‍රීමාල් ද සිල්වා අධ්‍යක්ෂණය කරන ‘කායා‘ ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.


පුංචි තිරයේ ප්‍රේක්ෂකාගාරය දැන් ඔබ හඳුනනවනේ. රිදී තිරයට ආරාධනා ලැබිල නැද්ද?


ආරාධනා කිහිපයක්ම ලැබිල තියෙනවා. තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. මට ඕන ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් හොඳ චරිතයකින් සිනමාවට පිවිසෙන්න.


ප්‍රාර්ථනා ක්ෂේත්‍රයට ආව විදිහත් මතක් කරමු?


මං මුලින්ම සම්බන්ධ වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයට. ඒත් එක්කම 2019 වසරේ Miss Sri Lanka For USA බියුටි පැජෙන්ට් එකේ Miss Beautiful Eyes මිනි ටයිට්ල් එක ජයග්‍රහණය කළා. ඒ අවුරුද්දෙම Miss Lanka පැජෙන්ට් එකේ Miss Photogenic මිනි ටයිට්ල් එක වගේම Miss Beautiful Smile මිනි ටයිට්ල් එක දිනාගත්තා. ඊට පස්සෙ තමයි කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මුලින්ම ‘සිද්ධාර්ථ ගෞතම‘ ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණා. ඊට පස්සෙ රාවණා, මැටි කඩුළු, සකූගේ කතාව, ජානු, හේල්‍යන් වගේම රාවණා – 3 ටෙලි නිර්මාණයටත් සම්බන්ධ වුණා. රාවණා – 3 ළඟදීම විකාශය වේවි.


කාර්යබහුල වෙලාම ඉඳලත් බෑනේ ප්‍රාර්ථනා. දැන් ආදරයක් ගැන හිතන්නත් කාලය හරි නේද?


යෝජනා නම් එනවා. ඒ අතරේ හිත යන ඒවත් නැතුවම නෙවෙයි. ඒත් මං කල්පනා කළා තව ටික කාලයක් මෙහෙම කලා නිර්මාණ එක්ක ඉඳලම ඒ ගැන හිතනවා කියලා. තේරුම් ගත්ත කෙනෙක් වුණොත් හොඳයි. එහෙම නැතුව ආදරයක පැටලිලා කලා කටයුතුවලට තහංචි වැටුණොත් මගේ ගමනට බාධාවක් වෙයි කියන බයත් මගේ හිතේ තියෙනවා. ක්ෂේත්‍රයේ අයගෙනුත් යෝජනා එනවා. ඒත් මං කැමැති ක්ෂේත්‍රයෙන් පිට කෙනෙකුට. එකම ක්ෂේත්‍රයේ වුණහමත් කරදරයි. මාව හොඳින් තේරුම් අරන් මගේ ගමනට උදවු කරන කෙනෙකුට මං කැමැතියි. එහෙම කෙනෙක් හමුවුණොත් ඒ ගැනත් හිතල බලනවා.


නාමලී ගමගේ




Previous Post Next Post