තාත්තා‍ගෙ නම මම කලාවෙන් ඉදිරියට ගෙන යනවා - සඳකැලුමි ඉත්තෑපාන



තම පියාගේ ආභාසය පිහිටීම හේතුවෙන් ඇ නිසැකයෙන්ම කලාවට යොමු කළාය. මන්දයත් ඇයගේ පියා මෙරට ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂණ කලාවේ දැවැන්තම චරිතයක් වීමයි. තම ගෙදරට නිතරම කලාවේ විවිධ පිරිස් ආ ගිය බැවින් ඒ ඇසුරද බෙහෙවින් බලපෑවාය. නමුත් අධ්‍යාපනය ලබන කාලයේදී දෙමාපියන්ගේ උපදෙස් මඟ පෙන්වීමෙන් අධ්‍යාපනයට මුල් තැන දෙමින් එම කටයුතු ඇය ඉතා සාර්ථකව අවසන් කර ඇත. මේ වන විට තමන්ගේම තෝරාගත් වෘත්තීය විෂය ක්ෂේත්‍රයට අදාළව උපාධිය ද ඈ හදාරමින් සිටින්නීය. එමෙන්ම ඒ නවක රංගන ශිල්පිනීයක් ලෙස තමන්ටම ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් කලාවේ නිරතවෙමිනි. සිරස රූපවාහිනියෙන් සතියේ දින පහේම රාත්‍රී අටට (8.00) විකාශය වන සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ පොලිසියේ සාජන්මහතාගේ පොඩි දුව මිනු නම් චරිතයට පණපොවමින් දිගු ගමනකට කලාවේ පැහැදිලි අනාගතයක් ඈ සතු වීමද සුවිශේෂී වන්නීය. ඒ ජනප්‍රිය නවක යොවුන් රංගන ශිල්පිනි සඳකැලුමි ඉත්තෑපාන සමඟින් කළ කතාබහයි මේ.


මුලින්ම අපිට ඔයාගේ විස්තර කිව්වොත්?


මම ඉන්නේ කලල්ගොඩ පාසල් ගියේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ((O/L) සාමාන්‍ය පෙළ (A/L) උසස් පෙළ හොඳට කරලා හොඳ රිසල්ට් එකක් මං අර ගත්තා. මේ වෙනකොට මම (Cinec)) සිනෙක් කැම්පස් එකේ (Event manajment) ඉවෙන්ට් මැනේජ්මන්ට් පැත්තෙන් උපාධිය හදාරමින් ඉන්නවා.


දැන් ඒකේ කීවෙනි අවුරුද්දද මේ යන්නේ?


තාම ෆස්ට් ඉයර් එකේ මම ඉන්නේ.


පවුලේ විස්තර කොහොමද?


අම්මයි, තාත්තයි, අක්කයි, ආච්චි සහ මම, තාත්තා ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂකවරයකු ලෙස කලාවට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. ප්‍රසන්න ඉත්තෑපාන කිව්වහම කවුරුත් දන්නවානේ.


තාත්තයි, ඔයයි දෙන්නම කලාවට සම්බන්ධයි නේ අම්මයි, අක්කයි දෙන්නත් කලාවට සම්බන්ධ වෙලා හිටියාද?


අම්මා නම් නැ අක්කා නම් එක ටෙලි නාට්‍යයක එක පාරක් රඟපෑවා. මට මතක විදිහට දේදුනු පාලම කියලා තමා ඒකේ නම ඒකෙන් පස්සේ අක්කා නම් කිසිම නිර්මාණයක ආයේ රඟපෑවේ නෑ.


ඇයි ඒ?


ඇත්තටම එයා පොඩි කාලෙ තමා ඔහොම රඟපෑවේ ඊට පස්සේ මමයි, අක්කයි දෙන්නම අම්මයි, තාත්තයි දෙන්නා නිතරම මඟ පෙන්වමින් ලබා දුන්න උපදෙස් අනුව මේ කාලයේ අධ්‍යාපනයට මුල් තැන දීලා ඒ වෙනුවෙන් කාලය යෙදෙව්වා. එයින් පස්සෙත් අක්කා නම් ආයේ රඟපෑවේ නෑ එත් මට නම් රඟපාන්න උවමනාව තිබ්බා.


එතකොට ඔයා නැවත රඟපෑමට එන්නේ කොයි කාලේ වගේද?


මම අක්කා වගේ පොඩි කාලේ ඉස්කෝලේ හතර වසරෙදි තමා අවසන් වරට රඟපෑවේ ඊට පස්සේ අධ්‍යාපනයට මුල් තැන දුන්නා. ඊට පස්සේ මම 2022 අවුරුද්දේ දෙරණ නාලිකාවේ දෙරණ අවුරුදු කුමරා සහ කුමරිය තරඟය සඳහා සහභාගි වෙලා මට එහි අවසන් මහා තරගයේ අවසන් අවුරුදු කුමරියන් 5 දෙනා අතරට පැමිණීම ට හැකි වුණා…ආයේ මෑතකදී ඒ කියන්නේ අධ්‍යාපන වැඩ ඉවර කරගෙන 2023 අගෝස්තු මාසයේ ඉදලා තමා නැවත මං රංගනයට දායක වුණේ.


අර පොඩි කාලේ ඔයා මුලින්ම රඟපෑව නිර්මාණය මතකද?


ඔව්, මම ඉස්කෝලේ හතර වසරෙදි තමයි කො මාර්ක් නො මාර්ක් කියන චිත්‍රපටයේ සුළු චරිතයකට රංගනයෙන් දායක වුණේ, ඊට පස්සේ තමා මේ මෑතකදී තමා සර්කස්කාරයෝ ඩ්‍රාමා එකේ රඟපාන්න ලැබුණේ. එදා මං රඟපෑව කො මාක් නො මාර්ක් නාට්‍යයේ අධ්‍යක්ෂණය කළේ ශිවගුරුනාදන් සර්… දැන් මම මේ රඟපාන සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයත් අධ්‍යක්ෂණය කරන්නේ ශිවගුරුනාදන් සර් ම තමයි.


සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැන කිව්වොත්?


මිනු (සාජන්ට් මහත්තයගේ පොඩි දුව) කියන චරිතයට තමයි මම රංගනයෙන් දායක වුණේ, එයාට අක්කා හා මල්ලී කෙනෙක් ඉන්නවා. කටකාර, හිතුවක්කාර චරිතයක් නිතරම මල්ලි එක්ක රණ්ඩු කරනවා. එයාට පොඩ්ඩක් තරහා යනවා එත් පවුලට, විශේෂයෙන් මල්ලිට ඇය ගොඩක් ආදරෙයි. එහෙම තමයි මම ඒ චරිතය හඳුන ගත්තේ….


ඒ චරිතයේ මිනු ඔයාගේ සැබෑ ජීවිතයත් සමානකම් තියෙනවාද?


හිතුවක්කාර කම, කටකාරකම එහෙම මගෙත් තියෙනව හැබැයි මට මල්ලි කෙනෙක් නැහැ. ඊට අමතරව සද්ධාමංගල සුරියබණ්ඩාර සර් ලියපු පිටපතේ එන මේ මිනු වරිතය පිළිබඳව සිවගුරුනාදන් සර් මට දුන්නු උපදෙස් සහ හැදින්වීම සමඟ මම හිතනව ඒ චරිතයත් එක්ක මගේ ඇත්ත ජීවිතයේ ගොඩක් සමානකම් තියෙනව කියල.


මේ චරිතය රඟපාද්දී සිදු වුණු විශේෂ සිදුවීම් මොනවාද?


ඇත්තටම මට මෙතනදී ආධුනික රංගන ශිල්පිනියක් ලෙස චරිතය කරද්දී ප්‍රවීණ නළු නිළියන් වන හසනිකා කරල්ලියද්ද මිස්, උපතිස්ස බාලසූරිය සර් සහ ප්‍රවීණා දිසානායක අක්කත්, විහඟ මල්ලිත් මට නිරන්තරයෙන්ම සහයෝගය දුන්නා… ඒ වගේම අධ්‍යක්ෂක සිවගුරුනාදන් සර්ත්, කැමරා අධ්‍යක්ෂක තුසිත සර්ත් ඇතුළු සියලු කාර්මික හා තාක්ෂණික ශිල්පීන් මට ගොඩක් හොඳ සහයෝගයක් දුන්නා.


සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ මිනුට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම දැන් ඉගෙන ගන්නා කැම්පස් එකේ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ගොඩක් හොඳට රඟපානවා කියලා ඒ යාළුවො මට කියනවා තව පාර තොටේ වෙන තැනකදී උණත් මාව දකින අය ම‍ං ළඟට ඇවිත් ආ මේ මිනු නේද ඔයා හොඳට රඟපානවා කියලා කියනවා එ වගේම තවත් අය කියනවා අනේ ඔයා හරි නපුරුයි ඇයි මල්ලිට ඔහොම කරන්නේ කියලා දොස් කියන අවස්ථාත් තිබුණා. චරිතයේ විදිහට සතුටුදායකයි මට ඒ ලැබෙන ප්‍රතිචාරවලින් මම හොඳට ඒ චරිතය රඟපාන බවයි මට තේරෙන්නේ.


වේදිකා නාට්‍යවලට කතා කරලා නැද්ද?


නෑ, ඇත්තටම මං ආසාවෙන් ඉන්නවා එකට සම්බන්ධ වෙන්න වේදිකා නාට්‍යයකට දායක වෙන්න අවස්ථාවක් ලැබුණොත් ඉතා කැමැත්තෙන් මං ඒක බාරගන්නවා. වේදිකා නාට්‍යයකට දායක වීමෙන් ඉගෙන ගන්න අත්දැකීම් ලබාගන්න වගේම ගත හැකි දේවල් ගොඩාක් තියෙනවා. මම සී.ඩී වලින් සිංහබාහු, හුණුවටයේ කතාව වගේ කතා බලලා ඒවා ගැන අධ්‍යයනය කරලා විවිධ දේවල් ඉගෙන ගන්නවා.


මං කැමතියි මෙන්න මේ වගේ චරිතයක් රඟපාන්න එහෙම ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න විදිහේ චරිතයක් තියෙනවාද?


ගොඩක් ආසයි රජ කතාවක, වලව් කතාවක වගේ රාජ කුමාරියකගෙ, වලව්වේ පොඩි කුමාරිහාමි කෙනෙක්ට ඒ වගේ සහාය සුළු චරිතයකට හරි දායක වෙන්න මොකද මං ඒ ඇඳුම් වලටත් අපේ සිංහලකමටත් ගොඩාක් කැමති වේදිකා නාට්‍යයක වුණත් එ වගේ චරිතයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා.


දැන් වෘත්තීය රංගනයමද?


නෑ, මම වෘත්තීයමය විදිහට රඟපාන්නේ නෑ


අක්කත් කලාවේ නැනේ තාත්තගෙන් පස්සේ ඔයා නේද මේ ක්ෂේත්‍රයේ නම ගෙනියන්න ඉන්නේ?


ඔව්, තාත්තගෙන් පස්සේ මේ ඉත්තෑපාන නම ගෙනියන්න මම තමයි ක්ෂේත්‍රයේ ඉන්නේ, ඉස්සරහට තාත්තාගේ සහය අධ්‍යක්ෂණය වැඩ පැත්තෙන් මං අධ්‍යයනයක් කරලා ඒ පැත්තට යොමු වෙන්න අදහසකුත් තියෙනවා හැබැයි ඒක වෘත්තීමය වශයෙන් නම් නෙවෙයි.


එතකොට අනාගත වෘත්තීය මොකද්ද ?


මම සිනෙක් කැම්පස් එකේ (Cinec campus) ඉවෙන්ට් මැනේජ්මන්ට් (Event manegment)) පැත්තෙන් උපාධිය හදාරනවා. දැන් මේ යන්නේ ෆස්ට් ඉයර් එක මගේ උපාධිය සම්පූර්ණ වෙන්නේ 2027 වසරේදි ඒකෙන් පස්සේ මේ අංශයට අදාල ආයතනයක මං අවුරුදු පහ හයක් විතර වැඩ කරලා එක්ස්පිරියන්ස් (Experience) එකක් එහෙම අරන් මගේම ආයතනයක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඊට අමතරව තමා ජොබ් එකක් ලෙස නැතිව කලාවේ රඟපාන්න, නිසඳැස්, කවි, ලිවීම වගේ දේවල් මං කරන්නේ.


ලිවීමට අදාළව කටයුතු කරන දක්ෂ ලේඛිකාවක් ලෙසින් කරලා තියෙන දේවල් මොනවාද?


මම (O/L) ඕලෙවල් (A/L) ඒලෙවල් කරන කාලයේ ඉඳලා කවි, නිසදෙස්, නවකතා වගේ දේවලුත් ලියනවා.


එහෙම ඔයා ලියපු ඒවා මොනවද?


බුදු හාමුදුරුවෝ හා දේවදත්ත, ටජ් මහල, මුන්ටාස් දේවිය වගේ චරිතයන් අලළා සමාජය දකින විදියට වඩා වෙනස් කෝණයකින් නිසදැස් කිහිපයක්ම මං ලිව්වා එවැනි වෙනස්ම මඟක් ගන්නා නවකතාවක් මම මේ දවස්වල ලියාගෙන යනවා ඒක ඉදිරියේදී එළි දක්වන්නත් අදහසක් තියෙනවා.


ඔයා කතාවටත් හරිම දක්ෂයි නිවේදිකාවක් වෙන්න හිතුවෙ නැද්ද?


මම පාසලේ දී විවිධ උත්සව අවස්ථාවල දී නිවේදන කටයුතු කරලා තියෙව. මම ඉස්කෝලෙ යන කාලයේ පන්නිපිටිය ධර්මපාල විදුහලේ කථික විවාද කණ්ඩායමේ නායිකාව වෙලත් හිටියා.


ඔයාගේ ගීත ගායනා පැත්ත කොහොමද?


ඇත්තටම මම සංගීතය, ගායනය හදාරලා නැති නිසා මට හොඳට සින්දු කියන්න බෑ හැබැයි මං කියන එවා අහං ඉන්න බැරි තරම් නරකකුත් නැ (ඇය සිනාසෙයි) මේ මෑතකත් එක්තරා තැනකදි මං සින්දුවක් කිව්වා එතැනදී අහපු අය හොඳයි අවුලක් නෑ කියලා කිව්වා.


සඳකැලුමිගේ වයස කිව්වොත්?


අවුරුදු විසි එකයි (21)


පෙම්වතෙක් එහෙමත් ඉන්නවාද?


ඉන්නවා. එයා මගේ කැම්පස් එකේ කෙනෙක්, මගේ කලාවේ වැඩවලට වගේම මගේ අනික් හැම වැඩකටම සහයෝගය ලබාදෙනවා. මම රඟපාන නාට්‍ය බලලා ඒවා ගැන මාත් එක්ක කතා කරනවා, ඇත්තටම එයා මගේ හොඳ රසිකයෙක්…


විවාහ වෙන්නේ කවද්ද?


මම ආදරය කරන කෙනත් සමඟ විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා.


අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද?


මුලින්ම මගේ තාත්තාට ස්තුති කරනවා මාව හරි විදිහට මේ ක්ෂේත්‍රයට ගෙනාවට ඒ වගේම මගෙ අම්මා, අක්කා විශේෂයෙන්ම ආච්චි අම්මා ට, එයා තමයි මාවයි අක්කාවයි පොඩි කාලේ ඉදන් බලා ගත්තේ, ඒ වගේම මම ආදරය කරන කෙනාට සහ මම ළඟින් ඉන්න අනෙක් අයටත්, සහ විශේෂයෙන් ජයප්‍රකාශ් ශිවගුරුනාදන්, සද්ධා මංගල සූරිය බණ්ඩාර සර්ලටත්, මේ ලිපිය ලියන ඔයාටත්, ප්‍රේක්ෂක ජනතාවටත් උදව් කරපු හැමෝටමත් ස්තුතියි කියලා මම මේ වෙලාවේ කියනවා.



Previous Post Next Post