පවුලෙ අයත් මාව අතහැරපු කාලෙක එයා තමයි මාව ගොඩදැම්මේ-ඉදුණිල් අන්දරමාන්න



ඉදුණිල් අන්දරමාන්න, මේ නම රූපය වගේම කට හඬ බොහෝ දෙනෙකුට සමීපයි. පිරිසක් ඉදිරියේ ගැයූ මුලින්ම ගීතයට බොහෝ දෙනෙකු ඔච්චම් කළ නිසා හැමෝගෙම හිත් ගීතයෙන්ම සනසන්න තමන්ට ම පොරොන්දු දුන් ඔහු ඒ පොරොන්දව ඉටු වන තුරුම කැපවීම් කර තිබෙනවා. ඒ කැපවීම නිසාම ඔහු අද ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට පත් වෙලා. අතීතයේ සුන්දර කතා වගේම ඔහුගෙ පවුල් ජීවිතේ ගැන කතා කරන්න ඉදුණිල් මේ විදිහට රසඳුන කතාබහකට එක්කර ගත්තා.


මුලින්ම ගැයූ ගීතය අසා ඔබට ලැබුණු ඔච්චම් සිනා හඬ ඔබට තවම පිළිරැව් දෙනවා ඇති. ඒ හයිය අරගෙන මෙතරම් දුරක් ආ මඟ ගැන කතා කරලම අපි කතාබහට මුලාරම්භය ගමු..?    


මම ගායකයෙක් වෙන්නේ ජාන නිසා නෙමෙයි. මගේ උත්සහයෙන්. මම පාසල් යන්නේ මාතර රාහුල විද්‍යාලයට. පාසලේ ස්පෝටි මීට්වලට සම්බන්ධ වෙලා දිනලා තියෙනවා. එච්චරයි. මගේ අම්මා කියලා තියෙනවා පුංචි කාලේ මම සංගීත ටීචර් කෙනෙක් වෙන්න ඕන කියලා කිව්වා කියලා. 1995 අවුරුද්දේ උත්සවයකට සම්බන්ධ වෙලා මම හින්දි සින්දුවක් කිව්වා. ඒක අහලා එතැන හිටපු හැමෝම හිනා වුණා. ඒ මගේ කටහඬ කැතයි කියලා , එදා මම බෝක්කුවක් උඩට වෙලා ලැජ්ජාවට ඇඬුවා. ඒ කාලේ මට ලැජ්ජාව ඉවසන්න බැරි වුණා.


අපේ පවුලේ තිබුණ අගහිඟකම් එක්ක මට ලොකුවට සංගීතයට සම්බන්ධ වෙන්න විදිහක් තිබුණේ නැහැ. නෑදෑ කෙනෙක් රට ඉඳලා එනකොට මට ගෙනැත් දුන්නු පුංචි රෙකෝඩ් කැසට් එකක් ලැබුණා. මම සින්දු කිය කියා ඒකෙන් රෙකෝඩ් කරලා ඒවා ආයේ ආයේ අහලා කටහඬ හදා ගත්තා. ඒක පිස්සුවක්. ඊට පස්සේ තමයි මම තුරුණු ශක්ති එකට සම්බන්ධ වෙන්නේ , මාත් එක්ක මාතරින් චාමර වීරසිංහත් සම්බන්ධ වුණා. මම අවසන් විස්ස අතරින් ඉවත් වුණා. ඒත් මම මගේ ගමන අත ඇරියේ නැහැ .


අදටත් ඒ පුහුණුවීම් ඒ විදිහට කරන ගායකයෙක් ඔබ..?


මම සින්දු හදලා ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා ඒවා අහලා ආයේ ආයේ රෙකෝඩ් කරලා තමයි ගීතය හදන්නේ. ඒක පුරුද්දක් වෙලා.


චාමර වීරසිංහ එක්ක තියෙන හිතවත්කම් තවම ඒ වගේම ද..?


මම හිතන්නේ පිරිමි හඬවල් දෙකක් යුග ගීත වැඩිපුර ගායනා කරලා තියෙන්නේ මමයි චාමරයි වෙන්න ඇති. අපේ ගෙවල් තියෙන්නේ එක ළඟ. දැන්නම් ඉස්සර තරම් අපි නිතරම මුණගැහෙන්නේ නැහැ. ඒත් ඒ ආදරේ හිතවත්කම් එහෙමමයි. අපි හරි සමීපයි.


තාත්තා කෙනෙකුට දුවක් කියන්නේ රැජිනක්. මේ දවස්වල දුවගෙත් පුතාගෙත් ආදරේ එක්ක දවස ගත කරන්න ඉදුණිල්ට වෙලාවක් තියෙනවා ද?


මගේ පවුලේ අක්කලා දෙන්නයි මමයි. මම පවුලේ බාලයා. ඒත් තාත්තගේ ආදරේ වැඩිපුර තිබ්බේ අක්කලට. ඒක ලොකු බැදීමක්. ඒ බැදීම මට දැන් දැනෙනවා මගේ දුව නිසා. එයා ඉයානා අන්දරමාන්න. වයස හයහාමාරයි, පුතා නතානියල් අන්දරමාන්න. මාස එකහමාරයි. අම්මලා වැඩිපුර එකතු පුතාලටනේ. අදටත් මට ඔළුවේ අමාරුවක් හැදුණොත් මගේ ඔළුවට බාම් ටිකක් ගා ගන්නේ මගේ අම්මට කියලා. මට අම්මගේ උකුලේ ඔළුව තියා ගන්න ඕන වුණොත් මම ඒ දේ අදටත් කරනවා. ඒ වගේ තමයි මගේ බිරිඳ පුතාට දක්වන ආදරේ. දුව හෝදලා ඇඳුම් අන්දලා එයාව පාසලට එක්කගෙන යන්නෙ මම. තවමත් දුව නිදා ගන්නේ මාව බදාගෙන. එයාව බදාගෙන නිදා ගන්න වෙන්නේ තව අවුරුදු කිහිපයක් විතරයි. දුව ලොකු වෙද්දී හිතින් තමයි ආදරේ කරන්න වෙන්නේ. ඒක ස්වභාවය. ඒ ගැන හිතද්දීත් මට ගොඩක් දුකයි. ඒ සුන්දර දේවල් එක්ක ජීවිතේ හරි ලස්සනට ගෙවනවා කියන්න පුළුවන්


තාත්තා ගායකයෙක් කියලා වැඩිපුර ආඩම්බර වෙන්නෙ දුවලු..?


ඔව්. හරිම ආඩම්බරයෙන් ඉන්නේ. එයා කතා කරන විදිහෙන් මාත් එක්ක යනකොට හැසිරෙන විදිහෙන් ඒක තේරෙනවා. හිතට අරගෙන පාරේ ඇවිදින්නේ. මම යන ටුවර්, ප්‍රසංග ගැන දුව ඉස්කෝලේදි එයාගේ යාළුවන්ට කියනවලු. දුවගේ ටීචර් මගේ බිරිඳට කතා කරලා ‘දුව ඩැඩීට හරි ආදරෙයි නේද‘ කියලා කියනවා. ඒ වගේම මම ගැහැනු ළමයෙක් කියන ලස්සන සින්දුවක් දෙතුන් වතාවක් ඇහුවොත් දුව ඉක්මනින් ඒක ස්කිප් කරනවා. එයා තමයි මට නීති දාන්නේ. දුව හරිම ආදරණීයයි.


ඇගේ කලා හැකියාව කොහොමද ..?


දුව බටහිර සංගීතය රස විඳිනවා. සංගීතයට නම් දක්ෂයි කියලා දැන්ම කියන්න බැහැ. ඒත් චිත්‍ර අදින්න දක්ෂයි. ඒ වගේම නර්තනයට දක්ෂයි.


ඉදුණිල් තවමත් තරුණියන් අතර ජනප්‍රිය තරුවක්. බිරිඳ නීතිරීති දාන්නෙ නැද්ද ..?


මම දැකලා තියෙනවා සමහර කලාකරුවන් පස්සේ හස්බන්ඩ් හෝ වයිෆ්ලා යනවා. මොකද කලාකරුවන්ට ලැබෙන වරප්‍රසාද එක්ක බොහෝ දෙනා විවධ දේ සඳහා ඇබ්බැහි වෙලා ඉන්නවා. ජනතාවගේ ආදරේ කියන්නේ දෙවියන් කලාකලාකරුවන්ට දුන් ගිෆ්ට් එකක්. කලාකරුවන් වීම තුළ, යාන වාහන, නිවාස, ටුවර් මේ කියන බොහෝ දේ ලබා ගන්න පුළුවන්. පිළිගැනිම් වැඩියි. මේ දේවල් එක්ක හොඳ නරක අපි තෝරා ගන්න ඕන. නරක ගේ ඇතුළට අරන් ගියොත් පවුල් ජීවිතේ විනාශ වෙනවා. මගේ බිරිඳ රූපසුන්දරියක් නොවුණත් ඇය ආදරණීය අම්මා කෙනෙක්…හොඳ බිරිඳක්. ඇය තමයි කුණු කූඩයක් වගේ තිබ්බ මගේ ජීවිතේ ඔපදාලා මනුස්සයෙක් කරලා ගත්තේ. ඉතිං ඇය දන්නවා මම ජීවත් වෙන විදිහ. මාව වෙනස් කළ ඈට මම ගරුකරනවා, ඒ නිසාම මම කලාව එක්ක ජීවත් වුණත් පවුලට මුල්තැන දෙනවා. ඒ නිසා ඈ මා කෙරෙහි තබන විශ්වාසය මම රකිනවා. ඒ නිසා දුව දාන නීති තරම්වත් බිරිඳ මට නීති දාන්නේ නැහැ


හැමෝම ඔබව ප්‍රතික්ෂේප කරපු කාලයේ ඔබ ළඟින් හිටියේ බිරිඳ කිව්වොත්..?

මගේ බිරිඳගේ නම අචිනි. ඇය නුගේගොඩ. මම මාතර. අවුරුදු පහළොවකට විතර කලින් එයාව අහම්බෙන් මට මුණගැහෙන්නේ. එක්තරා කාලයක පවුලේ අයත් මාව ප්‍රතික්ෂේප කරපු මොහොතක එයා තමයි මට ශක්තියක් වුණේ. මට කසාද බඳින්න ගැළපෙන කෙනා එයා කියලා හිතුවා. මොන දේ වුණත් හිනා වෙලා මට ශක්තියක් වෙනවා. එයාගේ අම්මයි මගේ අම්මයි ඉන්නේ අපිත් එක්ක. ඒ අම්මලා දෙන්නා එක්ක මගේ බිරිඳ හරි ආදරණීය විදිහට ජීවත් වෙනවා ,


ඉදුණිල් හැදෙන රැලි එක්ක ගීත ගායනා කරන ගායකයෙක් නෙමෙයි ද..? ඒ ගැන කියලා කතාබහ අවසන් කරමු..?


රැලි එනවා යනවා. රැල්ල කියන්නේ එක තැනක තියෙන දෙයක් නෙමෙයි , මම දියඹ වගේ. නැව්, බෝට්ටු වුණත් දියඹේ නතර කරන්න පුළුවන්. මාත් ඒ වගේ. මම හැමදාම මට ආවේණිකව ගැයූ ගායකයෙක් , ඒ නිසා එන රැලි පස්සේ මම දුවන්නෙ නැහැ. ජගත් ජයවර්ධන මහත්මයා ඔහුගේ වියදමින් මට ගීතයක් නිර්මාණය කරලා දෙනවා කිව්වා. ඒ අලුත් ගීතය අහන්න ලැබෙයි. ඒ වගේම මගේ සංගීත කණ්ඩායම ‘මචානෝ‘ එක්ක ලෝකේ වටේ ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා.


හර්ෂණී වීරරත්න



Previous Post Next Post