තිරයේදී පෙම් කළාට අපි හොඳ යාළුවෝ-අනුරාධා එදිරිසිංහ



රංගන ක්ෂේත්‍රයේ ඉන්න නළුනිළියන් අතරින් අනුරාධා එදිරිසිංහ කියන්නෙ නිතරම වගේ බොළඳ චරිතවලින් එහාට ගිහින් මහපොළොවෙ ජීවත්වන චරිත රඟපාන නිළියක් කිව්වොත් නිවැරැදියි. ඒ විදිහට අනුරාධා මේ දවස්වල නළුනිළියන්ගේ ජීවිතවල සිද්ධවෙන ප්‍රේක්ෂකයො නොදකින පැත්ත ගැන main character ටෙලිනාට්‍යය තුළින් ගෙන එනවා. ඉතින් නිළියක් විසින් නිළියකගේ සැබෑ ස්වරූපය පෙන්නන එක ගැන අනුරාධා එක්ක කතා කරන්න අපි හිතුවා.






main character කියන්නෙ මොනවගේ ටෙලිනාට්‍යයක්ද?




main character කියන්නෙ රංගන ක්ෂේත්‍රය ගැන කතා කරන වෙනස් විදිහෙ ටෙලිනාට්‍යයක්. සහස්‍රා කියන සිනමා නිළියගේ චරිතය තමයි මම main character වල රඟපාන්නෙ. පහුගිය කාලෙ ප්‍රේක්ෂකයො අතර ජනප්‍රියවුණ ‘අක්ෂි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක ශාන් ජයරත්නගේ දෙවනි ටෙලිනාට්‍යය තමයි main character කියන්නෙ.




ටෙලිනාට්‍යයක් ඇතුළේ සිනමා නිළියකගේ චරිතයක් රඟපාන එක මොනවගේද?




මේ තමයි මම ටෙලිනාට්‍යයක් තුළ නිළියකගේ චරිතයක් රඟපාන පළවෙනි වතාව. තිරයෙන් පිටුපස නළුනිළියන්ගේ ජීවිතවල මුහුණ දෙන හැබැයි ප්‍රේක්ෂකයො නොදකින පැත්ත ගැන මේ ටෙලිනාට්‍යයෙදි කතා කරනවා. ඒක ඇත්තටම වෙනස්ම අත්දැකීමක් වගේම හරිම අභියෝගාත්මකයි.




රඟපාන නිළියගේ චරිතයයි අනුරාධයි එකසමානද?




සහස්‍රා කියන නිළියගේ චරිතයයි මමයි එක සමාන වෙන්නෙ මනුස්සකම උතුම් කියලා සලකන එකෙන් විතරයි. ඒ ඇරුනහම ඉතින් ටෙලිනාට්‍යයේ පෙන්නන විදිහට නැතුව මම පොළොවෙ පයගහලා ඉන්න සරල කෙනෙක්.




ප්‍රධාන චරිතය රඟපාන නිළියක් දක්වා ආපු ගමන ගැන ආපහු හැරිලා බැලුවොත්..




 ඒක ඇත්තටම එක රැයකින් එළිවුණ හීනයක් නෙමෙයි. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. මේ අවුරුදු දහයට ප්‍රධාන චරිතය රඟපාන තුන්වෙනි ටෙලිනාට්‍යය තමයි main character කියන්නෙ. අධ්‍යක්ෂක ශාන් ජයරත්නට ස්තූතිවන්ත වෙනවා මාව main character වල ප්‍රධාන චරිතය සඳහා සුදුසුයි කියලා විශ්වාස කළාට. ගොඩක් ඉවසීමෙන් ඉගෙන ගනිමින් හෙමින් ආපු අමාරු ගමනක් මේක. මේ විදිහට සාර්ථක නිළියක් වෙලා ගෙවෙන දවස් මගේ ජීවිතේ දකින්න ලැබීම ඇත්තටම ලොකු වාසනාවක්.






රංගන ජීවිතයේදි කැපිලි කෙටිලි වලට මුහුණ දීලා තියනවාද?




 කැපිලි කෙටිලි ඕනම ක්ෂේත්‍රයක වෙන දෙයක්. මම කවදාවත් ඒ දේවල් ගැන හිතන්නෙ නැහැ. ලැබෙන නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්නෙ කොහොමද කියන දේ විතරයි මම හිතන්නෙ. අනික මගේ අවට මාත් එක්ක වැඩ කරපු නොකරපු හැමෝටම මම හරි ආදරෙයි. තමන්ගෙ වටිනාකම රඳා පවතින්නෙ දක්ෂතාවය මත. තමන්ගෙ වෘත්තියට අවංකව වැඩ කරනවා නම්, ඉගෙන ගනිමින් දේවල් කරන්න වෙහෙසෙනවා නම් කැපිලි කෙටිලි අදාළ වෙන්නෙම නැහැ. ඒ නිසා මම විශ්වාස කරන්නෙ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා” කියන දේ. උගත් දේ නැති කරන්න බැරි නිසා කැපිලි කෙටිලි ගැන හිතන්න වත් මම වෙලාව කැප කරන්නෙ නැහැ.






රංගන ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?






 සාර්ථකයි කියලා හිතුවා නම් මම හිතන්නෙ නැහැ අද මෙතන මේ විදිහට ඉදිරියට එන්න පුළුවන් කියලා. මම තාම සාර්ථකත්වයට යන ගමන් ඉන්නෙ. ඉවසීම තමයි මගෙ ළඟ තියන වටිනම දේ.




Main character වෙනුවෙන් කොණ්ඩෙ පාට වෙනස්කළා කියලා ආරංචියි?




 ඔව්. චරිතය වෙනුවෙන් කොන්ඩෙ තඹ පාට කරන්න කියලා අධ්‍යක්ෂවරයා ඉල්ලුවා. ඉතින් පාට වෙනස් කිරීමත් එක්ක වෙන කිසිම ටෙලිනාට්‍යයකට සම්බන්ධ නොවී මාස හතක කාලයක් main character විකාශය වෙනකන් මම ඉවසගෙන හිටියා.


යශ් එක්ක රඟපාන අත්දැකීම කොහොමද?




 යශ් එක්ක එකතුවෙලා පෙම්වතුන් විදිහට කරන හතරවෙනි ටෙලිනාට්‍යය තමයි main character කියන්නෙ. තිරයෙදී පෙම්වතා වුණාට යශ් කියන්නෙ මගේ හොඳම යාළුවෙක්. අපේ යාළුකමට දැන් අවුරුදු නවයක් විතරක් වෙනවා. මගෙ හොඳම යාළුවා එක්ක මේ විදිහෙ නිර්මාණයක් කරන එක සෑහෙන කාලෙක ඉඳලා තිබ්බ හීනයක්. ඒ හීනය Main Character නිසා සැබෑ උනා. ඉතිං අපි කොහොමත් හොඳම යාළුවෝ නිසා ගොඩක් සහයෝගෙන් වැඩ කරනවා. යශ් එක්ක වැඩකරන එක හරිම ආදරණීයයි. අපේ හැසිරීම දැකලා අධ්‍යක්ෂවරයා සමහරවෙලාවට කියනවා ⁣ටෙලිනාට්‍යයකට වැඩිය මේක පොඩි ළමයින්ගෙ පෙර පාසලක් කියලා. ඒ තරම් ආදරය සතුට පිරුන තැනක් අපි දෙන්නා සහ අපේ නිෂ්පාදක කණ්ඩායම.






 සිනමා නිළියකගේ චරිතයක් රඟපෑවට තාම ඇත්තටම චිත්‍රපටයක රඟපාලා නැහැ නේද ?




 ඔව්. රංගන ක්ෂේත්‍රයේ අවුරුදු දහයක් හිටියට චිත්‍රපටයක රඟපානවා තියා චිත්‍රපට රූගත කරන දර්ශන තලයකටවත් ගිහින් නැහැ.




 හැබැයි චිත්‍රපටවලින් ආරාධනා ලැබිලා තියනවා. මොකක්හරි හේතුවකට ඒ මොහොතවල්වල තිබුණ වැඩත් එක්ක මට ඒ ආරාධනා භාරගන්න බැරි වුණා. ඉස්සරහටවත් බලමු ඉතින් සිනමා නිළියක් වෙන්න මට වාසනාව තියෙනවද කියලා.




 සැබෑ ජීවිතයේදි මොනවගේ කෙනෙක්ද?




 අනිත් මිනිස්සුන්ගෙ හිත රිද්දන්න අකමැති, වෘත්තියට ඉතාම අවංක, අසාධාරණයේදි තරහ යන, කියන්න තියන දේ මට කොච්චර අවාසි උනත් මූණටම කියන, සරලව ඉන්න කැමැති කෙනෙක්.


විවේකි වෙලාවට කරන්න කැමැති මොනවද?




 රූගතකිරීම් නැති විවේකි වෙලාවට වැඩිපුර කරන්නෙ නිදා ගන්න එක, ඒ ඇරුනහම සිංදු අහනවා, උයනවා, films බලනවා වගේම ගෙදරත් අස් කරනවා.






 හොඳට උයන්න පුළුවන් කියලා ආරංචියි?




 ඔව් සිංහල ගමේ කෑම ඕන දෙයක් මට හොඳටම උයන්න පුළුවන්. මට පොඩිම කාලෙ ඉඳලා අම්මා මට උයන්න කියලා දුන්නා. තාත්තටත් රසට උයන්න පුළුවන්. ඒ දෙන්නා නිසා තමා මටත් පුළුවන් වෙන්න ඇත්තෙ.




 කෑමවලට කැමැති කෙනකු වෙලත් කොහොමද ඇඟ මහත්වෙන්නෙ නැතුව තියාගෙන ඉන්නෙ?




 පුළුවන් වෙලාවට ව්‍යායාම කරනවා. හැම වෙලාවෙදිම කෑම කනකොට පොඩ්ඩයි කන්නෙ. මම හිතන්නෙ ඒකයි වැඩිය මහත්වෙන්නෙ නැත්තෙ.


රංගනයෙදි පෙම්වතියගේ චරිතය රඟපානවා වගේ සැබෑ ජීවිතයේදිත් කාටහරි ආදරය කරන ආදරවන්තියක්ද?




 නෑනෙ. ආදරවන්තියක් වෙන්න තාම මට පෙම්වතෙක් නැහැ.




 විවාහ වෙන්න කියලා පවුලෙ අයගෙ බලපෑමක් නැද්ද?




 ⁠විවාහයට කවදාවත් පවුලෙ අයගෙන් මට බලපෑමක් නැහැ. ඉපදීම මරණය වගේ ආදරයට විවාහයට නියමිත වෙලාවක් නැහැ කියලයි මම හිතන්නෙ. ඒ දේවල් වෙන්න ඕන වෙලාවට වෙයි.






 සාමාන්‍යයෙන් නිළියො වැඩිපුර විවාහ වෙන්නෙ මිල මුදල් යහමින් තියන අය එක්ක. අනුරාධත් ඒ වගේ අදහසක ඉන්නවද?




 මගෙ අදහස පොඩ්ඩක් වෙනස්. ජීවත්වෙන්න මුදල් ඕන තමයි, හැබැයි මට ආදරේ කරන මමත් ආදරේ කරන කෙනාට ඒ මිල මුදල් දේපළ තියෙන්න ඕන නැහැ. අපිට පුළුවන් ඒ දේවල් එකට එකතුවෙලා ගොඩ නගාගන්න.




Previous Post Next Post