ට්‍රෙන්ඩින්ග් 1 වුණු පියත් රාජපක්ෂගේ සීදේවි



අපි කාලයක් ආසාවෙන් බලපු පැන්චා කාටූනය ගැන මේ දිනවල ලොකු කතා බහක් ඇති වෙලා. ඒ එක්තරා ගීතයක් නිසා. කවුරු කවුරුත් දැන් මුමුණන තරමටම මේ ගීතයට විශාල ආකර්ෂණයක් ලැබිලා. ඒ විතරක් නෙවෙයි ටික් ටොක් ස්ක්‍රීන් පුරා බොහෝ දෙනෙක් අමුතු විධියට මේ ගීතයට නටන්නත් පුරුදු වෙලා. සීදේවියි හැලයයි කියන්නේ ඉතින් ලොක්කෝ, පොඩ්ඩො කවුරුවත් නොදන්න ජෝඩුවක් නෙවෙයිනේ. කවුද හිතුවේ ඒ දෙන්නගේ නමින් ගීතයක් හැදෙයි කියලා. මේ පිළිබඳව කතා කිරීමට අද හදගැස්ම හා එක් වන්නේ මේ ගීතයේ හිමිකරු ප්‍රවීණ ගායක පියත් රාජපක්ෂ.




මේ දවස් ගෙවී යන්නේ කෙසේද?




මේ දවස්වල සීදේවි ගීතයට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක සතුටින් කාලය ගෙවිලා යනවා. ඒ වගේම මගේ නවතම ගීතය නිර්මාණය කරන ගමන් තමයි මේ දවස් ගෙවී යන්නේ.




සීදේවි ගීතය මේ දවස්වල ට්‍රෙන්ඩින්ග් 1 වෙලා මිලියන ගණනක නැරඹුම්වාර ප්‍රමාණයකුත් ලබා ගෙන මොකද ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන සිතෙන්නේ?




ඇත්තටම මේ ගීතය අපි යූටියුබ් හෝ වෙනත් සමාජ මාධ්‍ය හරහා දකිනවාට වඩා ප්‍රේක්ෂක ආදරයක් දිනා ගෙන. මම මේ ගීතය  වේදිකාවට නැඟිලා ගයනා කරද්දිත් විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආකර්ෂණයක් ලැබෙනවා. ඇත්තටම අපිට පෙනෙන සෝෂල් මීඩියා අංක විතරක්ම නෙවෙයි වෙනත් ආකාරයටත් මේ ගීතය ඉතාම ජනප්‍රියයි කියලා පෙනෙන්න තිබෙනවා. මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර නිසා මම මේ දවස්වල සෑහෙන්න සතුටින්.




සීදේවි ගීතය නිර්මාණය වුණේ කොහොමද?




මේ ගීතයේ තනුව සහ පද රචනය සිදු කළේ මම. ළහිරු දි කොස්තා තමයි මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ. බඳිමු සුදා නිර්මාණය කරපු සහන් වික්‍රමාරච්චි තමයි මේ ගීතයේ රූප රචනාව නිර්මාණය කළේ. ඉතින් අපි හැමෝගෙම මහන්සියෙන් තමයි මේ ගීතය නිර්මාණය වුණේ.




සීදේවි ගීතයේ රූප රචනාව තුළ අපි දැක්කා සීදේවි සහ හැලයාගේ මුහුණු නිර්මාණය කිරීමට විශාල පරිශ්‍රමයක් දරලා තිබුණා. මේ දේවල් නිර්මාණය වුණේ මොන ආකාරයටද?




ඇත්තටම මගේ අදහසක් තමයි ඔය විධියට නිර්මාණය වුණේ. නමුත් මේ ගීතය නිර්මාණය කරන්න පටන් ගද්දී කිඹුල්ලු දෙන්නෙක් සිටියේ නැහැ. ඔය ගීතයට අනුව ගමක ඉඳන් කොල්ලෙක් කොළඹට ඇවිල්ලා ඔහුගේ ජීවිතයේ දේවල් වැඩිදියුණු කරගෙන තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් හැම දේම කරමින් සිටින කතාවක් තමයි තිබෙන්නේ. එතැනදී ගමේ කොල්ලට කොළඹ කාන්තාවන්ගෙන් ලැබෙන ආකර්ෂණය හමුවේ තමන්ගෙ පෙම්වතිය ගැනම සිතමින් ඇයට ආදරය කරන ආකාරයක් තමයි ඔය ගීතයේ තිබුණේ. ගමේ කොල්ලට කොච්චර වුණත් ඕනෙ තමන්ගෙ ගමේ කෙල්ලමයි. ඉතින් මුලින්ම මේ ගීතය නිර්මාණය කරද්දි හිටියේ සීදේවි විතරයි. පස්සේ තමයි හැලය ආවේ. ඊට පස්සේ තමයි මම රූප රචනාවටත් කිඹුලන්ව ගේමු කියලා හිතුවේ. ඉතින් මේ දෙය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගත්තා.




අපි පොඩි කාලේ බලපු පැන්චා කාටූනයේ ඉන්න සීදේවියි හැලයයි කියන්නේ යුවළක් නෙවෙයි සහෝදරියක් සහ සහෝදරයෙක් කියලා මේ සින්දුව නිකුත් වුණාට පස්සේ හෙළිදරවු වුණා. මොකක්ද ඒ කතාව?




පැන්චා කාටූනයේ ඔරිජිනල් කතාවේ ඉන්න මේ දෙන්න අක්කයි මල්ලියි කියලා තමයි කට්ටිය කියන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් අක්කටයි මල්ලිටයි කියන්නෙ නැහැනේ සීදේවියි හැලයයි කියලා. එකිනෙකාට මෙවැනි දේවල් එක එක විධියට හිතන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේදිත් අපි කපල් එකක් දැක්කම කියනවනේ මුං දෙන්න නම් සීදේවියි හැලයයි කියලා. ඔන්න ඔය දේවල් පදනම් කරගෙන තමයි මේ ගීතය නිර්මාණය වුණේ.




සීදේවිටයි හැලයටයි අනන්‍ය වුණු ලස්්සන නර්තනය ගැන කියනවා නම්




මේකෙ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ඔෂාන් ලියනගේට. ඔහු තමයි මේ ගීතයේ කොරියොග්‍රැෆි කළේ. මම මුලදී ඔය ඩාන්ස් එකට කැමැති වුණෙත් නැහැ. හැබැයි පස්සේ මම ඒකට කැමැති වුණා. මම හිතුවෙ නැහැ ඔය නර්තනයට ඒ තරම් ප්‍රතිචාර එයි කියලා. සාමාන්‍යයෙන් ටික් ටොක් එකක් හරි ඩාන්ස් කවර් එකක් හරි නොකරන පිරිස පවා මේ ගීතයට ඩාන්ස් කරලා තිබෙනවා මම දැක්කා. අපි හැමෝම නර්තනයට දක්ෂ නැහැ. නමුත් නර්තනය හදාරපු නැති අය පවා මේ ඩාන්ස් එකත් එක්ක එකතු වෙලා තිබෙනවා මම දැක්කා. ගීතයක් එක්ක ඒ ගීතයටම අනන්‍ය වුණු ඩාන්ස් එකක් ජනතාව අතරට යවන එක ලෙහෙසි නැහැ. ඒ ගැන මට තිබෙන්නේ විශාල සතුටක්.




පියත් රාජපක්ෂගෙ ගීත ටික් ටොක් තුළ මේ තරම් ජනප්‍රිය වෙන්නේ ඇයි?




සමහර අය මගෙන් අහනවා මොකක්ද මේ මාකටින් ටි්‍රක් එක කියලා. හැබැයි මම කිසිම මාකටින් ටි්‍රක් එකක් කරලා නැහැ. මනුස්සයෙක් සින්දුවක් රස විඳිද්දී මෙන්න මේ දේවල් නිසා කැමැති වෙයි කියලා හිතලා කරපු වෙනස්කම් තිබෙනවා. ඉතින් රසිකයෝ මේ දේවල් ආදරයෙන් වැලඳ ගත්තා. මේ දේවල් ටික් ටොක්වලට කියලා විශේෂ දෙයක් කරලා නැහැ. මමත් මේ දේවල් එක්ක ටික් ටොක් කරලා අප්ලෝඩ් කළා. අමුතුවෙන් දේවල් කළේ නැහැ. සමහර විට මේවා වුණේ ලක් එක නිසා වෙන්න ඇති. නැත්නම් ටික් ටොක්වල ඉන්න අයට මේක වැඩිපුර දැනෙන නිසා මේ දේවල් වෙනවා ඇති.




හුදෙකලාවට පෙම්බඳින රසිකයෙක්, ඔබ දැන් ළයාන්විත ගීතවලින් අෑත් වෙලා කියලා චෝදනාවක් එල්ල කළොත් මොකක්ද කියන්න තිබෙන්නේ.




කවුරු හරි මාව මගේ ආරම්භයේ ඉඳලා ෆලෝ කරන කෙනෙක් නම් දන්නවා, මම නිර්මාණය කරලා තිබෙන්නේ එකිනෙකට වෙනස් ගීත කියලා. මම ස්ලෝ ගීතම කියන්න කැමැති නැහැ. මට අවශ්‍ය වෙන්නේ විවිධ පරාසවල තිබෙන ගීත නිර්මාණය කරලා රසිකයන්ට විවිධ හැඟීම් ලබා දෙන්න. ඉදිරියේදී අනිවාර්යයෙන්ම මගේ අතින් ස්ලෝ සින්දු නිර්මාණය වෙයි. ඒ වගේම නටන්න පුළුවන් ගීතත් ඉදිරියට එයි. අඬන්න පුළුවන් ගීතත් එයි. ඉතින් විවිධ ආකාරයේ ගීත ඉදිරියේදී ඔබට අසන්න ලැබෙයි.




ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද?




අනිවාර්යයෙන්ම මට ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න අදහසක් තිබෙනවා. ඒක තමයි මගේ අවසන් ඉලක්කය. ඒ නිසාම තමයි මේ ආකාරයට ගීත නිර්මාණය කරමින්, ගීත නිකුත් කරමින් මම මේ ගමන යන්නේ. ඉතින් මම ලොකු වැඩකට හෙමින් ලෑස්ති වෙනවා. ඉදිරියේදී තව ගීත කිහිපයක්ම නිකුත් වීමටත් නියමිතයි. අපි බලමු ඉතින්. ඊළඟ අවුරුද්දේ වගේ මම ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න සිතාගෙන සිටිනවා.




ඉදිරි වැඩ කටයුතු ගැන කියනවා නම්




මට ඇත්තටම ඉදිරියට නිකුත් කරන්න ඉන්න ගීතය ගැන මොකුත්ම හිතා ගන්න බැරුව ඉන්නේ. ඊළඟ ගීතය ඉතා ළයාන්විත වෙනස්ම ආකාරයක හැඟීම්බර ගීතයක් වේවි. ගීත කිහිපයක්ම තිබෙනවා ඉවර කරපු. මොකක්ද රිලීස් කරන්නේ කියලා හිතා ගන්න බැරුව මම දැන් ඉන්නේ.




ගිහාන් සචින්ත



Previous Post Next Post