පොඩි කාලේ ඉඳලා දන්න දෙන්නෙක් නිසාද දන්නෙ නැහැ ජීවත් වෙන්න අපිට හරි පහසුයි-තිසුරි යුවනිකා




තිසුරි යුවනිකා, මේ රූපයට හැමදාමත් බොහෝ දෙනෙක් ආදරය කළා. කලාත්මක නිර්මාණ කෘති බොහෝමයකින් රංගනය ස්පර්ශ කළ ඈ මව නිසා කලාවට අවතීර්ණ වුවත් මවට වඩා පුංචි තීරයේ කැපි පෙනෙන චරිතයක් බවට පත් වුණා. දැන් ඇය රංගනයට තාවකාලිකව සමු දී විදෙස් ගත වෙලා ජීවත් වෙන්නේ. ඇගේ තොරතුරු මේ විදිහට රසඳුන අතරට ගෙන ආවා.


තිසුරි කියන්නේ දක්ෂ සම්මානනීය නිළියක්. ඒත් ඔබ රංගනයට සමුදීලා විදෙස් ගත වුණා. පිටරට ජීවිතේ කොහොමද කියලම අපි කතාබහ ට ආරම්භය ගමු..?


අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ෆ්ලයිට් එකට නගිද්දි හිතට හරි අමුතු දුකක් දැනුණා. කවුරු කොහොම කිව්වත් තමන්ගේ රට තරම් අනිත් රටවල ජීවත් වෙන එක සතුටක් නැහැ වගේ හැඟුණා. මුල් කාලේ ලේසී වුණේ නැහැ. වින්ටර් එක සමර් එකත් එක්ක මේ මොන ජීවිතයක්ද කියලා හිතුණා. මම හස්බන්ඩ් කිව්වා ඔයාගේ අධ්‍යාපන කටයුතු ඉවර වුණු ගමන්ම අපි ලංකාවට යමු මොකක්ද මේ ගෙවන ජීවිතේ කියලා.


ඒ වගේම පවුලෙන්… හුරු ජීවිතෙන් ඈත් වෙලා ජීවත් වෙන්න අමාරුයි. පිටරට එන බොහෝ දෙනෙක් මේ අත්දැකීම් විඳිනවා. නමුත් දැන් අපිට හුරුයි. ලංකාවේ හිටියට වඩා නිදහසේ ඉන්නවා. කොහොම හරි අපි දෙන්නා දැන් සතුටින් ජීවත් වෙනවා.


ඒ කියන්නේ ආයේමත් ලංකාවට එන්න අදහසක් තියෙනවා..?


මම පුංචි කාලේ ඉඳලා හිතපු දෙයක් තමයි මම කවදා හරි පිටරටක ජීවත් වෙන්නේ කියලා. ඒ හීනය සෑබෑ වුණා. ඒ ගැන සතුටු යි. ඉතිං මම ආසයි ඉන්න. ඒත් හස්බන්ඩ් කැමති නැහැ. එයා කියන්නේ කවදා හරි ලංකාවට යන්න ඕන කියලා. අපි ආවේ මගේ හස්බන්ඩ්ගේ ජොබ් එක සම්බන්ධ වැඩිදුර අධ්‍යාපනයට. බලමු ඉතිං.. ඉන්න හිතුණොත් ටික කාලයක් ඉන්නවා. එහෙම හිටියොත් ඉක්මනින් මගේ අම්මා තාත්තා වගේම හස්බන්ඩ්ගේ අම්මා තාත්තා අපි ළඟට ගන්න තමයි ප්ලෑන් කරන්නේ .


රඟපෑමෙන් සම්පූර්ණයෙන් ඉවත් වුණාද..?


සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැ. මම හරි වාසනාවන්ත රංගන ශිල්පිනියක්. මොකද මම රඟපාන්න එන්නේ අවුරුදු හතරෙන්. ළමා නිළියක් විදිහට ආපු ගමන හිමින් හිමින් ගොඩක් දුර ආවා. හොඳ කලා කෘතිවලට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒ තරම් හොඳ නිර්මාණ බිහි වුණු නිසයි මම සම්මාන ගත්තේ. ඒත් ලංකාවෙන් එද්දී බිහි වුණු හා දැන් බිහි වෙන නිර්මාණ දිහා බලද්දී රංගනය මඟ හැරුණා කියලා දුකක් නැහැ. හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණොත් මට ලංකාවට ගිහිං ඒවාට සම්බන්ධ වෙන්න කියලා මගේ හස්බන්ඩ් කියනවා. බලමු හොඳ චරිත ලැබුණොත් මම රංගනයට සම්බන්ධ වෙනවා. නැත්තම් ටික කාලයක් මෙහෙම ඉඳලා පස්සේ ඒ ගැන හිතනවා.


දුකක් නැහැ කිව්වට රංගනයෙන් සම්බන්ධ වුණු නිර්මාණ බලද්දී ලෝබකමක් ඇති වෙනවා ඇති..?


සමහර වෙලාවට යූටියුබ් එකෙන් මමයි එයයි පරණ නාට්‍ය බලනවා. මට සමහර වෙලාවට අනේ කියලා කියවෙනවා. හස්බන්ඩ් ඇහුවා මට දුකක් තියෙනවා ද කියලා. ඇත්තටම දුකක් නැත්තෙත් නැහැ. ඒත් හොඳ චරිත ලැබෙන්නේ නැති නිසා මේ කරන කැපවීම ගැන දුකක් නැහැ. මම කසාද බැඳලත් රඟපෑවා. මෙහෙට එන්න ප්ලෑන් කරපු නිසා භාර ගත්ත වැඩ ඔක්කොම ඉවර කරලා ආවේ. භාරගත්ත නිර්මාණ අතරමඟ නතර කරලා එන්න බැරි නිසා. ඒ වගේම අලුත් ඒවා භාර ගත්තේ නැහැ.


තිසුරිත් ඔබේ දෙමවුපියන් වගේ පවුල් ජීවිතේට මුල් තැන දුන්නු කෙනෙක්..?


මගේ අම්මා රංගන ශිල්පිනියක් හැටියට කාර්‍යබහුල ජීවිතයක් ගත කළත් විවාහ ජීවිතේට මුල් තැන දුන්නු කෙනෙක්. මම පුංචි කාලේ ඉඳලා හැදෙන්නේ වැඩෙන්නේ පවුල එක්ක. පවුලෙන් ඈත් වුණේ රට එද්දී විතරයි. විවාහ වෙලත් අපි දෙන්නා මරුවෙන් මාරුවට ගෙවල් දෙකේ හිටියා. මගේ හස්බන්ඩ් වුණත් පවුලට ගොඩක් ලැදි කෙනෙක්. අපි පවුල එක්ක ජීවත් වුණු නිසා මට කොහොමත් ඕන වුණේ පවුල් ජීවිතේට මුල් තැන දෙන්න. අනිත් එක මේ කාලේ ආයේ ගන්න බැහැ. ඒ නිසා මට මේ ජීවිතේ ගැන හරි සතුටක් තියෙනවා.


තිසුරිගේ මව දෙවැනි වතාවට අසනීප වෙද්දී ඔබ විදෙස් ගත වෙලා හිටියේ, ඒ ගැන ඇතැමුන් විවේචනය කරලා තිඹුණා..?


අපි එද්දී අම්මා හොඳ සුවයෙන් හිටියේ. අපේ පවුල අතර හොඳ බොන්ඩ් එකක් තියෙනවා. අම්මා හොඳින් හිටපු නිසයි බය නැතුව ආවේ. අම්මා වුණත් කැමති වුණා මම හස්බන්ඩ් එක්ක යනවට. මම ඇවිත් මාසයක් ගියාට පස්සේ අම්මට තුවාල වගයක් දාලා ඒකට බෙහෙත් කරන්න යද්දී තමයි ආයෙමත් අසනීපයෙන් කියලා දැනගත්තේ. සමහර අය නොදැනුවත්කම එක්ක විවිධ දේ කියලා තිබුණා. නමුත් පිටරටකට ගියාට පස්සේ ආයෙමත් යන්න ගොඩක් දේවල් පෙන්නන්න ඕන. මගේ සැමියා ඊට අවශ්‍ය දේවල් මට ලෑස්ති කරලා දුන්නා. මම මාස හයකට පස්සේ ලංකාවට ඇවිත් අම්මා එක්ක මාස එකහාමාරක් හිටියා. ඒ කාලේ මම ලංකාවට ආවා කියලා සඳහනක් කළේ නැහැ. එහෙම කළා නම් වැඩවලට ආරාධනා කරනවා. වැඩසටහන්වලට ආරාධනා කරනවා. ඒවට ගියොත් මට අම්මව මඟ ඇරෙනවා. ඒ නිසා අම්ම ටිකක් සුව වුණාට පස්සේ මම ආයෙමත් ආවා. අපි දෙන්නා ගෙදර ආව ගමන්ම කරන ලොකුම රාජකාරිය තමයි පවුල් දෙකේ දෙමාපියන්ට කතා කරන එක. අපි නිතරම දෙමාපියන් ගැන හොයනවා.


තනියම වැඩ කර ගන්න වෙද්දී අම්මගේ අඩුව වැඩිපුර තිසුරිට දැනෙනවා ඇති නේද..?


මගේ අම්මා පුංචි කාලේ ඉදලා මට ගෙදර වැඩ කරන්න උගන්නලා තියෙනවා. අම්මා උයද්දි මම හැමදාම පොල්ගාලා දුන්නා. ලූනු සුද්ද කරලා දුන්නා. උයන්න පුළුවන් වුණාට තනියම ඉව්වේ නැහැ. මගේ අම්මා හරිම ශක්තිමත් කාන්තාවක්. තාත්තගේ කාර්‍යබහුල ජීවිතේ එක්ක අම්මා තමයි බඩු ගේන්නේ. බැංකු යන්නේ ඔක්කොම වැඩ බලන්නේ. අම්මා අසනීප වෙද්දී තාත්තා එක්ක එකතු වෙලා කඩේට ගිහිං බඩු ගන්න එකේ ඉඳලා ගෙදර වැඩ ඔක්කොම මට කරන්න වුණා. බෙහෙත් එක්ක අම්මට වැඩ කරන්න අමාරුයි. දැන් මට අම්මා නැති අඩුව දැනුණට වැඩ තනියම කර ගන්න හයියක් තියෙනවා. මට රසට උයන්න පුළුවන්. මම එක එක විදිහට මට හිතෙන විදිහට උයන්නේ. හස්බන්ඩ් මගේ කෑම රසයි කියනවා. මගේ අත් ගුණය හොඳයි කියනවා. කොහොමත් මට රසට උයන්න පුළුවන්.


ඔහුගෙන් ලැබෙන සහය..?


නොදන්න රටක ජීවත් වෙද්දී උදව් අවශ්‍යයි. මට අසරණ වෙන්න නොදි ඔහු මට හැම සහයක්ම ලබා දෙනවා. අපි දෙන්නා පොඩි කාලේ ඉඳලා දන්න දෙන්නෙක් නිසාද දන්නෙ නැහැ ජීවත් වෙන්න අපිට හරි පහසුයි. දැන් එයා තමයි මගෙ හයිය.

රට වෙනස් වෙනවත් එක්කම තිසුරිගේ විලාසිතා වෙනස් වුණාද..?


හැමදාම මම ජීවත් වුණේ සරල විදිහට. මගේ වෙනස් වුණේ එක දෙයයි. ඒ ලංකාවේ ඉද්දි කැමරාව ඉස්සරහා මේකප් දැම්මා. මෙහේ ආවට පස්සේ මේකප් අල්ලන්නෙවත් නැහැ. මට වෙඩින් එකකට සෙරෙප්පු දාගෙන යන්න තිබ්බා නම් මම ඒකත් කරයි. ඒ තරම් මම බලන්නෙ මගේ පහසුව. ඉස්සර මගේ තාත්තා කියනවා ඔයා නම් අඳිනවා මෙලෝ රහක් නැහැ කියලා. ඒත් මගේ හස්බන්ඩ් කියන්නේ ඔයා කැමති විදිහට ඉන්න කියලා. එයා මගේ විදිහට ජීවත් වෙන්න ඉඩ දීලා තියෙනවා. ඒ නිසා මම පහසු විලාසිතා විතරයි අදටත් කරන්නේ


තමන්ගේ රටේ ජීවත් වෙද්දී තිසුරි නිළියක් නිසා බොහෝ ප්‍රතිචාර හිමි වුණා. දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ..?


කලින් හිටියේ මෙල්බන්. එතකොට ලංකාවේ අය මාව දැකලා අහක බලලා ආයෙත් බලනවා. එතකොට මම දන්නවා මාව අඳුරගත්තා කියලා. මොකද සමහරු හිතන්නේ මම නෙමෙයි කියලා. සමහර අය ළඟට ඇවිත් ඔයා අහවලා නේද කියලා අහලා හරි සතුටින් කතා කරනවා… අම්මා ගැනත් අහනවා. එක්කෙනෙක් දෙන්නෙක් දැකලා බලලා නොදැක්කා වගේ යනවා. මොකද මම ටීවී එකට ටිකක් උසයි වගේ පේන්නේ. ඒ නිසා අඳුරගන්න බැරි අවස්ථාත් ඇති. ලංකාවේ නම් කොහේ ගියත් අසීමිත ආදරයක් ලැබෙන්නේ. සමහර වෙලාවට නිදහසේ යන්නත් බැහැ නේද කියලා හිතෙනවා. රංගන ශිල්පිනියක් හැටියට ඒ ආදරේ හරි වටිනවා.


විවාහ වෙලා අවුරුදු හයක් සම්පූර්ණ වෙනවා, දැන් පුංචි පවුල සම්පූර්ණ කර ගන්න හීන දකිනවා ඇති නේද ..?


අපි දෙන්නගේ දෙමවුපියන් කතා කරපු ගමන් කියන්නේ දැන් ඇති තනියම හිටියා දරුවෙක් හදන්න ලෑස්ති වෙන්න කියලා. ඒත් අපි දෙන්නා හිනා වෙලා විහිළු කරලා ඉන්නවා. අපේ වැඩ කටයුතු එක්ක දරුවෙක් හදන්න මුලින් නම් කල් ගත්තා. ඒත් දැන් කාලේ හරි කියලා හිතනවා. නමුත් අපිට හදිස්සියක් නැහැ. අපි ළඟට එන දරුවා කැමති වෙලාවක එයි. එතකල් අපි දෙන්නා බලාපොරොත්තු තියාගෙන ජීවිතේ ගෙවනවා.


රඟපෑමෙන් කාලේකින් දකින්න ලැබෙන්නේ නැති නිසා කලාත්මක නිර්මාණයක් නිර්මාණය කළොත් හොඳයි කියලා හිතන්නේ නැද්ද ..?


මට නම් කිසිම උවමනාවක් නැහැ. මම ෆීල්ඩ් එක ගැන දන්න නිසා. ඒත් මගේ හස්බන්ඩ් නම් කියන්නේ මම හොඳ වැඩක් නිෂ්පාදනය කරනවා කවදා හරි කියලා. එයාට නාට්‍යයක් නිෂ්පාදනය කරන්න ඕන කියලා. මම විහිළු කරනවා, ඔයාට සල්ලි වැඩි නම් කරදර නොවී මගේ බැංකු එකවුන්ට් එකට දාන්න මම රඟපාලා පෙන්නන්නම් කියලා. මට නම් කිසිම අදහසක් නැහැ.


 හර්ෂණී වීරරත්න



Previous Post Next Post