මගෙන් ඇහෙන්නෙ අම්මගෙම හඬ කියන එක මට ලැබෙන ලොකුම ගෞරවයයි -ශ්‍යාමි නදීශා




කලක් ඇය ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි යුගයක් තිබිණ. කැසට් පට කලාවේද පෙරළියක් කළ ඇය කුඩා වියේදීම ගායන ලොවේ නම රැන්දූ ගායන ශිල්පිනියකි. ශ්‍යාමි නදීශා නම කී පමණින් ඇයව ඔබගේ මතකයට නැ‍ෙඟනවා නොඅනුමානය. යුගයක් ප්‍රේමණීය හඬින් රසික සිත් මුසපත් කළ ප්‍රවීණ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය ඇයයි. එසේත් නැතහොත් වත්මනේ යොවුන් සිත් වසඟයට ගත් රයිනි චාරුකා මෙන්ම වින්ඩි ගුණතිලකගේ වැඩිමහල් සොයුරියයි.‘කතාවක් කියන්නම්’ ගීතය හරහා වසර 17කට පසු නැවතත් ගී ලොවට පිවිසි ශ්‍යාමි නදීශා දිගු නිහැඬියාවකින් පසු අප හා කතාබහට එක්වූවාය.


ශ්‍යාමි නදීශා කියන්නෙ කාලයක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගීත ලෝකයේ පෙරළියක් කළ චරිතයක්. ඇයි එකපාරටම සැඟවුණේ?


මං ගායන ක්ෂේත්‍රයට එන්නෙ පුංචි කාලෙමයි. ඒ කාලෙ දෙන සින්දුව ඔහේ ගිරවෙක් වගේ කිව්වට මට ඒ ගැන අවබෝධයක් තිබුණෙ නෑ. මගේ තාත්තට තමයි ලොකු ඕනකමක් තිබුණෙ මාව ගායිකාවක් කරන්න. විවාහයෙන් පස්සෙ 2018 දී අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට එනවා. ඇවිත් රැකියාවක් කරන අතරේ ඩිග්‍රියත් කළා. ඒ කාර්යබහුලත්වයත් එක්ක මට සංගීතය කියන කොටස මඟහැරුණා. ඉඳහිට ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගවලට සහභාගි වුණා. මගේම ගීත දෙකකුත් කළා. ඒත් පූර්ණකාලීනව සංගීතයේ යෙදෙන්න බැරි වුණා.


ඔබේ අලුත්ම ගීතය ‘කතාවක් කියන්නම්’ එළිදකින්නේ අවුරුදු 17කට පස්සේ. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ ?


ඒ ගීතය මට ලැබෙන්නෙ සණුක මල්ලිගෙන්. ගිය අවුරුද්දෙ එයාල ෂෝ එකකට මෙහේ ආව වෙලාවෙ තමයි මේක කළේ. එක දවසින් ට්‍රැක් එක හදල වොයිස් කළා. ඉතුරු ටික කළේ සණුක මල්ලි ලංකාවට ගිහින්. ගීතයේ පද රචනය උමා අසේනි නංගිගේ. සංගීතය සණුක වික්‍රමසිංහ මල්ලිගේ. එකපාරටම මේක ලොකු අක්කිට හොඳයිනෙ කියල මතක් කළේ මගේ පොඩි නංගි වින්ඩි. මේක රටවල් දෙකක ඉඳන් කළ ගීතයක්.


අවුරුදු 17ක් කියන්නෙ සෑහෙන කාලයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර ?


ඉතාම ඉහළයි. ෆේස්බුක්, යූටියුබ් වගේම මට පෞද්ගලිකව එන මැසේජ් බැලුවම හරිම සතුටුයි. මෙලඩියට, පදවලට, හඬට වෙන වෙනම කැමති අය හිටියා. ඒ වගේම ගීතයේ ආකර්ෂණීය රූප රචනය ගැනත් කියන්න ඕන. ශෙහාන් ජයසේකර, මදාරා සෙව්වන්දි, විභාවි විමංසා, කෙවින් ස්ටෙෆන් රංගනයෙන් දායක වුණා. ලැබෙන හැම කමෙන්ට් එකක්ම මං කියවනවා. ඒ ප්‍රතිචාරවලින් මගේ හිතට ලොකු හයියක් ආවා. ඊළඟ නිර්මාණ කරද්දි ඒක මට මෝටිවේෂන් එකක් වේවි. ගීතය රසවින්ද ප්‍රතිචාර දැක්වූ හැමෝටම ගොඩක් ස්තුතියි.


ශ්‍යාමිගෙන් අම්මගෙ හඬම එනව කියන අයත් ඉන්නවා නේද?


ගොඩක් අය කියනවා මගෙන් අම්මගෙ


හඬ එනව කියලා. ඒත් මට හිතෙන්නෙ අම්මගෙ කටහඬේ සමහර තැන් මගෙන් ඇහෙනව ඇති. නංගිල දෙන්නටයි මටයි අම්මගෙ හඬේ වෙන වෙන වර්ෂන් ලැබිල තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඒත් අම්මගෙ හඬ නෙවෙයි. කාටහරි එහෙම මගෙන් එන්නෙ අම්මගෙම හඬම කියලා ඇහෙනව නම් ඒක තමයි මට ලැබෙන ලොකුම ගෞරවය.


ඒ ගැන කවදහරි අම්මගෙන් ප්‍රතිචාරයක් ලැබිල නැද්ද?


අම්මගෙ කටහඬ මට ඇහෙන්නෙ මහා ලොකු හඬක් විදිහට. ඒ හඬට මං මාර ආසයි. මට මගෙන් ඒ හඬ කවදාවත් ඇහිල නැති නිසා මං කවදාවත් අම්මගෙන් ඒ ගැන අහලත් නෑ.


ඔබ වගේම රයිනි, වින්ඩි කියන්නෙත් ලංකාවෙ ජනප්‍රිය ගායිකාවන් දෙපළක්. ඒ ගැන මොකද හිතෙන්නේ?


මට එයාල ගැන හරිම සතුටුයි. එයාලගෙ නම කිව්ව ගමන් ලංකාවම දන්නවා. එයාල එයාලටම නමක් හදාගෙන තියෙනවා. ඒ වගේම මගේ මල්ලි යොහාන්වත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන. එයා ජීවත් වෙන්නෙ ඉතාලියේ. එයත් මියුසික්වලින් එයාගෙම ගමනක් යනවා. මගේ සහෝදරයො ඔක්කොම ගැන මට හරි ආඩම්බරයි.


ඔබ ඉක්මනින්ම විවාහ වෙලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඔහුගේ හමුවීම ගැනත් කියමු?


එයාගෙ නම සුසන්ත. මට සුසන්තව හමුවෙන්නෙ සකුරා සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් වාදකයෙක් හැටියට. එයා දීර්ඝ කාලයක් සංගීත කණ්ඩායම්වල වැඩ කළා. ඒ කාලෙ වැඩවලදි මට එයාව නිතර හමුවුණා. අපි අතරෙ ආදරයක් ඇතිවෙලා විවාහ වුණාට පස්සෙ අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට එන්න තීරණය කළා. ඒ නිසා එයාට බෑන්ඩ් එකෙන් අයින් වෙන්න වුණා. එදා ඉඳන් අද දක්වා මගේ පිටිපස්සෙ ඉඳන් හැමදේටම උදව් කරන්නෙ එයා. අපි ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල. මට බබාල තුන්දෙනෙක් ඉන්නවා. දුවල දෙන්නයි පුතයි. එයාලගෙ ඉස්කෝල වැඩයි, රැකියාවෙ වැඩයි එක්ක මට සංගීතය වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැති තරම්. ඒත් සුසන්ත නම් සංගීතය අත්හැරියෙ නෑ. එයා දිගටම මෙහේ සංගීත කණ්ඩායම්වල ප්ලේ කළා. අපි හරි සතුටින් මෙහේ ජීවත් වෙනවා.


ශ්‍යාමි ඉදිරියෙදිත් නිර්මාණවලින් අපට දකින්න ලැබේවිද?


අනිවාර්යයෙන්ම. මට මගේම කියල තියෙන ගීත ප්‍රමාණය අඩුයි. රසිකයන්ගෙනුත් ගොඩක් ඉල්ලීම් තියෙනවා අලුත් නිර්මාණ කරන්න කියලා. ඒ නිසා අපි හිතුවා කොහොමහරි වෙලාව හදාගෙන නිර්මාණ ටිකක් කරන්න ඕන කියලා. රසිකයන් විතරක් නෙවෙයි මගේ යාළුවො, පවුලේ අය නිතරම මට දොස් කියනවා ඇයි අලුත් නිර්මාණ කරන්නෙ නැත්තෙ, ඇයි හැංගිලා ඉන්නෙ, වෙලාවක් හදාගෙන ඔයාගෙ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන නේද කියලා. ‘කතාවක් කියන්නම්’ මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලබනවා. ඊළඟට කරන්න තියෙන ගීතයකත් වැඩ පටන් ගත්තා. ඉදිරියේදි අලුත් නිර්මාණවලින් ඔයාලව හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.


 නාමලී ගමගේ



Previous Post Next Post