කලාකරුවා පූජනීය සත්ත්වයෙක් නෙවෙයි-ජෙහාන් අප්පුහාමි




ඔහු ලාංකික කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. රංගනය තුළින්ද දේශපාලනික ක්‍රියාකාරකම් තුළින්ද සහෘද හදවත් ආමන්ත්‍රණය කළ මොහු කලාකරුවාගේ දේශපාලනික භූමිකාව රටක අනාගතයට බලපෑම් කරන්නේ කෙසේද යන්න පසක් කළ රංගන ශිල්පියෙක්. ලේ වැගිරි සැණකෙළි මත රතු සෙවණැලි භයංකර ලෙස අවතාර කරනා විපරීත යුගයක Blood Shadows නම් වේදිකා නාට්‍යයෙන් ඔහු නැවතත් ප්‍රේක්ෂකයා වෙතට පැමිණියා. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි.

 Blood Shadows රතු සෙවණැලි – ලේ සැණකෙළි නිර්මාණය වුණේ කොහොමද?


මම වසර හතකින් වගේ තමයි නාට්‍යයක් නිර්මාණය කරන්නේ. මම මේ නාට්‍යයේ පිටපත වසර අටක් තිස්සේ ලිව්වා. මේ නාට්‍යයේ පිටපත මම වරින් වර ලියමින් වෙනස් කරමින් නැවත නැවතත් විවිධ දෙය එක් කරමින් අවසන් කළා. Blood Shadows කියන්නේ දේවදූතයෙක් මූලික කරගෙන ඉදිරියට ගලායන ආදර කතාවක්. මේ නාට්‍ය තුළ ආදරය, දේශපාලනය, වෛරය වගේ දේවල් ගැබ් වෙලා තිබෙනවා. මේ නාට්‍ය රසවිඳින පුද්ගලයාට තමන්ට කැමැති අයුරින් දරාගැනීමට, තමන්ට කැමැති කතාව මවා ගැනීමට ඉඩහසර වෙන්කරලා දීලා තිබෙනවා. ඉතින් ප්‍රේක්ෂකයා මේ නාට්‍ය තුළින් මවා ගන්නා සිතුවම මොකක්ද කියන දෙය ඒ ඒ පුද්ගලයාට අදාළ කාරණාවක්. මම මගේ මනසේ තිබුණු සිතුවම මේ නාට්‍ය විධියට එළියට ගෙනත් තිබෙනවා. මේක වෙනස්ම ආකාරයක සංගීතමය නාට්‍යයක්.


Blood Shadows සංගීතමය නාට්‍යය (Musical theatre) ශානරයේ රංග කාර්යක්ද?


මෙම නාට්‍යයට සංගීතමය දායකත්වය සපයන්නේ නාමිනි පංචලා සහ අජිත් කුමාරසිරි. මම කරපු ගොඩක් නිර්මාණවල සංගීතයට විශේෂ තැනක් ලබා දුන්නා. මම සංගීතමය නාට්‍ය කරන්න ගොඩක් කරන්න කැමැතියි. ලංකාවේ සංගීතමය නිෂ්පාදනයන් වෙනවා හරිම අඩුයි. මෙවැනි කාර්යයක් සිදු කිරීම තුළ විසල් අභියෝගයක් සහ විසල් අවදානමක් තිබෙනවා. මෙවැනි නිර්මාණයකට අධික මුදලක් දරන්න සිදු වෙනවා. අපිට කරන්න පුළුවන් කාලේ මෙවැනි අත්හදා බැලීම් කරන්න ඕන. ඉතින් අපි ඒ වැඩේට බය නැතුව අත ගැහුවා. අජිත් කුමාරසිරි මේ වැඩේට සාධාරණයක් ඉෂ්ට කරලා තිබෙනවා.


මේ නාට්‍ය තුළ කිතුනු ආගමෙහි එන සංකේත සහ ලක්ෂණ අපිට දකින්න පුළුවන්. මේ ගැන කියනවා නම්?


අපි මේ නාට්‍ය තුළ එවැනි දේවල් සංකේතාත්මකව භාවිත කරලා තිබෙනවා. නමුත් මේක කතෝලික නාට්‍යයක් නෙවෙයි. මේක ජීවිතය සමඟ බද්ධ වුණ වෙනත් ආකාරයක උපහාසාත්මක වැඩක්. මේ තුළ තිබෙන තටු කියන්නේ දේව දූතයන්ට තිබෙන තටුම නෙවෙයි. ඇඳ ගන්නවා කියන එකට අපි කියනවනේ තටු දාගන්නවා කියලත්. එහෙම තටු දාගත්ත අය තරු වෙනවා, ඇඳ ගන්නවා, නා ගන්නවා ඊට පස්සේ ඉතින් තටු කපාගන්න තමයි වෙන්නේ. මේක ඕනෑම ප්‍රේක්ෂකාගාරයකට සුදුසු වැඩක්. මේක කතෝලික ආගම පදනම් කරගෙන කරපු නිර්මාණයක් නෙවෙයි. මේක සමස්ත මනුෂ්‍යයාට ආමන්ත්‍රණය කරන නාට්‍යයක්. මේක ආගමික තලයෙන් ගන්න එපා කියන එකයි මගේ අදහස.


ඔබේ බොහෝ නිර්මාණ සහ අභිවාහ්‍ය කලා ආදිය ස්වපීඩක ලක්ෂණ දරනවා. ඒ පිළිබඳව ඔබේ අදහස?


අපිට ජීවිතයේ දැනෙන දේවල් සහ අපි ජීවිතයේ කරන දේවල් අතිශය පෞද්ගලිකයි. අපි ඒ දේවල්වලට මුහුණ දෙන්නෙ කොහොමද, අපි ඒවට උත්තර සොයා ගන්නේ කොහොමද, ඒ වගේම ප්‍රශ්නයක් ආවිට අපිට හමුවෙන තීන්දු තීරණ ලෙහෙසි පහසු දේවල් නෙවෙයි. ඉතින් එතැනදී තමන්ටම වද දෙනවා කියන දෙය ජීවිතය ඇතුළේ අපි පුරුදු පුහුණු වන එක්තරා විෂයක්. ඒ දෙය එක් එක් පුද්ගලයාගේ ස්වරූපය අනුව බලපාන දෙයක්. තමන්ගේ මනෝභාවයන් සමාජයට ගෙනියන්න විවිධ අය විවිධ දේ කරනවා. ඇතැම් අය චිත්‍රපට හදනවා, ටෙලි නාට්‍ය හදනවා, ඇතමුන් කවි ලියනවා, සින්දු ලියනවා. ඔය වගේ විවිධ දේ කරනවා. මගේ විෂය වේදිකා නාට්‍ය. ඉතින් ඒ තුළ තමයි මගේ ප්‍රකාශනය සිදු වෙන්නේ.


“අපායේ කොයි තරම් දුරකට මුල් අදින්නේද ඒ තරමටම ස්වර්ගයේ මල් පිපෙන්නේය” මේ කියමන අපිට ෆෙඩ්රික් නියෙට්ෂේගේ කියමනක් සිහිගන්වනවා මොකක්ද මේ  කතාව?


අපායයි, ස්වර්ගයයි දෙකම තිබෙන්නේ මේ මහ පොළොවේ. මම ස්වර්ගයක් විශ්වාස කරන්නෙත් නැහැ අපායක් විශ්වාස කරන්නෙත් නැහැ. ඉතින් මහ පොළොව එක්ක තමයි මේ කතන්දරය ගැට ගැහිලා තිබෙන්නේ. ආදරය කියන කාරණාවෙදී පොළොවට මුල් ඇද්දත් ස්වර්ගයේ මල් පිපෙනවා. ඒ වගේම තමයි ස්වර්ගයට අතු විහිදුණත් පොළොවෙ මල් පිපෙනවා. නියෙට්ෂේගේ කියමන මට විශාල ලෙස බලපෑමක් කළා. ආදරය තුළ තමයි හැමදේම සිදු වෙන්නේ.


මේ රංග කාර්ය සමඟ සම්බන්ධව සිටින ශිල්පීන්ව මතක් කරනවා නම්?


මේ නාට්‍යයට රංගනයෙන් දායකත්වය සපයන්නේ අමිල සඳරුවන් සහ නදිනි වනිගසුන්දර. විශේෂ දෙයක් තමයි මේ නාට්‍යයේ තටු කියන්නේ වෙනම චරිතයක්. සුජිත් රත්නායක කියන විශිෂ්ට චිත්‍ර ශිල්පියා තමයි මෙහි පසුතල නිර්මාණය කරන්නේ. සංජීව උපේන්ද්‍ර මෙයට ආලෝකකරණයෙන් දායකත්වය සපයනවා. ලලීන්ද්‍ර සහ සංජය මේ නාට්‍යයේ ග්‍රැෆික් ආර්ට්වලින් යම් කාර්යක් සිදු කරනවා. Theater Works Production එක තමයි මේ සියලු දේවල් පිටුපස සිටින්නේ. මේ නාට්‍ය තුළ චරිත දෙකක් පමණක් රංගනයේ යෙදුණට වේදිකාව පසුපස තිස්පහක් හතළිහක් විතර වැඩ කරනවා. අමිල් ගල්ලන්දව විශේෂයෙන් මේ මොහොතේ සිහිපත් කරන්න අවශ්‍යයි. ඔහු තමයි මේ නාට්‍යයේ මූල්‍යමය දායකත්වය සපයන්නේ. අපි ඩ්‍රාමා කියන සඟරාවේ කලාප දහයක් නිකුත් කළා. පසුව ඇති වුණ කඩදාසි ප්‍රශ්න සමඟ අපි එය මුද්‍රණය කරන එක නවතා දැමුවා. ඉන් පසුව තමයි අපි තීරණය කළේ අපි නාට්‍යයක් නිෂ්පාදනය කළ යුතුයි කියලා.


කලාකරුවා දේශපාලනික වීම රටක අභිවෘද්ධියට බලපාන්නේ කෙසේද?


කලාව දේශපාලනිකයි. අපි දේශපාලනික සත්ත්වයෝ. අපිට දේශපාලනය අත හැරලා කලාව කරන්න බැහැ. එහෙම අත් හැරියොත් ඒක විහිළුවක් වෙනවා. කලාව කියන්නෙම දේශපාලනය. අපිට ඒක මඟහරින්න බැහැ. හැමදේම ජරාජීර්ණ වුණු තැනක අපිට ෆලූඩා වීදුරු වෙන්න බැහැනේ. කලාකරුවා කියන්නේ පූජනීය සත්ත්වයෙක් නෙවෙයි. ඒක වෙන වැඩක්. සමාජයකට වැඩදායී දේශපාලනයක් තමයි කලාකරුවෙක් කරන්න ඕන. ලංකාව වගේ රටක කලාව පූජනීය තැනක නැහැ. ලංකාවේ සමාජය වෙනුවෙන් සහ අනාගත පරම්පරාව වෙනුවෙන් මහන්සි වෙන කලාකරුවන් සිටින්නේ ඉතා සීමිත පිරිසක්. කලාකරුවෙක් දේශපාලනික විය යුතුමයි. මගේ දේශපාලනය තිබෙන්නේ කලාව ඇතුළෙම තමයි.


ගිහාන් සචින්ත



Previous Post Next Post