මම රචකයෙක් හැටියට සමාජගත වුණාට නළුවෙක් වෙන්න ආපු එකෙක් – සමන්ත කුමාර ගමගේ



තමන්ගේ ජීවිතයට නේකවිධ බාධක ආවත් ඒ සියල්ල පරදා තමන්ගේ හීනයට ළඟා වන මිනිසුන් ගැන අප ඕනෑ තරම් අසා ඇත්තෙමු. හද්දා පිටිසර කොලණියේ ඉඳලා කොළොම්තොටට ඇවිදින් තම අරමුණ සාක්ෂාත් කරගන්නකම් විවිධ රැකියාවන් කරලා අද තම අරමුණු ඉහළින්ම ඉෂ්ට කරගත් චරිතයක් තමයි අප ඉදිරියේ සිටින්නේ. නමින් සමන්ත කුමාර ගමගේ වුණ මොහු බොහෝ දෙනෙක් කලකට පෙර හඳුනාගත්නේ රංගන ශිල්පියකු ලෙසය. සත්කුළුපව්ව, ඉඩෝර වැස්ස, පානාමංකඩ, ගිරිදේවි, වියළි ඇතුළු නිර්මාණ කිහිපයකම පිටපත් රචකයා ඔහුය. ඔහුගේ ප්‍රථම සිනමා පිටපත් රචනා නිර්මාණය වූ ශේෂ ද විදේශීය සිනමා ඇගයුමකට පාත්‍ර විය. ඉතින් සමන්ත සමග මේ සියල්ල ගැන කතාබහක නියැළුණා.


ඔබේ නවතම ටෙලිනාට්‍ය පිටපත වියළි මුලින්ම ඒ ගැන කතාබහ කළොත්?


ශාන්ති අක්කාගේ නවකතාවල තිබෙන චරිත සහ පසුබිම මගේ ජීවිතයට හුඟාක් සමීපයි. ඒකට හේතුව ශාන්ති අක්කත් කොලණි සමාජයක ජීවත් වන කෙනෙක්. මමත් කොලණි සමාජයක ජීවත් වන කෙනෙක්. මමත් කොලණි සමාජයක ඉඳලා නගරයට ආපු කෙනෙක්. මගේ මුල් තියෙන්නේ කොලණියේ. එතකොට ශාන්ති අක්කාගේ සෑම නවකතාවකම කොලණි සමාජය සහ ගැහැනිය කේන්ද්‍ර කරගත් සමාජ කතාන්දර තමයි තියෙන්නේ. එතකොට මට ඒ චරිත දැන් නිර්මාණය කිරීම අලුත් දෙයක් නෙමෙයි, හරි පහසුවක්.


අපි දන්න විදිහට ඔබ යාය දාහතේ ජීවත් වුණු චරිතයක්?


ඔව්. මම යාය දාහතේ. ශාන්ති අක්කා යාය හතරේ.


ඒ බැඳීම් ද මෙතැනදී නිර්මාණයට නැඟෙන්නේ?


ඒ බැඳීම් සහ ඒ අත්දැකීම් ටික අපි දෙන්නටම පොදුයිනේ.


යාය 17 ජීවත් වෙනවා කියන්නෙම හරි දුෂ්කර අත්දැකීම් රැසකට මුහුණ දෙන්න වෙනවා. ඔබට ඇත්තෙත් එවැනි අත්දැකීම් ද?


ඒක දිගු කතාවක්. මට සහෝදර සහෝදරියෝ කවුරුත් නැහැ. මමයි තාත්තයි ජීවත් වෙන්නේ. මම පුංචි කාලෙම අම්මා නැති වෙනවා. ඊට පස්සෙ ඉස්කෝලේ යන්නේ ඉඳල හිටලා. නාට්‍යකරණය හින්දම උසස් පෙළ කරනවා. ඒ අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන්. එතැනින් එහෙම සමස්ත ලංකා නාට්‍ය තරගාවලියට නාට්‍ය කළා සහ ජීවත් වෙන්න හැම දෙයක්ම කළා. කොන්ක්‍රීට් වැඩපළවල වැඩ කළා. කුඹුරු කෙටුවා, ආර්මි එකට ගිහිල්ල එතැනින් ඉවත්වෙලා නළුවෙක් වෙන්න ඕනෑ හින්දා කොළඹ ඇවිත් නේකවිධ දේවල් කළා. සරලව කිව්වොත් කට්ටක් කෑවා. ඒ කට්ට තුළ මම ලබපු අත්දැකීම් තමයි නොයෙක්විට විවිධ නාට්‍ය ඔස්සේ චරිත ඔස්සේ මම මේ අකුරු කරන්නේ.


වියළි පිටපත ලිව්ව හින්දම අබේරත්නගේ චරිතය ඉල්ලුවා ද?


නැහැ. ඇත්තටම ඒකේ ගෞරවය තියන්නට ඕනෑ චන්දන ඉරුගල්බණ්ඩාරට. චන්දන තමයි මේකෙ සියලුම නළුවරණයන් සිදු කරන්නේ. කළුෑගේ චරිතයට අකලංකව ගනිද්දි මම ඔහු ගැන නොදැන හිටපු හින්දා ඒ අදහසට මම විරුද්ධ වුණා. නමුත් චන්දනගේ තේරීම හරි. මම රචකයෙක් හැටියට සමාජගත වුණාට, මම නළුවෙක් වෙන්න ආපු එකෙක්. මගේ ආසා කෑල්ල තිබෙන්නේ එතැන.


නමුත් මේ වෙනකොට ඔබේ පිටපත් රචනය ගැන වැඩිපුර කතාබහට ලක්වෙනවා?


ඒක වෙලා තියෙන්නේ මම නළුවෙක් හැටියට වැඩ කළාට මම ආත්මය කොට ලියා ගත්තේ පිටපත. මම ලියන පිටපතට මම කවදාවත් අසාධාරණයක් කරන්නේ නැහැ කියන තැන ඉන්නවා. මට කළ හැකි උපරිම ශක්තිය දාලා මම ලියනවා. මට ඕනෑ දිග හෑලි ලියලා එදිනෙදා කොටස සම්පූර්ණ කරන්න නෙමෙයි. අනික මම විශ්වාස කරන දෙයක් තමයි අපේ රටේ ප්‍රේක්‍ෂකයා හරි සංවේදියි කියලා. ප්‍රේක්‍ෂකයාගේ හදවතට කතා කරන්න පුළුවන් නම් ප්‍රේක්‍ෂකයා නිර්මාණයන් වැළඳ ගනීවි කියන විශ්වාසයේ මම ඉන්නවා.


ශාන්ති අක්කාගේ නවකතා කීයක් පිටපත් රචනා සිදු කරලා තිබෙනවා ද?


ගොඩක් වේලාවට අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීම අනුව තමයි ශාන්ති අක්කාගේ නවකතාව ටෙලි නාට්‍ය පිටපත් රචනයට අරගෙන ආවේ. එහෙම කරපුවා තමයි ගිරිදේවි, දඩමංකඩ ඇසුරින් නිර්මාණය කරපු වියළි. අඳුන්ගිර නවකතාව ඇසුරින් යාදින්නි කියලා ටෙලිනාට්‍යයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒකත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.


චරිත් අබේසිංහ අධ්‍යක්‍ෂණය කරන “බඹරෙක් ඇවිත්” ටෙලි නාට්‍යයේ ද පිටපත් රචකයා ඔබයි?


බඹරෙක් ඇවිත් මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. 71 කැරැල්ල පසුබිම් කරගෙන ඒ වකවානුවේ ගමක සිදුවුණ සිදුවීමක් අනුව නිර්මාණය වූවක්.


එතකොට රංගන වැඩකටයුතු එහෙම?


මේ දවස්වල තත්ත්පරයක් දෙන්න සිද්ධික්ගේ චරිතය වගේම පුංචි අන්දරේ නාට්‍යයේ ගුරුන්නැහේ චරිතය, වියළි හි අබේරත්න කියන චරිත තුන තමයි විකාශය වන්නේ.


ඔබගේ කුළුඳුල් සිනමා පිටපත ‘ශේෂ’ පසුගියදා ඇගැයීමට ලක්වුණා නේද?


‘ශේෂ’ මම ලියපු පළමුවැනි චිත්‍රපටය. මේ වෙනකොට එයින් පසුව බෙනට් රත්නායකගේ චිත්‍රපටයක් ලියැවෙමින් පවතිනවා. ශේෂ අධ්‍යක්‍ෂවරයාට ඕනෑ කරනවා අපේ සංස්කෘතිය ගැන කතාවක් නිර්මාණය කරන්න. එතැනදී මට දැනුණ කතාවක් තිබුණා නුවර පෙරහැරේ බෙරගහන ගුරුන්නාන්සේ කෙනකුගේ ජීවිතයේ වුණු ඇබැද්දියක්. මේක සත්‍ය කතාවක්. අපේ රටේ නර්තන ශිල්පීන් තමන්ගේ පරම්පරාව ගෙනියන්න බැරිව විඳින වේදනාව වගේම සාම්ප්‍රදායික නර්තනය රැක ගන්න උත්සාහ කරන ගුරුන්නාන්සේ කෙනකුගේ කතාවක්.


ගිරිදේවි පිටපතට ලැබුණු ප්‍රතිචාර?


ගිරිදේවි තමයි මගේ රචනා කලාව තුළ සංධිස්ථානයක් වුණේ. ඒ කියන්නේ මම තුන්මන්තැන්න, සක්කුළුපව්ව, ඉඩෝර වැස්ස වගේ නාට්‍ය ලියලා තිබුණාට ගිරිදේවි සමාජගත වුණා බොහෝ සේ.


වැඩිපුර කැමැති පිටපත් රචනයට ද? රංගනයට ද?


ඕක ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඇත්තටම මම නළුවෙක් වෙන්න ආසයි. පෘථග්ජන මිනිස්සු හැටියට අපි සමාජයේ පිළිගැනීම ලබන්න ආසයි. හැබැයි රචනය මගේ ආත්මයම ලියන එකක්. අවංකවම සමන්ත කුමාර ගමගේ ගේ නම හැදෙන්නේම රචනය හරහායි.


රංගනයේ දී ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම හොඳයි. මම කවදාවත් හිතුවේ නැහැ අනුරාධපුරයේ රාජාංගණයේ යාය 17 කටුමැටි බිත්තියේ පත්තරවල අතිරේකවල ගියපු නළු නිළියන්ගේ පින්තූර බිත්තියේ ගහගෙන හීන දකිද්දී මම නළුවෙක් වෙයි කියලා. නමුත් අද හීනය සපථ වෙලා තියෙනවා. ඒ සතුට නිම කරන්න බැහැ.


මට මේ ගමන එන්න රාජ්‍ය පරිපාලනයේ නිලධාරීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ නිසාමයි මම මෙතැන ඉන්නේ. ඒ වගේම වියළි නිෂ්පාදිකා දිලුපා නිරෝෂණීටත් ස්තුති වන්ත වෙනවා. මොකද දිලුපා නැත්නම් ‘වියළි’ ප්‍රේක්‍ෂකයාට ලබාදීම ලොකු අභියෝගයක්.


දිනේෂ් විතාන




Previous Post Next Post