මං ගැන මට වඩා සතුටු වෙන්නෙ එයා-සරත් කරුණාරත්න



වේදිකාවෙන් රංගනයට පන්නරය ගත් ඔහු පුංචි තිරයට වඩා වේදිකාවට ඇලුම් කරන වගේම වේදිකාවෙන් සම්මාන ලැබූ රංගන ශිල්පියෙක්. ලොක්කා ලෙඩ වෙලා, බල්ලොත් එක්ක බෑ,, සඳුදා වැටෙන්නේ සිකුරාදාට , චරිතේ හොරු අරං වැනි වේදිකා නාට්‍යවලින් දකින්න ලැබෙන ඔහු වඩාත් ජනතාව අතර සමීප වුණේ දිවිතුරා නාට්‍යයේ සමීර නිසයි. වසර විස්සක කාලයක් කලාව එක්ක ගණුදෙනු කරන සරත් කරුණාරත්න ඔහු ගැනත් ඔහුගෙ පුංචි පවුල ගැනත් මේ විදිහට කතා කරන්න සම්බන්ධ වුණා, මේ ඒ ගැනයි.


සරත් හැමදාම කාර්‍යබහුල වුණේ වේදිකාව එක්ක. කොහොමද ජීවිතේ ..?


වෙහෙසකාරි නැද්ද ..?


වේදිකාව කියන්නේ වෙහෙසකාරි ගමනක්. ඒත් රංගන ශිල්පීන් හැටියට හැමදාම ඉගෙන ගන්න අත්පත් කර ගන්න, චරිත විවිධ විදිහට ගොඩ නගන්න වේදිකාවේ පෙර පුහුණුවෙන් අවස්ථාව ලැබෙනවා. නාට්‍ය වේදිකා ගත කරන්න කලින් රිහසල් කිහිපයක් කරන්න ඕන. රිහසල් වලට ගෙවීම් කරන්නේ නැහැ. ඒත් නාට්‍යය සම්බන්ධ වීමේ හා වේදීකාවට තියෙන ආදරේ ආසාව නිසා වේදිකාව අත අරින්න හිතන්නේ නැහැ. මම ආසම තියටර් එකට. ඒ නිසා වෙහෙසක් දැනුණත් නොදැනුනා සේ වේදිකාව එක්කම ඉන්නවා


ආර්ථිකයට බලපානවා ඇති..?


ඔව්, අනිවාර්යයෙන්ම බලපානවා. ලංකාවේ කලාවෙන් හම්බ කරන්න බැහැ. වේදිකාවෙන් කොහොමත් බැහැ. ඒත් ඒ සියල්ල දරාගෙන ලබන තෘප්තියට ඉඩ දීලා ජීවත් වෙනවා. දවසට දර්ශන වාර දෙකක් පෙන්නුවොත් විවිධ ප්‍රේක්ෂකයන් මුණ ගැහෙන්නේ. සජීවීව ඒ ආදරේ ලැබෙද්දි හරි වටිනවා .


සරත් කරුණාරත්න කියන නමට වඩා දැන් ඔබ ජනප්‍රිය රූපයෙන් හා සමීර කියන දිවිතුරා නාට්‍යයේ නමින් කිව්වොත්..?


මගේ රූපයෙන් හා කට හඬින් බොහෝ දෙනෙක් හඳුනා ගන්නවා. ඒක තමයි ඇත්ත. ඒකට හේතුව මම වැඩිය නම ප්‍රචලිත වෙන වැඩසටහන් වලට සම්බන්ධ නොවිම හේතුවක් වෙන්න පුළුවන්. ඒ ගැන මට දුකක් නැහැ. ඒ වගේම කියන්න ඕන දිවිතුරා නාට්‍යය අවසන් වුණත් තවම බොහෝ දෙනෙක් මට කතා කරන්නේ සමීර කියලා. ඒ නාට්‍ය වෙනස්ම ආරක් ගත්ත නිසා බොහෝ දෙනෙක් ඒකට ආදරේ කළා. මමත් හරි ආසාවෙන් කතාව අවසන් වෙනකල් නාට්‍යයේ රඟපෑවා.


වේදිකාවේ දක්ෂ නළුවෙක් වුණත් ඔබට සිනමාවේ හා පුංචි තිරයේ වැඩි ඉඩක් ලැබෙන්නේ නැහැ වගේ නේද ..?


සිනමාවට නම් මට ආරාධනා ලැබෙන්නේ නැති තරම්. බොහෝ දෙනෙක් හිතන්නේ සිනමා රංගන. මට වැදගත් හා කැමතිම මාධ්‍ය වේදිකාව. ඒ නිසා හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ආරාධනා ආවොත් භාර ගන්නවා. පුංචි තිරයෙත් එහෙමයි. මේ දවස්වල දෙරණ නාළිකාවේ සිත නිදි නෑ නාට්‍යට හා බිග්බෙන් නාට්‍යට සම්බන්ධ වෙනවා. මේ නාට්‍ය දෙකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම රංගන ශිල්පියෙක් හැටියට යම්කිසි තෝරා ගැනීමක් කරනවා.


ඇතැම් නළු නිළියෝ රඟපාන්නේ තෝරා ගත් අධ්‍යක්ෂකවරු යටතේ විතරයි , ඔබත් එහෙම ද..?


එහෙම මගේ තෝරා ගැනීම් නැහැ. නිර්මාණය හොඳ නම්, චරිතය ඇතුළේ රඟපාන්න තියෙනවා මට ඒ හොඳටම ඇති


නළුකම ඇතුළේ කාර්‍යබහුල වෙලා ඉද්දි කුටුම්බය රැකගන්න මහන්සි වෙන්නෙ කොහොමද ,


කලාව එක්ක කාර්‍යබහුල වෙද්දී මට පවුල, දරුවෝ බිරිඳ මඟ හැරෙනවා.එයාලට මාව මිස් වෙනවා කියලා මම දන්නවා. මගේ බිරිඳ උවනි චාමිකා. ඇය ගුරුවරියක්. පුතා නෙත්සර කරුණාරත්න. පුතාගේ වයස දහයයි. දුව සාරා කරුණාරත්න. එයාගේ වයස අවුරුදු අටයි. බිරිඳ තමයි පවුල මැනේජ් කරන්නේ. නමුත් මම විවේකයක් තිබ්බොත් ගෙදරට මුල්තැන දෙනවා. මම ගෙදර හිටියොත් දරුවෝ දෙන්නා මුලින්ම අහන්නේ තාත්තා ඇත්තටම අද ගෙදර ඉන්නවද කියලා. මම යයි කියලා එයාලටත් ෂූවර් නැහැ, මම ගෙදර හිටියොත් දෙන්නා හරියට සතුටු වෙනවා. එයාලා දන්නවා එයාලගේ තාත්තා කාර්‍යබහුලයි කියලා රංගනය එක්ක. මට පුළුවන් උපරිම දේ පවුල වෙනුවෙන් මම කරනවා.


තාත්තාගේ ජනප්‍රියත්වය දරුවෝ අගය කරනවා ඇති..?


දරුවන්ගේ පාසලේ වැඩවලට ගොඩක් සම්බන්ධ වෙන්නෙ මගෙ බිරිය. මාව එයාලගේ ඉස්කෝලේ ට එක්කගෙන යන්න හරි ආසයි. ඒත් ලොකුවට මගේ නළුකම ගැන හිතන්නේ නැහැ.


ඔබේ බිරිඳ ඔබ වෙනුවෙන් රංගන ජීවිතේ කැප කළ කෙනෙක්. ඔබට චෝදනා කරන්නේ නැද්ද ඔබ නිසා ඇයට ඒ ජීවිතේ අහිමි වුණා කියලා ..?


අපි දෙන්නා මුණගැහෙන්නේ රංගන පාසලෙන්. එයා දක්ෂ නිළියක්. ඒත් එයා විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු එක්ක කාර්‍යබහුල වුණා. නමුත් රඟපෑවා. විවාහය එක්ක තීරණයකට ආවා දෙන්නගෙන් එක්කෙනෙක් රඟපාන්න. එයා තීරණය කරා ගුරු රැකියාව කරන්න. මට රංගනයට සම්බන්ධ වෙන්න කිව්වා. එයා ලියන්න දක්ෂයි. නවකතා ලියලා තියෙනවා , ඒ නිසා එයා දැන් තිර පිටපත් රචිකාවියක් විදිහට කටයුතු කරනවා. මම නිසා එයාට රංගන ජීවිතේ අහිමි වුණා කියලා කවදාවත් මට දෝෂාරෝපණය කරලා නැහැ


ගැහැනු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දි ඇගේ ප්‍රතිචාර කොහොමද .?ඒ ගැනත් කියලා අපි කතාබහ අවසන් කරමු..?


කොයි කාගෙන් ප්‍රතිචාර ලැබුණත් එයා ඒ ප්‍රතිචාර හරි ආදරණීය විදිහට භාර ගන්න කෙනෙක්. මට ලැබෙන ප්‍රතිචාර ගැන මට වඩා හිතන්නේ මට වඩා සතුටු වෙන්නෙ එයා. මගේ සතුට වෙනුවෙන් ලොකු කැපවීමක් කළ ආදරණීය බිරිඳක් මට ඉන්නේ. ඇය ජීවිතේ සියල්ල සමසිතින් දරාගෙන සම සිතින් විදින ආදරණීය හිතක්. ඒ නිසා මගෙන් එයාට වරදක් වෙන්නෙත් නැහැ. ඒ විශ්වාසය වෙන්න ඇති අපි අතර තියෙන්නේ.


හර්ෂණී වීරරත්න



මම රංගනයට එන්නෙත් වේදිකාවෙන්. අවුරුදු විස්සකට කලින්. නාට්‍ය පාසලේ ඉගෙන ගන්න කාලේ. මුලින්ම මම රඟපෑ වේදිකා නාට්‍යය වුණේ කෝච්චිය එනකල් කියන වේදිකා නාට්‍ය. ඊට ඒ වසරේ හොඳම නැගී එන සම්මානය ලැබුණා යොවුන් රාජ්‍ය සම්මානය. ඒ පටන් ගැන්ම ඒ විදිහට ම තවම යනවා. මේ දවස්වල ලොක්කා ලෙඩ වෙලා නාට්‍ය එක්ක රටවටේ යනවා. බල්ලොත් එක්ක බෑ දෙක, චරිතේ හොරු අරන් වගේම සදුදා වැටෙන්නේ සිකුරාදා හා රජා මං වහලා කියන නාට්‍යටත් සම්බන්ධ වෙනවා. මම නම් කාර්‍යබහුල වේදිකාව එක්ක තමයි . ඒත් එක්ක ජීවිතේ සුන්දර විදිහට ගෙවිලා යනවා.



Previous Post Next Post