ජෙහාන් පෙන්වන රතු සෙවනැලි – ලේ සැණකෙළි




ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි පසුගිය කාලයේ වැඩිපුර කතාබහට ලක් වුණේ අරගලය හරහා. මේ නිසාම ඔහුට කලාකටයුතුත් බොහෝ දුරට මගහැරිල තිබුණා. දැන් නැවතත් සුපුරුදු වේදිකාවට ගොඩවෙන්න ජෙහාන් සූදානමින් ඉන්නව. රංගනයෙන් නොවුණත් මේක ඔහුගේම වැඩක්. වැඩි විස්තර ජෙහාන්ගෙන්ම අහල බලමු.

ජෙහාන්, මොකක්ද මේ බ්ලඩ් ෂැඩෝ කියන්නෙ?


බ්ලඩ් ෂැඩෝ කියන්නෙ අවුරුදු හයක හතක කාලයක් පුරා ලියපු මගේම පිටපතක්. මෙතෙක් ටික ටික ලියල ලියල ඒක වර්ධනය කරල දැන් තමයි ප්‍රඩක්ෂන් එක එළියට ගත්තෙ. ඇත්තටම මේක ප්‍රබන්ධයක්. නමුත් ඒ තුළ ආදරය, දේශපාලනය, වෛරය යන මේ හැම දෙයක්ම කැටි වෙලා තියෙනව. නිර්මාණය නරඹන කෙනාට තමන්ගෙ මනෝභාවයත් එක්ක ඉන්න පුළුවන්. මොකද මේක මේ දේමයි කියල නිශ්චිත දෙයක් නැහැ.


මේ ඔබේ පළමු වැනි පිටපතද?


නැහැ. මේ අවුරුදු පහකට හයකට පස්සෙ තමයි මම ඩ්‍රාමා එකක් කරන්නෙ. ඊට කලින් හැපි ජර්නි, මට දැන් පිස්සු, සූකර අසපුව, සුරංගනා කතාවක්, හොරු, වගේ ගොඩක් නිර්මාණ කළා. නමුත් ටික කාලයක් නිර්මාණවලින් ඈත් වෙලා හිටියා. ඒකට හේතුත් තිබුණා.


ඇයි නිර්මාණවලින් ඈත් වුණේ?


නාට්‍ය උළෙලවලට ආවාට ගියාට නාට්‍ය කරල, ඊට පස්සෙ ඒකෙන් තෙම්පරාදු වෙන එකද නාට්‍ය කියන්නෙ කියල මට හිතුනා. එතනදි ඇත්තටම මම කළේ මේ යන විදිහ ටිකක් බලාගෙන ඉන්න එක. එහෙම ඉන්න අතර ගොඩක් දේවල් දකින්න පුළුවන් වුණා.


අලුත් නිර්මාණයට බ්ලඩ් ෂැඩෝ කියල නම යොදන්න හේතුව?


මේකෙන් මම අදහස් කරන්නෙ රතු හෙවනැල්ල. මේ නම යොදන්න හේතුව මම පැහැදිලි කරනවට වඩා හොඳම දේ බලන කෙනා තීරණය කරන එක.


රතු සෙවණැලි ලේ සැණකෙළි, මේක විප්ලවයකට සම්බන්ධ තේමාවක්?


මේ වගේ තේමාවක් දැම්මා කියල මිනිස්සු බය වෙන්නෙ නැහැ. ඒක මේ රටේ හැටි.


කවදාද කොහේදිද මේ නාට්‍ය වේදිකාගත වෙන්නෙ?


මේ මාසයේ 10 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී සවස 3.30 ට සහ 6.30ට මේ නාට්‍ය වේදිකාගත වෙනව.


රට වටා ගෙනියන්න අදහසක් තියෙනවද?


ඔව්, අනිවාර්යයෙන්ම. දැනට අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, රත්නපුර, ඇඹිලිපිටිය යන ප්‍රදේශවලින් ආරාධනා ඇවිත් තියෙනව. ඒ වගේම විශ්ව විද්‍යාලවලත් වේදිකාගත කරන්න පුළුවන්ද කියන එක දැන් කතාකරගෙන යනව.


මෙහි චරිත ගැන කතා කළොත්?


මේ නාට්‍යයේ තියෙන්නෙ චරිත දෙකයි. ඒ අමිල සඳරුවන් සහ නදුනි වනිගසුන්දර. නමුත් වේදිකාව පිටුපස තිස්පහකටත් වඩා වැඩි පිරිසක් ඉන්නව.


මේ තරම් පිරිසක්?


මේ නිර්මාණයේ ඉන්නෙ චරිත දෙකක් වුණාට අපි ඒ චරිත දෙකට සාධාරණයක් කරන්න ඕනනෙ. ඒකට මේ වගේ පිරිසක් ඕන වෙනව.


චරිත දෙකට ඔබ නවකයන් තෝරාගන්නව?


හැමදාම දකින මුහුණු නැතිව මේ නිර්මාණය ඇතුළෙ පොඩි නැවුම් බවක් තියෙන්න ඕනා. ඒ වගේම මට වැඩකරන්න පහසුයි.


පසුගිය කාලයේ රඟපෑමෙන් ඈත්වෙලා හිටියද?


රඟපෑමෙන් ඈත් වෙලා හිටියෙ නැහැ. නමුත් කලාව කරන ඕනෑම කෙනෙක් විශ්වාස කරනව එයාට වෙනම ආකාරයක දේශපාලනය කිරීමක් තියෙනව කියල. මම ඒ දේවල් එක්ක ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නව. මේ නිසා කලාව පැත්ත මගහැරුණා කිව්වොත් හරි.


ජන අරගලයට සම්බන්ධ වුණ නිසා කලාවට වෙලාවක් නැති වුණා?


මෙච්චර හානියක් රටට වෙද්දි සහ හානියක් කරද්දි මට නිෂ්ශබ්දව ඉන්න බැහැ. ඒ වගේම මනුස්සයෙක් හැටියට මට ඒක අනුමත කරන්නත් බැහැ. මොකක් හරි එකක රඟපාල කීයක් හරි හම්බකරගෙන මටත් පුළුවන් පැත්තකට වෙලා ඉන්න. නමුත් මට ඒ තැනට වැටෙන්න බැහැ. ඒක හරි කුහක වැඩක්. එතනදි මට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මේ හැමදේම මිස් වුණා. ඒක එහෙම තමයි.


සංගීත කණ්ඩායමේ වැඩකටයුතු?


මගේ බෑන්ඩ් එක හැපි ජර්නි. ඒකෙ වැඩකටයුතු කරගෙන යනව. මගේ අලුත් නිර්මාණයත් මියුසිකල් ඩ්‍රාමා එකක්. සංගීතය කරන්නෙ අජිත් කුමාරසිරි සහ නාමිණී සංසලා.


අලුත් ආරාධනා ලැබුණද?


ඔව්, ටෙලි නාට්‍යවලට වඩා චිත්‍රපටවලට තමයි මේ දවස්වල කතා කරන්නෙ. අලුත් වැඩේත් එක්ක තමයි ඒක සිද්ධ වුණේ.


අලුත්ම වැඩක් කරන්න යනව කියලත් ආරංචියි?


මේ අවුරුද්දෙ මම චිත්‍රපටයක් කරන්න සූදානමින් ඉන්නව. දැනට ඒ වෙනුවෙන් බොහෝ දේවල් සූදානම් කරල තියෙනව. කොහොම හරි මේ අවුරුද්ද අවසාන වෙනකොට වැඩ ඉවර කරන්න තමයි බලාපොරොත්තුව.


වේදිකාවේ පිබිදීමක් තියෙනවද?


ඇත්තටම එහෙම වෙනසක් තියෙනව. ඉස්සරට වඩා දැන් මිනිස්සු නාට්‍ය බලන්න එනව. වේදිකා නාට්‍ය ගැන අලුත් පරම්පරාවෙත් ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනව.


ඒ නිසාමද ඔබත් නිර්මාණයක් කරන්නෙ?


අනේ නැහැ. වේදිකා නාට්‍යයත් කරන්න ඕනනෙ. ඒක අතහරින්න බැහැ.


පසුගිය කාලෙ සම්බන්ධ වුණ නාට්‍ය නැවත කරනවද?


ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගෙ ධවල භීෂණ නාට්‍යයේ දර්ශනවාරවලට ආරාධනා ලැබිල තියෙනව.


වේදිකා නාට්‍යයක් කරන එකත් ලොකු අභියෝගයක්?


අපේ කොම්පැනි එකක් තියෙනව තියටර් එක්ස් කියල. අමිල්, මම සහ අරුණෝද තමයි මේක කරන්නෙ. මේ කම්පැනිය හරහා පසුගිය කාලයේ ඩ්‍රාමා මැගසින් එකක් කළා. කලාප දහයක් විතර කරද්දි කොරෝනා තත්ත්වයත් එක්ක වැඩ නතර කරන්න සිදු වුණා. අපේ මූලිකම අරමුණ නාට්‍ය. බ්ලඩ් ෂැඩෝ කරන්නෙත් මේ කොම්පැනියෙ ප්‍රොඩක්ෂන් එකක් විදිහට.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post