මම සංගීත අධ්‍යක්ෂවරයෙක් – චතුරංගන ද සිල්වා



ලෝකයේ තිබෙන ලස්සන එහෙමත් නැතිනම් සුන්දර නගරවලට ඔයාල අපි කොච්චර නම් ආසද? ඒ නගරවල හිතේ හැටියට ඇවිද යන්න සිරි නරඹන්න නිතරම උත්සාහ කරනවානේ. අද අපි කතාබහ කරන්න හදන්නෙත් අන්න එහෙම ටවුන් එකක් ගැනයි. මේ ටවුන් එකේ නම තමා සෝලෝ ටවුන්. මේ ටවුන් එකේ විස්තරේ දැනගන්න නම් ලංකාවේ ඔයාලගේ ටවුන් එකේ තියෙන සිනමාහලට හෝ සිනමා සංකීර්ණයට යන්නම වෙනවා. ‘සෝලෝ ටවුන්’ කියන මේ ටවුන් එකේ විස්තරය බලන්න නම් සිනමා ශාලාවකට යන්නම වෙනවා.නුදුරේදීම තිරගතවීමට නියමිත ‘සෝලෝ ටවුන්’ සිනමා සිත්තම චතුරංගන ද සිල්වා සහ සහන් වික්‍රමආරච්චිගේ සම අධ්‍යක්ෂණයක්. උදිත කුරේ සහ සෙව්වන්දි වීරසිංහගේ විධායක නිෂ්පාදනයක්. මෙහි කතාව සහ තිර රචනය චතුරංගන ද සිල්වා, අයේෂා ජයරත්න සහ ප්‍රසාදි අබේගුණරත්නගෙනි. මීවිත අපි මේ ‘සෝලෝ ටවුමේ’ විස්තරේ දැනගන්න චතුරංගන ද සිල්වා සමග කතාබහක නිරත වුණා.


මොකක්ද චතුරංගන මේ ‘සෝලෝ ටවුන්’ කියන්නේ?


සෝලෝ ටවුන් කියන්නේ ලංකාවේ පළමු වතාවට බෝයි බෑන්ඩ් ශානරයට අයත් සිනමා නිර්මාණයක්. එතකොට අපි ගොඩක් වෙලාවට බෝයි බෑන්ඩ් ශානරය කිව්වහම BTS, Backstreet Boys වගේ තරුණයන්ම එකතුවෙලා නිර්මාණය වුණු සංගීත සංස්කෘතියක් තියෙනවානේ. එතකොට ඒ ආකාරයෙන් ලංකාවෙත් ‘සෝලා් ටවුන්’ කියලා සංගීත කණ්ඩායමක් එළි දක්වලා තියෙනවා. අන්න ඒ සංගීත කණ්ඩායම වටා නිර්මාණය වුණු සිනමා නිර්මාණයක් තමයි ‘සෝලෝ ටවුන්’ කියන්නේ.


මේක එතකොට සත්‍ය කතාවක්ද?


නැහැ. එහෙම සත්‍ය කතාවක් නෙමෙයි මේක. ‘සෝලෝ ටවුන්’ හා ඔවුන්ගේ ජනප්‍රියත්වය වගේම සාමාජිකයන් පස්දෙනාගේ යාළු මිත්‍රකම් ගැන තමයි කතාබහ වෙන්නේ.


මෙහි තිරපිටපත නිර්මාණය වුණේ කොහොමද?


මෙහි කතා සංකල්පය මගේ. හැබැයි තිර රචනයේදී සහ දෙබස්වලදී අයේෂා ජයරත්න සහ මගේ බිරිඳ ප්‍රසාදි අබේගුණරත්න එකතුවෙනවා.


මේ සඳහා රංගනයෙන් දායක වෙන පිරිසත් මතක් කළොත්?


රවීන් කණිෂ්ක, ෂෙනායා වැන්හෝෆ්, මිචෙල් දිල්හාරා, සේමිණී ඉද්දමල්ගොඩ, සුජීව ප්‍රියලාල්, මහින්ද විමලසිරි, අකලංක ප්‍රභාෂ්වර, චම්පා දිසානායක, නවරත්න දේවගේ, සංජනා දිසානායක ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. සංගීත ශානරයට අයත් වෙන හින්දා සංගීත ක්ෂේත්‍රයේ සිටින කිහිපදෙනෙකුත් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. එතකොට මිහිඳු ආරියරත්න, ෆැලන් ඇන්ඩි්‍රයා වගේම නර්තනයෙන් සුපුන් අබේසිංහත් එකතු වෙනවා. ෆැලන් ඇයගේ නමින්ම රංගනයේ නිරත වෙනවා. මිහිඳු මේ සංගීත කණ්ඩායමේ කළමනාකරු හැටියට රංගනයෙන් දායක වෙනවා.


‘සෝලෝ ටවුන්’ සිනමා නිර්මාණයට ගීත රාශියක් තිබෙනවා කියන්නේ ඇත්තද?


ඔව්. ඇත්තටම මම වෘත්තීය වශයෙන් සංගීත අධ්‍යක්ෂවරයෙක්. මම දැනට අවුරුදු විස්සකට කලින් තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඉතින් ඒකත් එක්ක අපිට ඕනෑ වුණා සංගීත කණ්ඩායමක් වටා නිර්මාණය වුණු චිත්‍රපටයක් හින්දම ගීත අටක් විතර නිර්මාණය කළා.


රූගත කිරීම් එහෙම සිදුකළේ කොහේද?


මෙහි රූගත කිරීම් සියල්ලම වගේ සිදුකළේ කොළඹ හා අවට ප්‍රදේශවල. සුජීව ප්‍රියලාල් සම්බන්ධ වුණු ග්‍රේෂන් කියන චරිතයේ දර්ශන මිරිස්ස ප්‍රදේශයේ රූගත කිරීම් සිදුකළේ.


‘සෝලෝ ටවුන්’ නිර්මාණය කිරීමේදී මුහුණ දුන් අභියෝග එහෙම මොනවාද?


මේ සිනමා නිර්මාණයේ සියලු අංශයන්හි දායක වුණු පිරිස් ගොඩක් වෙලාවට ආධුනිකයෝ. මම ඒකට කැමතියි. අපේ නිෂ්පාදන කණ්ඩායමේ අත්දැකීම් බහුල චරිතයකට හිටියේ වේෂ නිරූපණ ශිල්පි හර්ෂ මංජුල විතරයි. එතැනදී අත්දැකීම් එකතු කරගත්ත පිරිසක් හැටියට අභියෝග කිහිපයකට අපි මුහුණදුන්නා.


‘සෝලෝ ටවුන්’ තාරුණ්‍යය ඉලක්ක කරගෙන හදපු නිර්මාණයක්ද?


දැනට අපේ නිකුත්වෙලා තිබෙන ගීත සහ නළු නිළියන් ගැන හිතනකොට කෙනෙකුට එහෙම හිතන්න තියෙන ඉඩකඩ වැඩියි. මුළු නිර්මාණයම නැරඹුවහම කෙනෙකුට තේරෙයි අපි සමාජීය වශයෙන් යම්කිසි ආමන්ත්‍රණයක් කරන්න උත්සාහ කරලා තිබෙනවා කියලා. මෙහි ප්‍රධාන කතා ධාරාවට අමතරව තවත් කතාවක් මුළු චිත්‍රපටය පුරාම ගලාගෙන යනවා. බැලූ බැල්මට තාරුණ්‍යයට යන චිත්‍රපටයක් හැටියට පෙනුණත් මේක ඇතුළේ අපි තව පැති කිහිපයක් පෙන්වන්න උත්සාහ කරනවා.


ඇත්තටම චතුරංගන කියන්නේ කවුද?


මම සංගීත අධ්‍යක්ෂවරයෙක්. භාචි සුසාන් සහ අශාන්ති ද අල්විස් ගායනා කරන ‘හිත හිරිවැටුණාදෝ’ ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයා මම. එවකට සනිධප සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා වශයෙන් කටයුතු කළ ප්‍රසංග තිසේරා ගායනා කරන ‘නීල නුවන් ඈගේ සහ දිව්‍යාංගනාවි’ කියන ගීත දෙකේත් සංගීතය නිර්මාණය කළේ මම. ඊට අමතරව සංගීත් විජේසූරියගේ ‘සැවැන්දරී’ කියන ගීත එකතුවට සංගීතය සපයන්නත් මට අවස්ථාව ලැබුණා. ඔය අතරේ භාතිය සන්තුෂ්ගේ ඉඳලා ලංකාවේ ගොඩක් ප්‍රවීණයන් සමග වැඩ කරලා තිබෙනවා. ශෂිකා නිසංසලා ගායනා කරන ‘සඳ රේණු ඇති රෑක’ ගීතයත් සංගීතය නිර්මාණය කළේ මම.


සංගීත අධ්‍යක්ෂණයට යොමු වෙලා කොච්චර කාලයක් වෙනවාද?


පාසලෙන් ඉවත් වුණු කාලයේ ඉඳලා සංගීත ක්ෂේත්‍රයේ තමයි වැඩ කළේ. ඒ කියන්නේ දැන් අවුරුදු විස්සකට වැඩියි. මමයි මගේ අනෙක් සගයා වන සම්පත් ප්‍රනාන්දු පුල්ලේ තමයි එකට වැඩ කරන්නේ.


‘සෝලෝ ටවුන්’ තිරගත කරන්නේ කවදාද?


දැනට නොවැම්බර් මාසයේ මැද වෙනකොට තමයි තිරගත කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ලංකාවේ චිත්‍රපට තිරගත කිරීමේ කාර්යයේදී හරියටම කාලවකවානුවක් මාධ්‍යයට ප්‍රකාශ කරන්න බැහැ. මොකද අපිට මේ වසරේ මේ මාසයේ තිරගත කරන්නත් අවස්ථාවක් තිබුණා. නමුත් අපේ වැඩ කටයුතු වගේම ප්‍රචාරණ වැඩකටයුතු හින්දා පොඩ්ඩක් පස්සට දාගත්තා.


‘සෝලෝ ටවුන්’ සංගීත කණ්ඩායමේ ශිල්පීනුත් මේ චිත්‍රපටයේ රඟපානවද?


ඔව් රඟපානවා. ඒ බෑන්ඩ් එකේ ඉන්න හතරදෙනා තමයි රවීන් කණිෂ්කත් එක්ක චිත්‍රපටයේ බෑන්ඩ් එකේ පස්දෙනෙකු හැටියට රඟපාන්නේ.


සංගීත අධ්‍යක්ෂවරයෙක් හින්ද ද සංගීතය පැත්තෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්න හිතුවේ?


ඒක ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්. අපිට ඇත්තටම අවශ්‍යතාවය තිබුණේ සංගීත කණ්ඩායමට හොඳ ප්‍රචාරණයක් ලබාදෙන්න තමයි චිත්‍රපටය කරන්න හිතුවේ. නමුත් පසුව මෙහි තිර රචනය සිදුකරගෙන යද්දි රවීන් කණිෂ්ක මගෙත් එක්ක තියෙන සම්බන්ධතාවයක් එක්ක තමයි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. නැතිනම් අපි ගොඩක් වෙලාවට මේක බෑන්ඩ් එකක් විදිහට යන චිත්‍රපටයක් විදිහටයි යන්න ගියේ. පසුව තිර රචනයත් සමග ඒ සියල්ල වෙනස් වෙනවා.


මේ වෙනකොට සංගීත අධ්‍යක්ෂණ කාර්යයෙන් ඈත් වෙලාද?


ඇත්තම කිව්වොත් චිත්‍රපට හා සම්බන්ධව සංගීතය කරන්න වැඩිපුර ආශාවක් ඇවිත් තියෙනවා. ජූලි මාසයේදී තිරගත කිරීම ආරම්භ කරන මන්දාරා චිත්‍රපටයේ ගීත දෙකක් නිර්මාණය කරන්නත් මට අවස්ථාව උදාවුණා. මීට කලිනුත් මම ගීත කිහිපයක් කරලා තිබෙනවා.


නමුත් මට දැන් වැඩිපුර උනන්දුවක් තිබෙනවා සිනමා නිර්මාණවල සංගීතයට දායක වෙන්න.


මීට කලින් කළ සිනමා නිර්මාණයේ සංගීත වැඩකටයුතු ගැන කතා කළොත්?


පැණි මකුළුවෝ සිනමා නිර්මාණයේ අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන ‘පැණි මකුළුවෝ’ ගීතයේ සංගීත වැඩකටයුතු සිදුකළෙත් මම.


ඔබ මෙතෙක් ආ ගමන ගැන ආපසු හැරී බැලුවොත්?


මම ඇත්තටම කැමති කණ්ඩායමක් විදිහට වැඩ කරන්න. දැනටත් අපි ‘වර්ණ’ කියලා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. මට සංගීත කණ්ඩායම්වල ආභාසය ගොඩක්ම ආවේ, මම මුලින්ම වැඩ කළේ හෙක්ටර් ඩයස් සහ නලින් පෙරේරාගේ මේරියන්ස් සංගීත කණ්ඩායම සමග. එතැනදි නලින් අයියාගේ ‘සඳළුතලේ නිල්මිණි දල්වා’ කියන ගීතය මුලින්ම කරන්න අවස්ථාව හම්බවෙනවා. සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට මේරියන්ස්ලාගේ ‘ඇහැට කූල්’ ගීතය එහෙම කරන්න හම්බවුණා. ලංකාවේ එකතුවෙලා වැඩ කරන්න තියෙන අවස්ථා හරි අඩුයි. ගොඩක් දෙනෙක් තනියම තමයි වැඩ කරන්න බලන්නේ.


‘සෝලෝ ටවුන්’ සංගීත අධ්‍යක්ෂවරයාත් ඔබමද?


ඔව් මමම තමයි. මෙහි තේමා ගීතය ගායනා කරන්නේ කාංචනා අනුරාධි එක්ක සුපුන් පෙරේරා. ඊට පස්සේ සරිත් සුරිත්, භාචි සුසාන්, මිහිඳු ආරියරත්න, ෆැලන් ඇන්ඩි්‍රයා, රවීන් කණිෂ්ක ගීත ගායනා කරනවා. ඔය අතරේ බෑන්ඩ් එකක් හැටියට ‘සෝලෝ ටවුන්’ බෑන්ඩ් එකත් ගීත දෙකක් ගායනා කරනවා.


සංගීත ශානරයේ සිනමා නිර්මාණයක් හින්දා ‘සෝලෝ ටවුන්’ ලංකාවේ ප්‍රේක්ෂකයෝ මොන විදිහට භාරගනීවිද?


තේමාවක් හැටියට ගත්තහම ‘සෝලෝ ටවුන්’ චිත්‍රපටයේ ලොකු වෙනසක් තියෙනවා. මේක ඇතුළේ ආදර කතා දෙකක් ගලාගෙන යනවා. ඊට අමතරව සහෝදරත්වය, එකමුතුකම සමග ඇතිවන බැඳීම් සහ ප්‍රශ්න කියන දේවල් මෙහිදී කතාබහ වෙනවා. සංගීතය කියන විෂය මිනිස්සුන්ව එකතු කරන විෂයක්නේ. සංගීතමය චිත්‍රපටයක් හින්දම මේවටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වේවි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.


සංගීත අංශයෙන් ඉදිරියට යන්න හීනයක් තිබුණේ නැතිද?


මමයි, සම්පත් ප්‍රනාන්දු පුල්ලේ සහ ශිවන්ත ප්‍රනාන්දු එක්ක එකතුවෙලා සංගීත කණ්ඩායමක් කරන්න අදහසක් තිබුණා. නමුත් ශිවන්තට මේරියන්ස් සංගීත කණ්ඩායම හමුවීම වගේම මායි සම්පතුයි ගීත නිර්මාණය කරන්න පෙළඹීමත් එක්ක ඒ අදහස යටගියා.


රොෂාන් ප්‍රනාන්දු වගේම සංගීත් විජේසූරිය සමගත් වැඩ කළා කියන්නේ ඇත්තද?


ඔව්. සංගීත් අයියාගේ සැවැන්දරී, සුහදිනියේ ගීත එකතු දෙකේම මියුසික් කළේ මම.


දිනේෂ් විතාන



Previous Post Next Post