අමන්ද්‍යාගේ සිලෝන් සංචාරේ




හැමෝම දන්න රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය, අමන්ද්‍යා උත්පලී වේදිකාව, ටෙලි නාට්‍ය වගේම සිනමාවත් ජයගත් නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක්. රැජිනට ඇන්දා ගීතයත් සමග ගායනයට ඇති මනා හැකියාවත් ඇයගේ රසිකයන්ට දැකගන්නට ලැබුණා. අමන්ද්‍යා මේ දිනවල ඇයගේ දෙවැනි ප්‍රසංගයට ලෑස්ති වෙනවා. ඒක නම්කරල තියෙන්නෙ ‘සිලෝන් සංචාරේ’ නමින්. මේ කාර්යබහුලත්වය අතර වුණත් ඇය මීවිත සමග කතාබහකට කාලය වෙන්කර ගත්තා.


අමන්ද්‍යා, මොකක්ද මේ සිලෝන් සංචාරේ?


මේ වතාවෙ රැජිනක් සිලෝන් දේශයට ගේන්න තමයි හදන්නෙ. මේ කියන්නෙ මගේ රැජිනට ඇන්දා ප්‍රසංගය ගැන.


රැජිනට ඇන්ඳා ගීතයත් එක්ක මේ අවුරුද්දෙ පෙබරවාරි 24 වැනිදා මුල්ම ප්‍රසංගය පැවැත්වුවා. එහි දෙවැනි ප්‍රසංගය ලබන මාසයේ 19 වැනිදා බොරැල්ල තැප්‍රොබේන් ශාලාවේදි ප.ව. 7.30ට පවත්වන්න කටයුතු සූදානම් කරල තියෙනවා. එතනදි අමුතුම වැඩ ටිකක් කරන්න තමයි සූදානම.


සිලෝන් සංචාරේ නමින් කරන්න හිතුවෙ ඇයි?


පසුගිය වතාවෙ අපි කොන්සර්ට් එක කළේ වෙනස්ම ආරකට. ඒ වගේම වෙනස් අත්දැකීමක් දෙන්න අදහස් කළා දෙවැනි ප්‍රසංගයෙනුත්. ඒ අනුවයි අපි ප්‍රසංගය මේ විදිහට නම් කළේ.


මෙවර මොන වගේ වෙනසක්ද වෙන්නෙ?


වෙනස්කම් ගොඩක් තියෙනව. පූරක වගේම ගීත කිහිපයක්ම වෙනස් වෙනව. ඒවාට කරන ඉදිරිපත්කිරීම් වෙනස් වෙනව. ගිය වර ප්‍රසංගයේදී අලුත් ගීත තුනක් එළිදැක්වුණා. මෙවරත් අලුත් ගීත දෙකක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.


ගිය වර රසිකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණෙ?


ගිය වර පැවැත්වුණේ මගේ පළමුවැනි ප්‍රසංගය. ඒ වෙලාවෙ මම කිසිම දෙයක් මහා පරිමාණයෙන් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් එදා මම දැක්කෙ එකම හිස් ආසනයක්වත් නැතිව රසිකයන්ගෙන් පිරී ඉතිරීගිය හෝල් එකක්. ඒ වෙනකොට මගේ එක ගීතයක් විතරයි ජනප්‍රිය වෙලා තිබුණෙ. ඒ එකම ගීතය නිසා මං ගැන විශ්වාසය තියල මගේ ප්‍රසංගයක් බලන්න මේ තරම් පිරිසක් ඉන්නව කියල දැකපු වෙලාවෙ මට දැනුණෙ ලොකු සතුටක්. හිතට දැනුණෙ අමුතු ශක්තියක්. ඒ ශක්තියත් එක්ක තමයි දෙවැනි ප්‍රසංගය සංවිධානය වෙන්නෙ. පළමු ප්‍රසංගයට එන්න බැරි වුණ අයගෙනුත් බොහෝ ඉල්ලීම් තියෙනව දෙවැනි ප්‍රසංගයක් පවත්වන්න කියල.


මුහුණ දුන්න අභියෝග මොන වගේද?


මුල් ප්‍රසංගයේදි මගේ තාත්තා ගිරිරාජ් කෞෂල්‍ය තමයි සම්පූර්ණ තිර පිටපත අධ්‍යක්‍ෂණය කරන්න හිටියෙ. නමුත් අවාසනාවට ඒ වන විට ඔහු නැවතත් අසනීප වෙලා රෝහල්ගතවයි හිටියෙ. ඒ සිද්ධියත් එක්ක මට තාත්තගෙන් ලැබෙන්න තිබුණ දැනුම, සහයෝගය, අත්දැකීම වගේ හැමදෙයක්ම සම්පූර්ණයෙන් නැතිවෙලා ගියා. නමුත් මම ඒ වෙලාවෙ හිතුවෙ මේ සිද්ධිය නිසා ප්‍රසංගය නවත්වන එක නෙමෙයි මගේ යුතුකම කියල. මොකද තාත්තත් ආසාවෙන් හිටියෙ දවසක මම ගායන ශිල්පිනියක් වෙලා තනියම ඉදිරියට යනව දකින්න. ඒකත් එක්ක අභියෝග සියල්ලටම මුහුණ දෙමින් ප්‍රසංගය සාර්ථකව පැවැත්වුවා.


මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීම පහසු දෙයක් නෙමෙයි?


ඔව්, මේ වන විට අපේ රට තුළ බොහොමයක් ප්‍රසංග කෙරෙමින් පවතිනව. මට තියෙන එකම විශ්වාසය තමයි, මෑත කාලයේ තියෙන ප්‍රසංගවලට වඩා වෙනස්ම ආරක එකක් තමයි සිලෝන් සංචාරේ ප්‍රසංගය. රැජිනට ඇන්දා ඇතුළුව නාට්‍යමය ස්වරූපී ගීත, බටහිර ආරේ ගීත, හින්දි තනු නාදමාලා ආශ්‍රිත ගීත, බෙර සංධ්වනි වැනි හැම දෙයකම එකතුවක් ලෙස තමයි මෙහිදී ප්‍රේක්‍ෂකයාට රසවිඳින්න ලැබෙන්නෙ.


ඔබේ ගුරුවරයෙක් වන සහන් රංවල එක තැනකදි කියනව අමන්ද්‍යාගෙන් මටත් ඉගෙනගන්න දෙයක් තියෙනව කියල?


මගේ පළමුවැනි ප්‍රසංගය බලල ඉවරවුණාට පස්සෙ සහන් සර් මුහුණු පොතේ එහෙම සටහනක් දාල තිබුණා. එදා මට හිතුනෙ එක ගෝලයෙක් විදිහට ගුරුවරයකුගෙන් අහන්න පුළුවන් හොඳම ප්‍රතිචාරයක් කියල. ඇත්තටම කිව්වොත් මගේ ප්‍රසංගය පිටිපස්සෙ ඉඳගෙන සහන් සර් ලොකු මෙහෙවරක් කළා. හැමදේම හොයල බැලුවා, ඔහුගේ අත්දැකීම්වලින් මට දෙන්න පුළුවන් උපරිම අදහස් දුන්නා.


කොහොමද මේ දවස්වල වැඩකටයුතු?


සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනව. ඊට අමතරව අලුත් සිනමාපටයක රූගතකිරීම් වලට සහභාගි වෙන්න සූදානමින් ඉන්නව. පසුගිය කාලෙ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. තවම විකාශය කෙරුණෙ නැහැ. ඉදිරියේදී රංවල බළකායත් එක්ක වගේම පුද්ගලිකවත් සංචාර කිහිපයකට සහභාගි වෙන්න නියමිතව තියෙනව.


රංවල බළකායෙන් ඉවත් වෙලා නැහැ තවම?


රංවල බළකායෙන් ඈත්වීමක් ගැන හිතල නැහැ ජීවිතේ කවදාවත්. ඒකට වෙන් වුණ වෙනම ජීවිතයක් තියෙනව. අවුරුදු කාලෙ නම් කාර්යබහුලත්වයත් එක්ක ඒ වැඩවලින් ටිකක් ඈත් වෙන්න සිද්ධ වුණා. මොකද මම වෙනම වැඩසටහන්වලට සහභාගි වුණ නිසා. දැන් දෙපැත්තම බැලන්ස් කරගෙන වැඩ ටික කරගෙන යනව.


රංවල බළකාය ඔබට රංවල පවුල?


ඔව්, රංවල බළකාය කිව්වට මම කියන්නෙ රංවල පවුල කියල. ඒක එතරම්ම සුන්දර තැනක්. මම හත ශ්‍රේණියේ ඉගෙනගන්න කාලෙ තමයි මුලින්ම මෙතනට සම්බන්ධ වෙන්නෙ. දැන් මම වයසයි. නමුත් තවමත් ඒකත් එක්ක එකතුවෙලා ඉන්න එකම රහස එතන ඉන්න මිනිස්සු. හරිම දක්‍ෂයො ටිකක්. දක්‍ෂතාව පමණක්ම නෙමෙයි මනුස්සකම දන්න හොඳ මිනිස්සු ටිකක් ඉන්නව. ඒකට මූලිකම හේතුව වෙන්න සහන් රන්වල ගුරුතුමා කියල මම හිතනව. ඒ වගේම එතුමාගේ බිරිඳ මෙලනි රන්වල මහත්මියවත් ආදරෙන් මතක්කරන්න ඕන.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post