කවියක් වී තොල් පෙති මත මුමුණන්න -අසන්ත පීරිස්




පුරුදු - නුපුරුදු හඬකින් ඇහෙද්දී ඒ මියුරු සර මවාලූ ලස්සන ඇස් ඇති කඩවසම් ඉලන්දාරියා කවුදැයි සොයන්නට වෙහෙසුණු රසිකාගාරයක් සමාජ මාධ්‍ය තුළ නිමැවෙන්නට ගත වුණේ වඩා දිගු නොවූ කාලයකි.ඒ අසන්ත අසංගගේ ගීයක් ගැයූ ඒ අසන්ත කවුදැයි සොයන විට ඒ අසන්ත අන් කවරකුත් නොවී අසංගගේ පුත්‍රයාම වූයේය.


අසන්ත පීරිස් භාවනාමය කටහඬත්, අල්පමාත්‍රික අඩවන් බවත් දරාගත් දෑසක් සහ ළයාන්විත හිනාවක් හිමි තරුණ ගායකයා වඩාත්ම ගීතයට පෙම් කරන රසික හදවත්හි පැල් බැඳගත්තේ සැබැවින්ම 

කවියක් වී තොල් පෙති මත මුමුණන්න


හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න

මනරම් ගීතය ඔස්සේය.


ඉතින් ඒ තරුණයා අප වෙත කැඳවා ගන්නට මට සිත් වූයේ අහම්බයෙන් එක්තරා සම්මාන උළෙලකදී මට මුණගැසුණු තත්ත්පරයේදීය.


කවියක් වී තොල් පෙති මම මුමුණන්න... ගයන්න හිතුණේ ඇයි එහෙම?


ඒක ගයන්න හිතුණේ මගේ තාත්තාගේ ප්‍රසංගයක් තිබුණා මැයි 11 නෙළුම් පොකුණේදී. ඒ ප්‍රසංගයට පූර්ව ප්‍රචාරණයක් ගන්න තාත්තාගේ සින්දු දෙක තුනක පද කිහිපයක් අපි ගැයුවා. අන්න එහෙම ගයපු එක ගීයක් තමයි කවියක් වී තොල් පෙති මත මුමුණන්න. ඇත්තටම ප්‍රසංගයෙන් පස්සේ හිතපු නැති විදිහට කවියක් වී තොල් පෙති මත මුමුණන්න වෛරල් වෙන්න ගත්තා.


කොහොමද මොනවද ඒ ලැබුණු ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රතිචාර?


ඒ සින්දුවම ගයන්න කියලා හුඟාක් ඉල්ලීම් ඇවිත් තිබුණා. හුඟාක් අය සමාජ මධ්‍යයේ විවිධ ශානර ඔස්සේ ඒ ගීතය share කරලා තිබුණා. ඇත්තටම ඒ ප්‍රතිචාර නිසාම තමයි මම ඒ ගීතය සම්පූර්ණයෙන්ම ගැයුවේ.


අසන්ත අසංග ප්‍රියමන්ත පීරිස්ගේ ගීත හැරුණුකොට ඔබ ඔබේම ගීතයක් ගැයුවා කාලයකට ඉස්සර?


ඔව්. ආලයේ සීමා මම ගැයුවා 2023 දී. ඒ ගීතයේ පද රචනය, සංගීතය, ගායනය, නිෂ්පාදනය, ඔක්කොම මගේ. උසස් පෙළ විභාගය හමාර වුණාට පස්සේ මම මගේම ගීත තුනක් නිර්මාණය කළා, තාත්තා අඳුනන ප්‍රවීණයන් වන මහින්ද බණ්ඩාර, ශාන්ත ජයලත් තිසේරා වැනි අයගේ සහායෙන්. තව නොබෝ දිනකින් එක දවසක් කියලා මගේම ගීතයකුත් එළිදක්වන්න මේ දවස්වල ලෑස්ති වෙනවා.


අප දකින අසංග ප්‍රියමන්ත පීරිස් කියන ගායකයායි ඔබ දකින ආදරණීය තාත්තයි අතර වෙනස ඔබට දැනෙන විදිහක් තියෙනවද?


තාත්තා මාධ්‍ය සාකච්ඡාවලදී රෑපවාහිනි වැඩසටහන්වලදි හරි සංකීර්ණ පුද්ගලයෙක් විදිහට කතා කළාට ඇත්තටම මගේ තාත්තා කියන්නේ හරිම ''Funny'' චරිතයක්. නිතරම විහිළු තහළු කරන, සන්තෝෂයෙන් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. එයා හරි හොඳයි. හරි ආදරණීයයි.


ඔබ - ඔබගේ අක්කා සහ මල්ලි තුන්දෙනාට තාත්තා එක්ක තියෙන්නේ කොහොම බැඳීමක්ද?


මමයි මල්ලියි දෙන්නනම් මුලින්ම හැම දෙයක්ම කියන්නේ තාත්තට නෙවෙයි අම්මාට. මොනවා හරි දෙයක් අපට වුවමනා වුණත් අම්මා හරහා තමයි අපි දෙන්නා තාත්තට කියවන්නේ. ඒත් අක්කා නම් එහෙම නෑ. එයා තාත්තා එක්ක ඕනෑ දෙයක් කතා කරනවා. 


දරුවෙකුට තාත්තා කෙනෙක් එක්ක කතා කරන්න විවිධ මාතෘකා තියෙන්න පුළුවන්. ඒ ඇතැම් මාතෘකා අතිශය සංවේදී හැඟීම්බර පෞද්ගලික මාතෘකා වෙන්න පුළුවන්. ඔයාගේ තාත්තා අන්න ඒ තැන්වලදි දක්වන සංවේදීතාව ඔයාට දැනෙන්නෙ කොහොමද?


ඔව්. තාත්තා එක්ක ඕනෑම සංවේදී කාරණාවක් පෞද්ගලික දෙයක් කතා කරන්න පුළුවන්. හැබැයි එයාට කේන්ති යන වෙලාවලුත් තියෙනවා. ඒ වෙලාවට අපි ටිකක් නිශ්ශබ්ද වුණාම හරි.


ඔබේ පියා ගැයූ ගී අතරින් ඔබේ අංක එකේ දෙකේ තුනේ ප්‍රියතාවන් මොනවාද?


මම හිතන්නේ තාත්තා ගැයූ ගී 250 – 300ක් විතර ඇති. ඒ ගී අතරින් මම හුඟාක් කැමතියි තාත්තා මුල්ම කාලේ ගැයූ ගී වලට. සෙනෙහසකට අරුතක් පුරවන්නට, සඳ දිය දෙවුන සේ, කවියක් වී ගී වලට මම හරි ආසයි.


රසික ප්‍රතිචාරවලට තාත්තා ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?


තාත්තා හරි නිරහංකාර කෙනෙක්. කොයි තරාතිරමක කෙනෙක් ඇවිත් කතා කළත් තාත්තා හිනාවෙලා ගෞරවයෙන් කතා කරනවා. තාත්තා හරි ආදරෙයි මිනිස්සුන්ට. එයා හරි මිත්‍රශීලී කෙනෙක්. බොරු ලොකුකම් නෑ.


කොහොමද ගෙදරදි තාත්තා දරුවෝ කට්ටිය එකතුවෙලා සින්දු කියනවද?


අනේ නෑ. ගෙදරදි නම් අපි එහෙම එකතුවෙලා සින්දු කියන්නෙම නෑ. ටික කාලෙකට කලින් අපි රාග පුහුණුවීම් කළා ගෙදරදි. විනෝද ගමනක් ගියොත් අපි සින්දු කියනවා. තනි තනියෙන් නම් අපි ගෙදරදි සින්දු කියනවා. මමත් කාමරේට වෙලා ගිටාර් එක ගහ ගහා සින්දු කියන වෙලාවල් තියෙනවා.


කැමතිද ඔබ ගායකයෙක් විදිහට මේ ක්ෂේත්‍රයේම දුර ගමනක් යන්න... ඒකද හීනය?


මම ඇත්තටම කැමතියි. තාත්තාත් කැමතියි. අක්කා නම් කැමති නර්තන අංශයෙන් ඉදිරියට යන්න.


කොහොමද ඔබට ප්‍රේක්ෂක ප්‍රතිචාර දැනෙන්නෙ?


කවියක් වී තොල් පෙති මත මුමුණන්න ගීතය ගැයූ පසු එකපාරටම ලැබුණු ප්‍රතිචාර ගැන මට පුදුම හිතුණා. හරි සතුටක් දැනෙනවා. ඔයාගේ සින්දුවලට කැමතියි කියලා සමහර අය ඇවිත් කියනවා. හිනාව ලස්සනයි, ඇස් දෙක ලස්සනයි. ඔය වගේ ප්‍රතිචාර දැක්කම හරි සතුටුයි. මම පුළුවන් විදිහට මගේ රසිකයන්ට හරි ගෞරවයෙන් ප්‍රතිචාර දක්වනවා. කාර්යබහුලත්වය තුළ මඟහැරෙන තැන් ඇති. ඒත් හදවතින්ම මගේ රසිකයන්ට මම ආදරෙයි. හුඟාක් වෙලාවට Thank you කියන ප්‍රතිචාරය මම දාන්නෙ.


ඇස් දෙක ලස්සනයි, හිනාව ලස්සනයි කියද්දි ඔබවත් පරිස්සම් කරගෙන ප්‍රේක්ෂකාගාරයත් පරිස්සම් කරෙගන ලස්සන ගමනක් යන්න ඕනෑ කියන වගකීම ඔබ කොහොමද ඔබේ දෙවුර දරාගන්නෙ?


එතැනදි තාත්තා මට ලොකු සහයෝගයක් දෙනවා. මේ දේවල් කරන්න එපා, ඕන්නැති වැඩ එහෙම කරන්න එපා, ඔයා දිහා මිනිස්සු බලාගෙන ඉන්නවා, ඔයා හැසිරෙන්න ඕනෑ මෙහෙමයි, තාත්තා හැමදේම කියලා දෙනවා මට. අම්මාත් එහෙමයි. මම මගේ විනයත් රුකගෙන ඉදිරියට යන්න ඕනෑ කියන එක අම්මා තාත්තා කියද්දි මම ඒක අහනවා.


කලා ක්ෂේත්‍රය කියන්නෙ රහ තැනක් කියලා ඔබ හිතනවද? ඔබට දැනෙනවද?


මට තාම කැපිලි කෙටිලි කුහකකම් දැනිලා නෑ. ඒවා ඇති, නැත්තෙ නෑ. නමුත් මම හිතන්නෙ හැකියාවත් එක්ක තමන් ශක්තිමත්ව හිටියොත් මේ ක්ෂේත්‍රය තුළ ලස්සන ගමනක් යන්නත් පුළුවන්. එහෙම යන අය ඉන්නවනේ. එහෙම ගමනක් යන්න තමා හීන දකින්නෙ. හීන ගොඩක් තියෙනවා. අම්මා මට උපදෙස් දෙන්නෙ මම ලබා ගත්ත උපාධියෙන් ප්‍රයෝජනයක් වෙන විදිහෙ රුකියාවකුත් කරමින් මේ ක්ෂේත්‍රයේ රුඳී ඉන්න කියලා.  මම උත්සාහ කරනවා සියල්ලෙන්ම ප්‍රයෝජනයක් අරගෙන කලාවත් එක්කත් ලස්සන ගමනක් යන්න.


• සංජීවිකා සමරතුංග



Previous Post Next Post