මන්දාරා උපේක්ෂාවෙන් ප්‍රශ්න දිහා බලන කෙනෙක්- චුලක්ෂි රණතුංග




රිදී තිරය තුළ තම අනන්‍යතාව ගොඩනඟාගත් ඇය තරු අතර සුදිලෙන තාරකාවකි. සුන්දර රූපකායෙන්ද දක්ෂ රංගන ප්‍රතිභාවෙන්ද රසික හදගැස්මට සමීප වූ ඇය චුලක්ෂි රණතුංගය. අද අප සමඟ මේ සො¾දුරු කතා බහට එක්වන්නේ ඇයයි.  


මේ දවස්වල කොහොමද ඔබට?


මන්දාරා චිත්‍රපටයේ උණුසුමත් සමඟ මේ දිනවල කාලය ගත වෙනවා.


 ප්‍රේක්‍ෂකයන් නොඉවසිල්ලෙන් බලා සිටින මන්දාරා චිත්‍රපටය  ගැන කතා කළොත්?


මන්දාරා ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. මෙය රූපගත කරලා ටික කාලයක් වෙනවා. ඇත්තටම ඔහු හදිස්සියට චිත්‍රපට කරන කෙනෙක් නෙවෙයි. යම් කාලයක් අරගෙන ගුණාත්මක නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතට පත්කරන්න තමයි ඔහු නිතරම උත්සහ කරන්නෙ. මන්දාරා ගැන කතා කළොත් මේක පවුල සහ බැඳීම් ගැන කතා කරන වෙනස් තේමාවක් ඔස්සේ දිවෙන ලස්සන චිත්‍රපටයක්. මම හිතනවා මේක බොහෝ දෙනකුට සංවේදී කතාවක් වෙයි කියලා.


 මන්දාරා චිත්‍රපටයේ ඔබ නිරූපණය කරන චරිතය ගැන කතා කළොත්?


මගේ චරිතය තමයි මන්දාරා. මන්දාරා කියන්නේ   උඩරට රදළ ධනවත් පවුලකට අයත් සුන්දර තරුණියක්. ඇය රදළ පවුලකට අයත් තරුණියක් වුවත් ඇය ජීවිතය දෙස බලන්නේ ඉතා සරලව. මන්දාරාට ඇඟේ ප්‍රේමය හමුවන්නේ අහඹු සිදුවීමක් විධියට. නමුත් උඩරට රදළ මාන්නයෙන් හිස උදුම්මවාගෙන සිටින ඇගේ  මව ඔවුන්ගේ ප්‍රේමයට තදින්ම විරුද්ධ වෙනවා. මන්දාරා මේ විරෝධය නොතකා තමන්ගේ ප්‍රේමවන්තයා සමඟ විවාහ වෙනවා. නමුත් මොවුන්ගේ විවාහය කෙටි කාලයකදී වේදනාත්මක අත්දැකීම් බොහෝමයක් මධ්‍යයේ දෙදරා යනවා. එතැන් සිට මන්දාරාට දික්කසාද වූ  කාන්තාවක් විධියට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් ඇයට මුහුණ දීමට සිදුවන සියලු අභියෝග සහ වේදනාවන් දෙස උපේක්ෂාවෙන් බලන චරිතයක් විධියට මන්දාරාගේ චරිතය ගොඩනඟලා තිබෙනවා.


 මේ දවස්වල සම්බන්ධ වෙන අලුත් නිර්මාණ ගැන කතා කළොත්?


ඇත්තටම මේ දවස්වල අලුත් නිර්මාණ කීපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. පසුගියදා ටිකිරි කුමරුගේ මුල්ලේරියා හටන චිත්‍රපටයේ මුහුරත් උ‌ළෙල පැවැත්වුණා. ඊට අමතරව  හවුස් ෆුල් චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වීමට නියමිතයි. ඊට අමතරව ප්‍රසන්න ජයකොඩි මහතාගේ චිත්‍රපටයක සහ තවත් චිත්‍රපට කීපයකම වැඩ කටයුතු කරගෙන යනවා.   


05. ලංකාවේ සිනමා කර්මාන්තයේ අනාගතය ඔබ දකින්නේ කොහොමද?


මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දේශීය සිනමා කර්මාන්තයේ සාධනීය තත්ත්වයක් ඇති වේවි කියලා. මම රංගන ශිල්පිනියක් විධියට දකින්නේ සාර්ථක නිර්මාණයක් කියන්නේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත ගෙන්වා ගත හැකි නිර්මාණවලට කියලා. මම විශ්වාස කරනවා  සිංහබාහු, විසල් ආදරේ වැනි ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙතට ගෙන්වා ගත හැකි නිර්මාණ වර්තමානයේදී බිහි වෙමින් පවතින නිසා දේශීය සිනමා කර්මාන්තයේ අනාගතය යහපත් වේවි කියලා. ඇත්තටම කලාකාරිනියක් විධියට මම සතුටු වෙනවා දේශීය සිනමා කර්මාන්තයේ ඇති වෙමින් තිබෙන මෙම දියුණුව පිළිබඳව. 


 අපි ඔබව දකින්නේ රංගන ශිල්පිනියක් විධියට. නමුත් ඇත්තම චුලක්ෂි කියන්නේ කවුද?


පෞද්ගලිකව මාත් සමඟ කතා කරන බොහෝ දෙනෙක්  කියන්නේ “අපි හිතුවට වඩා ඔයා ගොඩාක් වෙනස් කෙනෙක්” කියලා. මම හැමවෙලේම උත්සාහ කරනවා බුදුන්ගේ දර්ශනයට අනුගතව  ජීවත් වීමට. මගේ ආච්චි අම්මා පොඩි කාලයේදී  මට පුරුදු කළේ උදේම බුදුන් වැඳලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. අදටත් මම ඒ දේවල් කරනවා. මම යන ආරාමයක් තිබෙනවා. එහි සිටින දස සිල් මාතාවන් සමඟ කාලය ගත කරන්න මම ලොකු කැමැත්තක් දක්වනවා. මට නිවාඩු තිබෙන වෙලාවට අනුරාධපුරයේ ගිහින් වන්දනාමාන කටයුතුත් කරනවා. ඒ දේවල් කරද්දී මගේ සිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඇත්තටම මම හිතනවා රංගන ශිල්පිනියක් විධියට ඔබ දකින චුලක්ෂිට වඩා ඇත්ත මම වෙනස් කියලා.


 ජනප්‍රිය පුද්ගලයන්ට සමාජයෙන් එල්ල වෙන විවේචන සහ චෝදනා ගැන ඔබේ අදහස?


මම හිතන විධියට සමාජය තුළ ජනප්‍රිය කෙනකු වන තරමටම සමාජයෙන් චෝදනාත් එල්ල වෙනවා. සමාජය පුරුදු වෙලා සිටින්නේ හොඳ දේවල්වලට වඩා නරක දේවල් හොයන්න. ඉතින් කිසියම් කෙනෙක්ට චෝදනා එල්ල වන විට ඒ ගැන සොයා බලලා ඒ සම්බන්ධව පිළිතුරු දීමට අවශ්‍ය නම් පමණක් පිළිතුරු සැපයීම කළ යුතුයි. නමුත් එය පුනාපුනා කරන්න අවශ්‍ය නැහැ.


 ක්‍ෂේත්‍රයේ රැඳී සිටින්න බාහිර පෙනුම විතරක් ප්‍රමාණවත් කියලා බොහෝ දෙනෙක් සිතනවා. ඒ කතාව ඇත්තද?


ක්‍ෂේත්‍රයට එන්න පෙනුම විතරක් ඇති. නමුත් ක්‍ෂේත්‍රය තුළ රැඳෙන්න පෙනුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ  නැහැ. මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න නම් ක්‍ෂේත්‍රය පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුමක් තිබිය යුතුයි. ඒ වගේම රංගනය සම්බන්ධව නිරන්තරයෙන්ම පුරුදු පුහුණු වීම්වල යෙදිය යුතුයි. කිසියම් කෙනෙක්ට රූපය නිසා ක්‍ෂේත්‍රයට පැමිණියත් ක්‍ෂේත්‍රය තුළ රැඳෙන්න පුළුවන් වෙනවා. එවැනි දේවල්වල නිරත වෙනවා නම්.


09. නිරූපණ ක්‍ෂේත්‍රය හරහා රංගනයට පිවිසෙන බොහෝ අය සිටියත් ඔවුන් ක්‍ෂේත්‍රයේ රැ‍ෙ¾දන්නේ නැහැ. ඒ  ගැන කතා කළොත්?


එයට විවිධ හේතු බලපාලා තිබෙනවා. සමහරුන්  රංගනය පිළිබදව අවබෝධයකින් තොරව  ක්‍ෂේත්‍රයට පිවිසෙන නිසා ඒ අයට ක්‍ෂේත්‍රය තුළ පැවැත්මක් නැහැ.  තවත් හේතුවක් තමයි  විශේෂයෙන්ම ශ්‍රී  ලංකාවේ තියෙන පුරුෂාධිපති සමාජ ක්‍රමය. ඒ තුළ කාන්තාවක් සමාජයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වන විට සමහර ස්වාමිපුරුෂයන්ට ඒක දරාගන්න  බැහැ. ඉතින් මේ දේවල් නිසාත් ගොඩක් අය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙනවා දකින්න පුළුවන්. මේ වගේ දේවල් නිසා තමයි නිරූපණ ක්‍ෂේත්‍රය හරහා රංගනයට පිවිසෙන බොහෝ අයට රංගන ක්‍ෂේත්‍රය තුළ පැවැත්මක් නැති වෙලා තිබෙන්නේ.


 ඔබ චරිත තෝරා ගැනීමේ දී පනවා ගත්තු සීමාවන් තිබෙනවාද?


රංගන ශිල්පිනියක් විධියට මම චරිත තෝරා ගැනීමේදී සීමාවන් පනවාගෙන නැහැ. මට ලැබෙන ඕනෑම චරිතයකට මම උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.


 ඔබ බොහෝ දුරට දක්නට ලැබෙන්නේ වාණිජ  ගනයේ චිත්‍රපටවල පමණයි. මේ තත්ත්වය අනාගතයේදී වෙනස් වේවිද?


අධ්‍යක්ෂවරයාගේ ඇස මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉදිරියේදී සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණොත් මම ඒක අනිවාර්යෙන්ම භාර ගන්නවා.


ධනංජනා රාජපක්ෂ



Previous Post Next Post