මගේ අම්මා වසන්ති රංවල- සිලිඳු රංවල




ශාන්ති දිසානායකගේ දඩමංකඩ නවකතාව ඇසුරින් සමන්ත කුමාර ගමගේ රචනයෙන් චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ‘වියළි’ ටෙලිනාට්‍යය මේ දිනවල දැඩි කතාබහට ලක්වෙනවා. වියළි ටෙලි නාට්‍යයේ කළු ට පණ මෙන් ආදරය දක්වන මන්ද මානසික සහෝදරියගේ රංගනය ද විශිෂ්ටයි. ඉතින් මීවිත අපි කළුගේ නැඟණියට ජීවය දෙන සිලිඳු රංවල සමග කතාබහක යෙදුනා. පහතින් දිගහැරෙන්නේ ඒ සංවාදයයි.

සිලිඳු, අපි ‘වියළි’ ටෙලි නාට්‍යයෙන්ම මේ කතාව පටන්ගමු?


මට ඇත්තටම වියළි ටෙළි නාට්‍යයට ආරාධනාව ලැබෙන්නේ අධ්‍යක්ෂ චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂවරයා ගෙන්. ශාන්ති දිසානායකගේ දඩමංකඩ නව කතාව ඇසුරින් නිර්මාණය වුණු මේ ටෙලිනාට්‍යයේ කළු අයියගේ නංගිගේ චරිතය තමයි මම රඟපාන්නේ.


කළුගේ නංගිට ලැබෙන ප්‍රතිචාර?


මා වටා සිටින මිත්‍රයන්ගෙන් වගේම ප්‍රේක්ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


පිටපත අතට ලැබුණහම මොකද හිතුණේ?


ඇත්තටම ආසාවෙන් හිටියේ මේ වගේ චරිතයක් කරන්න. මොකද මම වේදිකාවේ වුණත් කැමැති මොකක් හරි විශේෂත්වයක් තිබෙන චරිතයකට. ඉතින් ඒක හින්දා කළුගේ නංගිගේ චරිතය ලොකු අභියෝගයක්. පොඩි හරි එහා මෙහා වෙනසක් ඇති වුණොත් ඒක ඕවර් ඇක්ටිං බවට පත්වෙනවා.


ශාන්ති දිසානායකගේ “දඩමංකඩ” නවකතාව කියවලා තියෙනව ද?


පිටපත අතට ලැබෙනකොට ‘දඩමංකඩ’ නව කතාව කියවලා තිබුණේ නැහැ. ඊට පසුව තමයි දඩමංකඩ නව කතාව කියෙව්වේ.


මේ චරිතයට කොහොමද සූදානම් වුණේ?


මේ චරිතයට සමාන චරිත ලක්ෂණ තිබෙන චිත්‍රපට ගොඩක් නැරඹුවා. ඊට අමතරව ඒ වගේ ළමයකුගේ හැසිරීම ගැන පොතපතින් වගේම වෙනත් ක්‍රම මගින් හැදෑරීමක් සිදුකළා.


රූගත කිරීම්වලදී මොනවගේ අභියෝගයන්ද තිබුණේ?


රූගත කිරීම්වලදී නිෂ්පාදන කණ්ඩායම වගේම මගෙත් එක්ක රඟපාන හැම කෙනෙක්ම ගොඩක් සහයෝගයෙන් ගොඩක් හොඳ විදිහට ඒ දේවල් අපිට ලෑස්ති කරලා දීලා තිබුණා. ඒ හින්දම අපිට රූගත කිරීම් කරන්න ලේසි වුණා. එහෙම අභියෝග කියලා දෙයක් තිබුණේ නෑ. පෞද්ගලිකව තිබුණ අභියෝගයක් තමයි මම කැමරාවට අලුත් වීම. ඇත්තටම ඒකත් එක්ක මේ වගේ අභියෝගාත්මක චරිතයක් කරන එක තමයි තිබුණ ලොකුම අභියෝගය.


මෙය ඔබේ පළමු ටෙලි නාට්‍යය ද?


මේක මගේ දෙවැනි ටෙලිනාට්‍යය. මම මුලින්ම රඟපාන්නේ දුලීකා මාරපන සහ සුජීව ප්‍රියලාල්ගේ ඉන්ටර් නැසනල්-2 ටෙලිනාට්‍යය. ඊට පසුව තමයි මට ‘වියළි’ හමු වෙන්නේ.


ඔබ ගොඩක් සමීප වේදිකාවට ද?


මම මුලින්ම වේදිකාවට සම්බන්ධ වෙන්නේ චාමික හත්ලහවත්තගේ “බෝම්බයක් ඉතුරුයි” කියන වේදිකා නාට්‍යයෙන්. ඊට පසුව මම දායක වෙනවා නිලංක නිසලාංජනගේ “අතරමැදියා” වේදිකා නාට්‍යයට. එහි මම රඟපෑ අමන්දිගේ චරිතයට 2019 වසරේ දී යෞවන රාජ්‍ය සම්මාන උළෙලේ දී හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනවා. 2020 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ දී මට හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනවා.


එතකොට ඔබ චාලක රණසූරිය සමග වැඩ කරන්නේ?


ඔහු සමග මම “සඳුදා වැටෙන්නේ සිකුරාදාට” වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙනවා. එහිදී මම හොඳම නිළියට නිර්දේශ වෙනවා. 2023 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ දී ඊට පසුව ඔහුගේම ‘මාරක ළිඳේ සවාරියක්’ නාට්‍යයටත් සම්බන්ධ වෙනවා. ඔය අතරේ චාමික හත්ලහවත්තගේ “රජා මං වහලා” වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙනවා. ඒ නාට්‍ය දෙකම මේ දිනවල වේදිකා ගතවෙනවා.


සඳුදා වැටෙන්නේ සිකුරාදාට නාට්‍යයේ අත්දැකීම් මොන වගේද?


පසුගිය දිනක අපි සියවැනි දර්ශන වාරයත් පැවැත්වූවා. 2023 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන හතක් හෝ අටක් හිමිවෙනවා. ඒක හරිම ආසාවෙන් කල් අරගෙන කරපු නාට්‍යයක්. මේක හාස්‍යමය නාට්‍යයක්. ප්‍රවීණයෝ රැසක් සමග තමයි මම එහි රඟපාන්නේ.


සිලිඳු රංවල කියන්නේ කවුද?


මම පාසල් පහකට ගිහින් තියෙනවා. මුලින්ම නුගේගොඩ සුජාතා විiාලයට. සාමාන්‍ය පෙළ හැදෑරුවෙ නුගේගොඩ සෙන් ජෝශප් කන්‍යාරාමයේ. උසස් පෙළ හැදෑරුවෙ කොළඹ දේවි බාලිකා විiාලයේ. පවුලේ ඉන්නේ මමයි, අම්මයි, ආච්චි අම්මයි. මගේ අම්මා වසන්ති රංවල. එයත් රංගන ශිල්පිනියක්.


වැඩිපුර කැමැති වේදිකා නාට්‍යවලට ද?


එහෙම එකක් නැහැ. දෙකෙන්ම සිද්ධ වෙන්නේ රංගනයනේ. එතකොට රඟපෑමට තමයි මගේ ආසාව තියෙන්නේ. මොන මාධ්‍යයෙන් වුණත් මම ඒක හරි ආසාවෙන් කරනවා.


මේ වෙනකොට ඔබේ වෘත්තිය?


මේ වෙන කොට මගේ වෘත්තිය රංගනය. ඊට අමතරව මම වයස අවුරුදු පහේ ඉඳලා හඬ කැවීම් ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා. ඊට අමතරව මම පෞද්ගලික සරසවියක ඉන්ටීරියර් ඩිසයිනින් උපාධිය හදාරනවා. ඒක තමයි වෘත්තීය වශයෙන් කරනවා කියලා හිතාගෙන ඉන්නේ. ඉදිරියේ දී බලමු.


අධ්‍යාපන කටයුතුයි, රඟපෑම් කටයුතුයි, ලේසි නැහැ නේද?


ඔව් ලේසි නැහැ. ඒක සමබර කරගන්න බැරි ගොඩක් අවස්ථා තියෙනවා. නමුත් කොහොම හරි කරගෙන යනවා.


රංගනයට ගෙදරින් ලැබෙන සහයෝගය?


අම්මා රංගන ක්ෂේත්‍රය ගැන දන්න හින්දා එයාගෙන් ලොකු සහයෝගයක් වගේම නිදහසක් ලැබෙනවා.


සිලිඳු දැන් ජනප්‍රිය චරිතයක්?


එහෙම මහ ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා කියලා මට නම් හිතෙන්නෙ නැහැ. හැබැයි රංගන ජීවිතයත් එක්ක මට ගොඩක් අත්දැකීම් ලැබුණා. මම රංගනයට දායක වුණේ නැත්නම් ඒ කිසිම දෙයක් මගේ ජීවිතයට එකතුවෙන්නේ නැති වෙන්න තිබුණා. මොකද නාට්‍යයක රඟපානවා කියන්නේ උපාධියක් හදාරනවා වගේ වැඩක්. රංගනයට සහභාගි වෙන්න පුළුවන් වීම හරි වාසනාවක් කියලයි මට හිතෙන්නේ.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post