ටික්ටොක් එකෙන් වැඩේ පත්තුකරගත්තු බොරලු සහ ගලයා



අපි හැමෝම බොහොම කැමැත්තෙන් බලපු සිරස TV නාලිකාව ඔස්සේ විකාශනය වූ ගිරිපුර ඇත්තෝ කාටූන් එකේ කැමැතිම චරිත දෙක “ගලයා සහ බොරළු” ලෙසින් මදුමල් සහ මදාරා කියන අක්කා, මල්ලි එකතු වෙලා ටික්ටොක් සහ යූටියුබ් නාළිකාව හරහා වෙනස්ම විදිහකට කරන හාස්‍යමය වීඩියෝ පට ගැනයි මේ කතා බහ.

අපි මුලින්ම මතක් කරමු, මේ අක්කගෙයි, මල්ලිගෙයි ඇත්ත නම් දෙක මොනවද කියලා?


මම ගලයා,මගේ නම මදුමල්. මම බොරලු, මගේ නම S. P. මදාරා.


ඇයි මේ ගලයයි -බොරුලුයි කියන concept එකෙන් Youtube එකට එන්න ඕනෑ කියලා හිතුවේ?


පොඩි කාලේ ඉඳලා ජනප්‍රිය වෙන්න ආසාවක් තිබුණා. ගෙදර ඉන්න වෙලාවටත් අපි දෙන්නා ගොඩක් විහිළු කරගන්නවා. ඉතින් ඒකත් එක්ක හිතුවා අපි විනෝදයට බර කන්සෙප්ට් එකක් හදන්න ඕනෑ කියලා, හිතලා එක වීඩියෝ එකක් දාලා බැලුවා TikTok එකට. ඒක නොහිතපු විදිහට වෛරල් වුණා.


ගැහැනු ළමයෙක් විදිහට මධාර ඇයි කොමඩි කරන්න ඕනෑ කියලා හිතුවේ?


අපි දෙන්නා ඉතින් පොඩි කාලේ ඉඳලම කොමඩිවලින්ම තමයි දවස ගත කරන්නේ. එතැනදී වෙනසක් නැහැ ඇත්ත චරිතෙත් එක්ක. ඒ නිසා ඇඟේම තිබුණා වගේ දැනුණා, විහිළු කරන එක. ඉතින් ඒක නිසා පටන් අරගෙන බැලුවා. කොහොම හරි ඒක සාර්ථක වුණා.


මෙහෙම දෙයක් කරමු කියලා අදහස ආවෙ කාටද ?


ඒක අපි දෙන්නටම එක පාර ආපු අදහසක්. පස්සේ අපි දෙන්නා කතා වෙලා ස්ක්‍රිප්ට් එකක් ලියලා, ඒක ෆෝන් එකෙන් වීඩියෝ කළා. ඊට පස්සේ මුලින්ම TikTok එකට අප්ලෝඩ් කරාම ඒකෙ කමෙන්ට්වල තිබුණේ youtube එකට එන්න කියලා. ඊට පස්සේ අපි ඒ ගැන හොයලා බලලා, Youtube චැනල් එකක් හදලා, ඒකට වීඩියෝ අප්ලෝඩ් කරන්න පටන් ගත්තා.


මදුමල් වයිෆ්ගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?


එයා ඇත්තටම මාරම සපෝට් එකක් දෙනවා. අපි දෙන්නා ස්ක්‍රීප්ට් එකක් ලියනකොට එයාගෙන් තමයි අහන්නේ මේවට හිනා යනවද කියලා. එයාගේ අදහසුත් ගන්නවා. ඇත්තටම එයාගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා. අපේ මේකප් එක කරන්නෙත් එයා. ඒ වගේම ඇඳුම් ගැන හොයලා බලන්නෙත් එයා තමයි.


ටෙලිවිෂන් එකට එන්න ආසාවක් තිබුණෙ නැද්ද?


තිබුණා. ඒ වුණාට ගියේ නැහැ. අපි හිතා ගත්තා අපේ දක්ෂතාව එළියට දාලා, අපේම තැනකට එනවා කියන මතේ ඉඳලා තමයි මෙතැනට ආවේ.


පළවෙනි වීඩියෝ එක හැදුන විදිය සහ මුහුණ දුන් අභියෝග ගැනත් අපි කියමු?


මෙහෙමයි, අපි 2021 තමයි මුල්ම වීඩියෝ එක කරන්න පටන් ගත්තේ ටික්ටොක් එක හරහා. ඒ කාලේ ලොකු කැමරා මුකුත් තිබුණේ නෑ. ෆෝන් එකෙන් තමයි වීඩියෝ කළෙත්. ඒ දවස්වල රංගනය කියන දේත් අපට ලොකුවට බැහැ. අඩුපාඩුවක්වත් බලන්න තේරුණේ නෑ. ටික ටික වීඩියෝ අප්ලෝඩ් කරගෙන එද්දි තමයි අඩුපාඩු තියෙන ඒවා බල බල, කමෙන්ට්ස් කියවලා අපිම අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට ආවෙ.


බෑඩ් කමෙන්ට්ස්නුත් ආවද?


අනිවාර්යයෙන්ම. මුලදී බෑඩ් කමෙන්ට්ස් ආවා ටිකක්. දැන් නම් ගොඩක් අඩුයි. දැන් තියෙන්නෙ පොසිටිව් කමෙන්ට්ස් තමයි.


“එලෙස කෙලෙස” කන්සෙප්ට් එක කාගෙද, කොහොමද ඒකට ලැබෙන ප්‍රතිචාර ?


ඒකත් අපි දෙන්නටම හිතුන දෙයක්. ඒකත් ගොඩක් වෛරල් වුණා. තාමත් ඒකෙ කොටස් ඉල්ලනවා ගොඩක් අය. අපි දැන් වෙන වීඩියෝ එකක් දැම්මත් ඒකට රීච් එකක් නෑ. ඒ තරම් මිනිස්සු ඉල්ලන්නෙ “එලෙස කෙලෙස” වීඩියෝ එක. ඒක ටිකක් වෙනසක් කියලා අපිත් හිතනවා. දැන් මේ සීරිස් එකෙන්ම ඉදිරියට යන්න ඕනෑ කියලා තමයි අපි අදහස් කරගෙන ඉන්නේ.


“බොරළු සහ ගලයා” කියන මේ නම හැදුණේ කොහොමද?


අපේ චැනල් එක පටන් ගන්න කලින්ම සිරස ටීවී එකේ “ගිරිපුර ඇත්තෝ” කියන කාටූන් එක ගියා. එතකොට ඒකෙ චරිත දෙකට අපි ගොඩක් ආස කරා. ඊට පස්සේ අක්කයි, මමයි කෙලින්ම වෙන් කරගෙන තිබුණේ. අක්කා කැමති බොරලූට. මම කැමති ගලයාට. ඉතිං අපිට නමක් ඕන නිසා එතනදි අපි ඒ නම් දෙකම දාලා නම හැදුවා.


ඊළඟට එන්න තියෙන වීඩියෝ එක ගැනත් පොඩි හින්ට් එකක් දෙමු?


යක් පැටියෙක් හෝ මනුස්ස පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කියලා තමයි කියන්නේ.


2021 ඉඳලා 2024 දක්වා මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ?


කියාගන්න බැරි ලොකු සතුටක් තියෙනවා. මේක ඇවිල්ලා පොඩි ගමනක් නෙවෙයි. මේක ඇතුළේ ලොකු ගමනක් එක්ක ලොකු මතක සටහන් ගොඩක් තියෙනවා. ඇත්තටම අපි හිටපු තැනයි, අද ඉන්න තැනයි දැක්කම නිහතමානී සතුටක් තියෙනවා. දැන් ගොඩක් අය අපිව දන්නවා. අපිව දැක්ක තැන ඇවිත් කතා කරනවා. ඒ ලැබෙන ආදරයත් එක්ක අද අපි මේ ඉන්න තැන ගැන ලොකු සතුටක් දැනෙනවා.


පාරමී කෞෂිකා




Previous Post Next Post