තරු කුසුම් ගීතය මගේ සංගීත දිවියේ හැරවුම් ලක්‍ෂ්‍යයයි – මධුෂානිකා හෙට්ටිආරච්චි

 


ලස්සන හීන දකින්න හැමෝටම පුළුවන් වුණාට ඒ දකින හීන හැබෑ කරගන්න හැමෝටම බෑ… හති වැටෙනකන් හීන පස්සෙන් දුවලා ඒ හීන සැබෑ කරගන්න නම් අසීමිත කැපකිරීමක් තියෙන්නම ඕනෑ.පාසල් යන කාලයේ ඉඳන් දැකපු ලස්සනම හීනය ඵල දරලා මේ වන විට ගායිකාවක් වෙන්න මධුෂානිකා හෙට්ටිආරච්චි කියන ගායන ශිල්පිනියට පුළුවන් වෙලා තියනවා.


කවුද මේ මධුෂානිකා කියන්නේ?


මම නමින් මධුෂානිකා හෙට්ටිආරච්චි. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ හිටපු ලීඩ් ගිටාර් වාදක චලන ප්‍රියමන්තගෙ බිරිඳ. ඔහු මීට වසරකුත් මාස 4කට පෙර අප අතරින් සමුගත්තා. මට වයස අවුරුදු 3ක පුංචි පුතෙක් ඉන්නවා. වෘත්තිය ගැන කතා කළොත් මම ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය හා මූල්‍ය විෂය පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබාගෙන දැනට වෙන්නප්පුව නයිනමඩම සාන්ත මරියා විදුහලේ පාසල් සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කරනවා.


ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායන ශිල්පිනියක ලෙස කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ගෘහස්ථ සහ එළිමහන් ප්‍රසංග ඇතුළු විවිධ උත්සව අවස්ථාවලදි ආරාධනා ලැබුණම ගීත ගායනයෙන් එක්වෙනවා.


ගායිකාවක් වෙන්න හීන දැක්කෙ පාසල් යන කාලෙ ඉඳන්මද?


ඔව්. මම පාසල් යන කාලෙ ඉඳන්ම සංගීතයට බොහෝ සෙයින් ඇළුම් කළ කෙනෙක්. ගායිකාවක් වෙන්න ඒ කාලෙ ඉඳන්ම ආස වුණත් මට සංගීතය විෂයක් විදියට හදාරන්න හැකියාවක් තිබුණේ නෑ. මොකද පාසල් අධ්‍යාපනයේදී මම විෂයක් විදියට හැදෑරුවේ ගිණුම්කරණය. නමුත් මම විනෝදාංශයක් විදියට ගීත අහන්න වගේම ගායනා කරන්න පුරුදු වෙලා හිටියා. ගමේ තියන පොදු කටයුතුවලදී, පාසලේ දේවස්ථානයේ ගායන කණ්ඩායමේ සහ විවාහ මංගල්‍ය උත්සව වගේ අවස්ථාවලදී ගීත ගායනා කළා. ඉතින් ඒ විදියට තමයි ගායිකාවක් වෙන හීනය හිතේ ඇති වුණේ.


ඔබේ නිර්මාණ ගැන කතා කළොත් ?


මේ වෙනකොට මගේම ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයක් ගායන ක්ෂේත්‍රයට දායාද කරන්න මට පුළුවන් වුණා. මුලින්ම මම 2016 වසරේදී ‘පෙම්වන්ත නිල් දෙනෙත්’ ගීතය එළිදැක්වූවා. ඒ ගීතයේ පද රචනය සහ තනු නිර්මාණය කළේ මා විසින්මයි. එහි සංගීත නිර්මාණය සංජීව මාරසිංහ මහතාත්, සංගීත සංකලනය ඩිලාන් ප්‍රියංකර මහතාත් සිදු කළා.


ඉන්පසුව ‘නුඹ මාව අන්සතු කරන්’ ගීතය, ‘කෝඩුකාර හදක’ ගීතය, ‘හදවතට මගේ’ ගීතය සහ මේ මෑතකදී ‘තරු කුසුම්’ ගීතය කියන ගීත නිර්මාණ කිහිපයක්ම ගායන ක්ෂේත්‍රයට එක් කරන්න මට හැකියාව ලැබුණා. මා එළි දැක්වූ ආසන්නතම නිර්මාණය වූ තරු කුසුම් ගීතය මේ වන විට මාගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹුම් වාර 50,000 ඉක්මවමින් ප්‍රේක්ෂකයන් අතරට යමින් පවතිනවා.


ඔබට ගායිකාවක් වෙන්න වගේම ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නන් අයුරින් උපකාර කරපු අයත් ඇති?


ඔව් ඇත්තටම… නම් වශයෙන් කියන බැරි තරම් පිරිසක් මේ හීනය සැබෑ කරගන්න මට සහයෝගය දුන්නා. මුලින්ම මගේ දෙමව්පියන් ඇතුළු පවුලේ හැමෝටම මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මගේ පාසලේ සංගීත ගුරුතුමිය වුණ ජසින්තා ගුරුතුමියත්, ලසන්ත ඇන්ටන් ප්‍රනාන්දු ගුරුතුමාත් මට ලොකු සහයෝගයක් දුන්නා.



Previous Post Next Post