මන්දිරේ හදේ කියන්නෙ මගෙ යාළුවෙක්ගෙ අත්දැකීමක් -දුලාන්




හිප් – හොප් කියන්නේ දැන් දැන් ලංකාවේ කා අතරත් ප්‍රසිද්ධ කවුරුත් වැලඳගත්ත සංගීත ශානරයක්. රැප් එකක් නැති සින්දුවක් අද නැත්තේම නැති තරම්. ලාංකික සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන ගීතයක් වුණ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඔබට මතක ඇති. ඒ ගීතයේ පද රචනා කළ, ඒ ගීතයට රැප් කළ රැප් ගායකයා තමයි  අද අපේ කතානායකයා. ඔහු තමයි පසුගියදා නිකුත් වුණ බොහෝ කතාබහට ලක්වුණ ‘මන්දිරේ හදේ ගීතයේ’ හිමිකරුවා. අද ‘හදගැස්ම’ හා එක්වන්නේ ප්‍රවීණ රැප් ගායක දුලාන් ARX මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල මගේ නවතම ගීතය නිකුත් වුණා. ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වනවිට එම ගීතය ට්‍රෙන්ඩින් නම්බර් වන් වෙලා ගොඩක් සතුටුයි ඒ ගැන.


මන්දිරේ හදේ ගීතය ගැන කතා කරමු?


මායි සන්ජුයි, හිමාලුයි කාලෙක ඉඳන් වෙනස් විධියේ සින්දුවක් කරනවා කියලා ප්ලෑන් කළා. මේ ගීතය අයිති වෙන්නේ ඇෆ්‍රෝ පොප් කියන ශානරයට. ලංකාවේ මේ මෑතකාලීනව හැදෙන  ගීතවල මේ ශානරයේ ලක්ෂණ දකින්න නැහැ. මේක ලංකාවට අලුත් සංගීත ශානරයක්.


ග්ලෝබල් මියුසික් ඉන්ඩස්ටි්‍ර එක දිහා බැලුවම මෑතකාලීනව ඇෆ්‍රෝ පොප් කියන ශානරය ගොඩක් ඉහළට ඇවිත් තිබෙනවා. ඒ නිසා අපිත් ඒ ටච් එක තියෙන වැඩක් කළා. මට මේ මෙලඩි එක ඉක්මන්ට දැණුනා. ඒ නිසාම මම සින්දුව ලියන්න ගත්තා. මේක මගේ මිත්‍රයෙක්ට වුණ සිදුවීමක්. කියා ගන්න බැරි වුණ හැඟීමක් තමයි මේ විධියට නිර්මාණය වුණේ.


යුරේනි නොශිකා එක්ක ගායනා කළ ඩ්‍රාමා ක්වීන් ගැන කතා කරනවා නම්?


රැප් මල් සරා රිලීස් කළාට පස්සේ තමයි ඩ්‍රාමා ක්වීන් රිලීස් කළේ. ඒක බරපතළ ප්‍රොජෙක්ට් එකක්. 45 දෙනෙක්ගෙ විතර කණ්ඩායමක් මේ ගීතය වෙනුවෙන් මහන්සි වුණා. ත්‍රිකුණාමලයේ තමයි මේ සින්දුව ෂූට් කළේ. ඒක දවස් දෙකෙන් විතර ෂූට් කළා. මේ ගීතයෙන් සියයට අසූවක් විතර අපි ෂූට් කළේ මුහුදේ. මේ ගීතය නිර්මාණය කරන්න ගොඩක් ආයතන අනුග්‍රහය ලබා දුන්නා. මේ ගීතය නිර්මාණය කරන්න ලක්ෂ 28ක විතර වියදමක් ගියා.


නැවතත් යුග ගීයක් ගායනා කරනවා නම් ඒ ගීය ගායනා කරන්නේ කවුරු සමඟද?


දැනට මගේ එහෙම අදහසක් නැහැ. තව මගේම සින්දුවක් කරන්න තමයි අදහස තිබෙන්නේ. මේ වන විටත් ඒ ගීතයේ වැඩ කටයුතු කරගෙන යනවා. වෙනත් නිර්මාණකරුවන්ගේ ගීතවලට රැප් කිරීමෙන් දායක වුණ නිර්මාණ නම් බොහෝමයක් නිකුත් වීමට නියමිතයි.


ඔබත් කැමැති වෙනත් ශානර මොනවාද?


මම ගොඩක් අහන්න කැමැති හිප් – හොප් සහ රැප් කියන ශානරයන්ට. හැබැයි වෙනත් ශානරයන්වල ගීතත් අහනවා. මම පරණ සිංහල සින්දු ගොඩක් අහනවා. මම පද රචකයෙක් විධියට ගීත ලියද්දී ගොඩක් පරණ සින්දු අහන එක වැදගත්.


දුලාන් කියන පද රචකයාගේ භූමිකාව ගැන කතා කරමු?


මම ගොඩක් පොත් කියවන කෙනෙක්. ඒක මට ගී පද රචකයෙක් වෙන්න ගොඩක් බලපෑවා.  මම 2017 තමයි මියුසික් කරන්න පටන් ගන්නේ. සෙනසුරු ඒරාෂ්ටකය කියන රැප් ගීතයෙන් තමයි මම මේ ක්‍ෂේත්‍රයට එන්නේ. පියාණෙනි, යථාර්ථය ඔය වගේ ගීත පහක් විතර ඊට පස්සේ මම කළා. ඒවා ගොඩක් මිනිස්සු අතරට ගියේ නැහැ. රූසිරි ගීතයෙන් තමයි මම හරියටම පද රචනයට යොමු වුණේ. මොරොක්කන් ගීතයක් අහලා ඒ මෙලඩියට ආස හිතිලා තමයි මම රූසිරි ලිව්වේ. මම මගේ ජීවිතයේ ලියපු ප්‍රබලම ගීතය තමයි මැණිකේ මගේ හිතේ කියන්නේ. නෑසුනා, නාදෙන්, ලෙලෙනා, නෑරම, මගේ වගේ මම ලියූ ගීත රසිකයන් ආදරයෙන් වැලඳ ගත්තා. මම මේ වනවිට ගීත හතළිහක් විතර ලියලා තිබෙනවා.


යථාර්ථය වගේ ෆුල් රැප් සීන් එකේ ගීතයක් නැවත නිර්මාණය වෙන එකක් නැද්ද?


ඒ වගේ ගීත මගේ අතින් ඉස්සරහට නිර්මාණය වෙයි. මම ඒ වගේ සින්දු කිහිපයක්ම කළා. බොරුව, වහල්ලු කියන්නේ ඒ වගේ ගීත. මේවා අන්ඩ-ග්‍රවුන්ඩ් හිප්-හොප් ශානරයේ ගීත. මේ වගේ ගීත ලංකාවේ කරන්න පුළුවන් විනෝදාංශයක් විධියට විතරයි. ජොබ් එකක් විධියට වෘත්තීය සංගීතය කරන කෙනෙක්ට ඒ ගීත කරන්න බැහැ. ඒවා ලංකාවේ මාස් ඕඩියන්ස් එක අහන්නේ නැහැ. නමුත් දැන් මේ වර්ගයේ ගීතය අහන අය ගොඩක් ඉන්නවා. මට ඕන වුණේ රැප් කියන මාස් එකට ගෙනියන්න. මේ මොහොතේ ඉරාජ් අයියා, චින්ති අයියා, කයිසර් කයිස්ව මතක් කරන්න ඕන. ඒකේ පළමුවැනිි අඩිය තමයි මම මැණිකේ මගේ හිතේ වලින් තිබ්බේ. ෂාන් පුතා, ස්මෝකියෝ වගේ අයත් මේ දේ කළා. අද වෙනකොට රැප් එකක් කියන්නේ සින්දුවකට නැතිවම බැරි දෙයක් වෙලා.


දුලාන් කැමැතිම රැපර් ගැන කතා කරමු?


එහෙම එක රැපර් කෙනෙක් නැහැ. මම මුලින්ම රැප් අහපු කාලේ අහන්න ලැබුණේ Snoop Dog, 50 Cent, Eminem, 2 Pac වගේ රැපර්ස්ලාව. ඊට පස්සේ Techno N, Logic , NF, Joyner Lucas වගේ රැපර්ස්ලා මම ඇහුවා. මේ අය රැප් කරන ස්ටයිල් එක මට ගොඩක් බලපෑවා. අපි හිප් හොප් ගීතයකට රැප් කරන  විධියයි වෙන ගීතයකට රැප් කරන ආකාරයයි ගොඩක් වෙනස්. හිප් – හොප් ගීතයක වගේ වේගයෙන් අපි වෙනත් ගීතයක රැප් කරන්නෙ නැහැ. හරිම හෙමිහිට වෙනත් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයකට තමයි  අපි ඒ ගීතවලට රැප් කරන්නේ. මේ කියපු නම්වලින් Eminem තමයි මම ගොඩක් ආස. Eminem කියන්නේ එයාගේ ජීවිතයේ අත්දැකීම්වලින්ම සින්දු නිර්මාණය කරන කෙනෙක්.  ඉංග්‍රීසි තේරෙන්නෙ නැති කෙනෙක්ට වුණත් එමිනම්ගේ වයිබ් එක දැනෙනවා.


ගිහාන් සචින්ත



Previous Post Next Post