අධ්‍යක්ෂවරයෙක් වෙන්න කලින් හොඳ නළුවෙක් වෙලා ඉන්න ඕනේ - මිලින්ද මඩුගල්ල



මෙවර තරුණී කවරය හැඩ කරන්නේ කලා ලෝකයේ අපූරු තරු ද්විත්වයක්. ඔහු මිලින්ද මඩුගල්ල. දෙවැනි ඉනිම, මැස්සා, වීදුරු මල් වැනි ටෙලිනාට්‍ය ගණනාවකින් ඔබ හමුවට ආ ඔහු පුංචි තිරය පමණක් නොව සිනමාව තුළත් නිරන්තරව දකින්න ලැබෙන කලා තරුවක්.ඔහුත් සමඟින් කවරය සරසන ඇය ඉමා වීරසූරිය. වේදිකාවෙන් රංගනයට පා තැබූ අැයත් පුංචි තිරයේ මේ දිනවල කා අතරත් ජනප්‍රිය තාරකාවක්. තරුණී කවරය හැඩකරන මේ තරු ද්විත්වයට ඔවුන්ගේ කලා ලොවේ තොරතුරු වගේම පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් කියන්න බොහෝ දේ ඇති. ඒ නිසාම අපි ප්‍රථමයෙන් මිලින්ද මඩුගල්ල නම් ඒ අපූරු කලා තරුව මේ විදිහට කතා බහකට එක්කර ගත්තා.


 


ඉතින් මිලින්ද මොනවද මේ දිනවල වැඩ කටයුතු?


 


කලා නිර්මාණ කීපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා තරමක් කාර්යබහුලයි. මම රංගනයෙන් එක් වූ චිත්‍රපට කිහිපයක් එන්න තියෙනවා. ප්‍රියන්ත කොළඹගේගේ සූරිය සුළඟ, ජයන්ත චන්ද්‍රසිරිගේ කුසුමාසන දේවී, සංජීව පුෂ්ප කුමාර අධ්‍යක්ෂණය කළ පබ්ලික් ඩොමේන් සහ පීකෝක් ලැමෙන්ට් මේ වගේ ෆිල්ම් කිහිපයක්ම ළඟදීම තිරගත වේවී.


එතකොට පරපුරු පෙම කියලා ටෙලි නාට්‍යයක රූගත කිරීම් වෙනවා. මේ දවස්වල මොනරා නාළිකාවේ විකාශය වන තරංග දිසානායකගේ හිංචි නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


එ්වගේම තුෂාරි අබේසේකරගේ සකාරි, රාජපුත්තු, මේනක රාජපක්ෂගේ අහස් වගේ ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.


 


පසුගිය කාලයේදී දෙවැනි ඉනිම හරහා වැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමු වුණා කිව්වොත්...


 


ඔව් දෙවැනි ඉනිම කතාබහට ලක් වූ ටෙලි නාට්‍යයක්. ඒ නිසාම ගොඩක් ප්‍රේක්ෂකයින් මාව ආදරයෙන් වැලඳ ගත්තා. ඒ වගේම මා රංගනයෙන් දායක වූ වීදුරු මල්, බන්ධනා සහ මැස්සා යන ටෙලි නාට්‍යවලටත් ප්‍රේක්ෂක ආදරය ලැබුණා.


 


මැස්සා ටෙලියේ මැනේජර් මහත්තයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


 


ඒ දවස්වල වැඩිපුර කතාබහට ලක්වූ චරිතයක් තමයි මැස්සා ටෙලියේ මැනේජර් මහත්තයා. දෙවෙනි ඉනිමෙන් පස්සෙ මට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණෙ මේ චරිතයට. ඒකට ලැබෙන්නෙ ඒක මරු නේද වෙන විදිහක් නේද වගේ වෙනස්ම ප්‍රතිචාර.


 


රංගන ජීවිතය පටන් ගත්තේ කොතැනින් ද?


 


‍රංගන ජිවිතය පටන් ගත්තේ නාලක විතානගේගේ අල්ලපු ගෙදර ටෙලියෙන්. දැන් රංගනයට පිවිසිලා අවුරුදු 13ක් වෙනවා. ඒ කාලය තුළ කලාව තුළ ඉගෙන ගත්ත දේ බොහොමයි. මගේ බිරිය පාරමී. ඇයත් ලොකු ශක්තියක් වුණා මේ ගමන යන්න. අපිට අවුරුදු 7 සහ අවුරුදු 3 වයස්වල දියණියන් දෙදෙනෙක් ඉන්නවා.


 


මෙතෙක් පැමිණි ගමන ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?


ඔව් ඇත්තටම මට සතුටු වෙන්න පුළුවන්. මොකක්දෝ වාසනාවකට මට ලැබුණ චරිත සහ මුණගැහුණ අධ්‍යක්‍ෂවරු එකිනෙකට වගේම එකිනෙකාට වෙනස්. මේ තුළින් මට ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුණා. වේදිකාවෙන් පස්සෙ මේ දේවල් හරහා මම ලොකු පන්නරයක් ලැබුවා. අපිට වඩා ගොඩක් දක්ෂ නළුවො ලංකාවෙ ඉන්නවා. නමුත් ඔවුන්ට ක්ෂේත්‍රයට එන්නවත් අවස්ථාවක් ලැබිල නැහැ. ඒ අතරින් ගත්තාම මම වාසනාවන්ත බව මට දැනෙනවා.


 


ටෙලියක් හෝ චිත්‍රපටයක් නිෂ්පාදනයට හෝ අධ්‍යක්‍ෂණයට අදහසක් ඇති?


ඇත්තටම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න ආසාවක් තියෙනවා. චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඊටත් වඩා ආසාවක් තියෙනවා. නමුත් එහෙම කරන්න හැකියාවක් තවම නැහැ. අධ්‍යක්‍ෂණය ගැන කතා කළොත් මම තවම ඒකට සුදුසු නැහැ කියලයි මට හිතෙන්නෙ. මුලින්ම නළුවෙක් වෙලා ඉන්න ඕනෙ. මට තව ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනව කියලයි ඒකෙන් අදහස් කරන්නෙ. මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි සහ දර්ශන් ධර්මරාජ් වැනි අය මට්ටමට එන්න මට තව දුර ගමනක් යන්න තියෙනවා.




Previous Post Next Post