මම කැමැති නැහැ ඒකාකාරී වෙන්න එතකොට මට එපා වෙනවා දිනක්ෂි ප්‍රියසාද්




මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන ටෙලි නිර්මාණයක් ස්වාධින රූපවාහිනියේ විකාශය වන Take Care කියන්නේ. එහි මේනකාට ජිවය දෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනි දිනක්ෂි ප්‍රියසාද්. දිනක්ෂිගේ මෙතෙක් නොදුටු වෙනස්ම රංගනයක් සහිත චරිතයක්. බොහෝ දෙනා ඒ ගැන කතා වෙන නිසා රසඳුන දිනක්ෂි එක්ක කතා කළා ලැබෙන ප්‍රතිචාර ගැන අහන්නත් එක්කම.


කොහොමද මේනකාට ලැබෙන ප්‍රතිචාර?


මම හිතුවටත් වැඩිය හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයින් මාව ඒ වගේ චරිතවලින් දැකලා නැති හින්දා වෙන්න ඇති කියලා.


පළවෙනි වතාවටද මේ වගේ චරිතයක් කරන්නේ?


මීට කලින් මම වෙබ් සීරියස් එකකට මේ වගේ චරිතයක් කළා. “එක වහලක් යට” ඒ මේ චරිතයම නෙවෙයි නමුත් ඒ හා සමාන ගති පැවතුම් තියෙන චරිතයක්. රූපවාහිනියේ විකාශය වන චරිත ගත්තම මේනකා කියන්නේ මෑත කාලයේ කරපු වෙනස්ම චරිතයක්.


මේනකා කියන චරිතය බවට පත් වුණේ කොහොමද?


මම කවදාවත් රංගනයට සීමා දාගෙන නැහැ. ඒ වුණාට මාව මේ වගේ චරිතවලට මින් පෙර කාස්ට් වුණේ නැහැ. අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකවරුන්ට හිතෙන්න එපැයි මට කරන්න පුළුවන් කියලා. නමුත් අනුෂ්ක රසාංජන ද සිල්වා කියන මල්ලි මේ ක්ෂේත්‍රයට අලුතින් එකතුවෙන කෙනෙක්. එයා තමයි “එක වහලක් යට” නිර්මාණයත් කළේ. එයා තමයි මට මේ චරිතය කරන්න ආරාධනා කළේ. එයා කලින් මා එක්ක වැඩක් කරලා තිබුණ නිසා හිතෙන්න ඇති මට මේ චරිතය කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය මත තමයි මට මේනකා කියන චරිතයට ආරාධනා කළේ. මමත් ආසයි විවිධ චරිත කරන්න. නැත්නම් පහුගිය කාලේ ඒකාකාරි චරිතවලට කොටුවෙලානේ හිටියේ. ඒ නිසා මේ වගේ වෙනස් චරිතයක් ලැබුණු නිසා ආසාවෙන් කරන්න හිතුවා.


මෙතනින් පස්සේ මෙවැනිම චරිත ලැබුණොත් මොකද කරන්නේ?


මම තාම එහෙම හිතලා නැහැ. ලැබෙන චරිතයත් එක්ක බලන්න ඕනේ. මම කොහොමත් කැමැති නැහැ ඒකාකාරි වෙන්න. එතකොට මට එපා වෙනවා. වෙනස් විදියේ හොඳ චරිතයක් සහ වෙනස් අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න අවස්ථාව ලැබුණොත් මම භාර ගන්න ඉඩ තියෙනවා. ඒක ලැබෙන අවස්ථාව අනුව තමයි තීරණය කරන්නේ.


මෙතන නම් ඔබට රඟපාන්න තියෙන්නේ ඔබේම සැමියා එක්ක, වෙනත් ශිල්පියෙක් හිටියත් ඔබ මෙවැනි චරිතයක් භාර ගන්නවද?


ඔව්. මම එහෙම සීමා මායිම් දාගෙන නැහැ. එතැන ඒ චරිතයට ඉන්නේ කවුද කියන එක මට අදාළ නැහැ. කවුරු හිටියත් මම මට ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.


සාරංග එක්කම මේ චරිතය කරන්න ලැබීම පහසු වුණාද?


ඇත්තටම එයා එක්ක රඟපාන එක, එක පැත්තකින් ලේසියි. අනිත් පැත්තෙන් පොඩ්ඩක් අමාරුයි. අමාරුයි කියන්නේ සාරංග කියන්නේ තිතටම වැඩ කරන කෙනෙක්. චරිතයකට සූදානම් වෙද්දී ඒ චරිතය තුළම ජිවත් වෙන කෙනෙක්. එයා එක්ක වැඩ කරද්දී වැඩේම ඉන්න ඕනේ. නැත්නම් ඔක්කොමලා ඉස්සරහ වුණත් මට බණිනවා. මම සෙට් එකේදීත් ටිකක් කියව කියව හිනා වේවි ඉන්න කෙනෙක්. සාරංග එහෙම නැහැ. එයා ජීවත් වෙන්නේ ඒ මොහොතේ එයාට ලැබිලා තියෙන චරිතය තුළ. ඒක හැබැයි එයා එක්ක රඟපාන නළු නිළියන්ට ලේසියටත් හේතුවක් වෙනවා. මගේ අතින් දෙබසක් එහා මෙහා වුණත් ඒ දේවල් හරියටම උච්චාරණය කරන්නේ කොහොමද කියන සහයෝගය දෙනවා. මම නෙවෙයි වෙන කවුරු හිටියත් ඔහුගේ හැසිරීම ඒ විදියමයි. ඒ නිසා එයා කියන දේ හරි. එයා බලන්නේ කොහොම හරි ඒ නිර්මාණයට උපරිමය කරන්න.


Take Care සාරංගගේම නිෂ්පාදනයක්?


ඔව්. සාරංග කරපු දෙවන නිෂ්පාදනය. මුලින්ම කළේ සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ ලංසුපතිනියෝ නාට්‍යය. මේ නිර්මාණයට නිෂ්පාදනයෙන් දායක වෙන්න ඇරයුම් ලැබෙන්නේ පස්සේ. මුලින්ම මට කතා කළේ රඟපාන්න. ඊට පස්සේ සාරංග සහ රෙබෙකාටත් කතා කළා. පසුකාලීනව තමයි සාරංගට අදහස එන්නේ මේ නාට්‍යය නිෂ්පාදනය කරන්න.


රිදී තිරයෙන් විසල් ආදරයක් ලබන කාලයක් මේ. කොහොමද ඒ අත්දැකීම?


ඕනෙම කෙනෙක්ගේ තියෙන හීනයක්නේ සිනමාවේ දකින්න සහ ඒ ප්‍රේක්ෂක ආදරේ විඳින එක. ඒක මම මේ දවස්වල උපරිමයෙන්ම විඳිනවා. ඒක එක රැයකින් ලැබුණු දෙයක් නෙවෙයි. කාලයක් ගියා මට ඒ දේ ලබා ගන්න. අවුරුදු ගාණක් ගියා මෙතනට එන්න. මේ අවුරුදු ගාණ පුරාම එකතු කර ගත්ත ප්‍රේක්ෂක ආදරේ තමයි මේ දවස්වල විසල් ආදරේ හරහා පෙරළා ලැබෙන්නේ. ඒක හරිම ලස්සන අත්දැකීමක්. සිනමාවේ අර්බුද ගැන පසුගිය කාලේ බොහෝ දෙනා කතා කළානේ, ප්‍රේක්ෂකයින් දැන් සිනමාශාලා වෙත එන්නේ නැහැ කියලා. දැන් දැන් සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයින් එනවා. ලංකාවේ ප්‍රේක්ෂකයින් සිනමාශාලා වෙත ඇවිත් චිත්‍රපට බලන එක ගැන සතුටුයි. මේ ෆිල්ම් එකේ ප්‍රවර්ධන වැඩවලට යද්දී මට ඇහුණු දෙයක් තමයි පළවෙනි වතාවට තමයි සිංහල චිත්‍රපටයක් බලන්න ආවේ කියන එක. එහෙම බැලුවම හොඳ ප්‍රවණතාවක්.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


තේජා ඉද්දමල්ගොඩ අන්කල්ගේ අලුත් චිත්‍රපටයේ වැඩ ඉවර කළා. ඒකත් 70/80 දශකයේ ඉතාම ජනප්‍රිය සංගීතඥයෙකු වටා ගෙතුණු කතාවක්. ඒකත් දැන් තිරගත කරන්න ලෑස්තියි. තව හර්ෂ උඩකන්ද අයියා අධ්‍යක්ෂණය කළ රෝස ආදරේ චිත්‍රපටයෙත් වැඩ ඉවර කරගෙන යනවා. කාලෙකට කලින් කරපු විශ්ම කියන චිත්‍රපටයත් එන්න තියෙනවා. ඒ එක්කම අලුතින් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා හසුන් සමීර අයියා අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයකට.


අවසාන වශයෙන් ආදරණිය ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති?


ප්‍රේක්ෂක ආදරේ මට ලොකු ශක්තියක්. ඒ ආදරේ එක සැරේ ලැබුණු දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ එක එක නිර්මාණ වටා එකතු වුණු රසිකයෝ පිරිසක් නිසයි මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබිලා තියෙන්නේ. අපිට තව තව නිර්මාණ කරන්න සහ ඇරයුම් ලබන්නත් ලොකුම හේතුව තමයි මේ ප්‍රේක්ෂක ආදරේ. මගේ ජීවිතේ හොඳ කාල තිබුණා. නරක කාල තිබුණා. දිනන වැටෙන හැම තැනකදීම මාව ඒ අය අතහැරියේ නැහැ. හැම වෙලාවේම මට ශක්තියක් වෙලා හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටම අපේ නිර්මාණත් එක්ක එක් වෙලා ඉන්න. ඒ දේවල්වල හොඳ නරක අපට ලියන්න කියන්න කියලා තමයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ.



අනුෂා රණසිංහ



Previous Post Next Post