ඇය ආදරේ කරන්න හොඳම කෙනා කියලා මම කොයි වෙලාවකවත් හිතලා නැහැ -සංජය මොරමුදලි




ලලයි ලිලයි ලයි හි තාරකා ඉබ්බා මේ දවස්වල කා අතරත් ජනප්‍රිය චරිතයක්. මේ චරිතය කරන්නේ නව පරපුරේ දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වන සංජය මොරමුදලි. සංජය එකිනෙකට වෙනස් වූ චරිත තුළින් මේ දිනවල ආදරණීය ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඒ එක්කම සංජය මොරමුදලිගේ ආදර කතාවක් ගැනත් පැතිර යනවා. නිර්මාණ ගැන වගේම ඔහුගේ ආදර කතාව ගැන අහන්නත් සංජය මොරමුදලිව සම්බන්ධ කර ගත්තා.


රූප තිරයේ දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


ස්වර්ණවාහිනී නාළිකාවේ ලලයි ලිලයි ලයි. හිරු නාළිකාවේ අකුරට යන වෙලාවේ සහ සිහින ගෙනෙන කුමාරියෝ ස්වාධින රූපවාහිනියේ ආයාචනා සහ සිරස නාළිකාවේ සර්කස්කාරයෝ තුළින් මගේ රංගනයන් දකින්න පුළුවන්.


එකිනෙකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම මෙතෙක් කල් කරපු හැම නිර්මාණයකම චරිත එකිනෙකට වෙනස්. පෙම්වතාගේ චරිතය වුණත් විවිධ විදියේ පෙම්වත් චරිත මට කරන්න ලැබුණා. මේ කාලයේ ප්‍රතිචාර ඉතා හොඳයි. ලලයි ලිලයි ලයි හි තාරකා ඉබ්බා විදියට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අකුරට යන වෙලාවේ හි වාසල ගණන් සර් කියන්නේ වෙනස් විදියේ චරිතයක්. ඒ චරිතයටත් ප්‍රේක්ෂකයින් ඉතාමත් ආදරේ කරනවා. ආයාචනා එකේ මාධ්‍යයවේදියෙක්. ඒ තුළින් අපේ රටේ මාධ්‍යයවේදීන්ට සිදුවන අකරතැබ්බ පිළිබඳ මම කතා කරනවා. ඒ දේවල් නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


මේ වෙද්දී ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු කීයක් ද?


2013 දී මම ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ නාට්‍යය හා රංග කලාව පාසලේ ශිෂ්‍යයෙක් විදියට අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ ඉඳලා වීදි නාට්‍යය වේදිකා නාට්‍යය සහ ටෙලි නාට්‍යයවල පවා සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරලා තියෙනවා. එහෙම ඉඳලා 2018දී තමයි ප්‍රධාන චරිතයකින් රංගන ශිල්පියෙක් විදියට එන්නේ. දැන් අවුරුදු 6ක් විතර තිස්සේ රංගන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා.


ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද?


ඔව්. ඇත්ත වශයෙන්ම මෙතෙක් ලැබුණු නිර්මාණ ගැන මම තෘප්තිමත්. මගේ පළමු නිර්මාණය ජාතික රූපවාහිනියේ විකාශය වුණු අමුතු රසිකයා. ඒ නිර්මාණයේ සඳරා කියන චරිතය මම කළේ. ඒ චරිතය වෙනුවෙන් සියලු සම්මාන උලෙළ වලදී හොඳම නැගීගෙන දක්ෂතම නළුවාට හිමි සම්මාන දිනා ගැනීමටත්, රාජ්‍ය සම්මාන උලෙළේ විශිෂ්ටතම රංගනය උදෙසා පිදෙන ජූරියේ විශිෂ්ටතම සම්මානය දිනා ගැනීමටත් මට හැකි වුණා. ඒ නිසා මෙතෙක් ආ ගමන සහ කළ නිර්මාණ ගැන මම තෘප්තිමත්.


නළුවෙක් වෙන්නමද සිහින දැක්කේ?


නැහැ. මම නළුවෙක් වෙන්නම හීන දැක්කේ නැහැ. මම උසස් අධ්‍යපනය හදාරලා මේ රටින් පිටවෙලා වෙනත් වෘත්තියක නියැ‍ෙළන්න තමයි මම බලාපොරොත්තුවෙන් හිටියේ. නමුත් මම මේ ක්ෂේත්‍රයට පැමිණියා. ඒ සමඟ මට රංගන ශිල්පියෙක් විදියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. දැන් මට තියෙන්නේ මේ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරයෙක් වීමේ ආසාව.


නළුවෙක් නොවුණා නම් කවුරු වෙන්න තිබ්බද?


ඒ ගැන මට තාම හිතා ගන්න බැහැ. මම උසස් පෙළ කරලා කොළඹ එන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න. ජපන් යන්න තමයි මම බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ නිසා මම අද වෙනකම් හිතලා නැහැ නළුවෙක් නොවුණා නම් කවුරු වෙයිද කියලා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


ඉදිරියේදී සිනමා නිර්මාණයක් එන්න තියෙනවා. ඉන්දියන් අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයක්. කලාවට ආදරය කරන මිනිසුන්ට බලන්න පුළුවන් ලස්සන නිර්මාණ කිහිපයකට සහ වේදිකා නිර්මාණ කිහිපයකටත් දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණ ඉදිරියේදී බලාගන්න ලැබෙයි.


මේ වෙද්දී අාදරවන්තයෙක්නේ.. ඒ ආදරේ ගැන කතාව ගැනත් කියමුද?


ආදරේ ගැන කතා කරන්න ආසයි. ආදරේ විඳින්න ආසයි. ආදරේ කරන්න ආසයි. නමුත් මම ආදරවන්තයෙක් ද නැද්ද කියන එක මගේ ප්‍රේක්ෂකයින්ට වැදගත් වෙයි කියලා හිතන්නේ නෑ. මොකද අපි කරන නිර්මාණ දිහයි මිනිස්සු බලන්නේ. එතකොට අපි අපේ කාලයෙන් වැඩි කොටසක් වෙන් කරන්නේ මේ ක්ෂේත්‍රයේ කලා නිර්මාණ වෙනුවෙන්. අපේ ආදරණීය ප්‍රේක්ෂකයින් පිනවන්න. ඒ නිසා මම අාදරවන්තයෙක් ද කියන එක ගැන මම කොතැනකදීවත් කතා කරලා නැහැ.


අපූර්වා ගැන කිව්වොත්?


අපූර්වා කියන්නේ අපේ සංගීත ලෝකයට පායපු හොඳ තරුවක්. ඇය ආදරේ කරන්න හොඳම කෙනා කියලා මම කොයි වෙලාවකවත් හිතලා නැහැ. නමුත් ඇය ඉතාමත් හොඳ කෙනෙක්. ඒ වගේ කෙනෙක්ට ආදරේ කරන්න සහ ඒ වගේ කෙනෙක්ගෙන් ආදරේ ලැබෙනවා නම් ඉතාමත් සතුටක්.


ඇයගේ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ මොනවද?


මම කාවවත් වෙනස් කරන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. තම තමන්ගේ හැටියට ඕන කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන්. ඇයට හොඳ ගමනක් තියෙයි. ඒ වෙනුවෙන් ඕන වෙලාවක අපෙන් විය යුතු සහාය අපි ලබා දෙනවා.


අනුෂා රණසිංහ



Previous Post Next Post