උපේක්ෂා අතගහන්න හදන අලුත්ම වැඩේ මොකක්ද?



කලා ක්ෂේත්‍රය තුළ එදා වගේම අදත් එක වගේ ප්‍රේක්ෂක ආදරය ලබන්න හැකි වුණ කලාකරුවන් ඉන්නේ බොහොම අතළොස්සක්. ඒ අතරින් උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ පබා ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක්. මෑත කාලයේ දිව්‍යාදරී , තප්පරයක් දෙන්න වැනි ටෙලිනාට්‍ය ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබන උපේක්ෂා ස්වර්ණමාලි මෙවර හදගැස්ම සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


ඉතින් කොහොමද?


බොහොම හොඳින්, සතුටින්, නිදහසේ කාලය ගත කරනවා.


මේ දිනවල ඔබේ කලා කටයුතු ගැන කතා කළොත්?


මම රංගනයෙන් දායක වුණ දිව්‍යාදරී ටෙලිනාට්‍ය නම් දැන් විකාශය වීම අවසන් වෙලා. නමුත් තප්පරයක් දෙන්න ටෙලිනාට්‍ය නම් මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේම විකාශය වෙන්න නියමිත ටෙලිනාට්‍යයකුත් තියෙනවා. මේ අතර සිනමා නිර්මාණ කිහිපයකම වැඩකටයුතුත් කරගෙන යනවා.


ඔබට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම සතුටුදායක ප්‍රතිචාර මට ලැබෙනවා. නමුත් එදා චංචලා ගීතයේ චංචලාගේ චරිතයට සහ පබා ටෙලිනාට්‍යයේ පබාගේ චරිතයට ලැබුණ තරම් ප්‍රතිචාර නම් අද ලැබෙන්නේ නැහැ. කොහොමත් එදා ලැබුණ ප්‍රතිචාර අද බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඒත් මගේ නිර්මාණවලට තවමත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඕනෑම කලාකරුවකුට ජනප්‍රියත්වය දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න අපහසුයි. මේ අපහසු කාර්යය ඔබ ජයගත්තේ කොහොමද?


කලාව කියන්නේ මිනිසුන්ගේ හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. එය බොහොම සූක්ෂමව කළ යුතු දෙයක් කියලයි මම නම් සිතන්නේ. නමුත් ඒ සූක්ෂම බව නම් මට නැහැ. මම නිර්මාණ යම් ප්‍රමාණයකින් තෝරාබේරාගෙන වැඩ කරන කෙනෙක්. ඉතින් ඒ තෝරා ගන්න නිර්මාණ ඇතුළේ මගේ හිතට එකඟවම මම වැඩ කරන්න කැපවෙනවා. ඒ වගේම මට ඉන්නේ එක් ප්‍රේක්ෂකයෙක්  වුණත් මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මම අසාමාන්‍ය බලාපොරොත්තු තබාගෙන මේ ක්ෂේත්‍රය ඇතුළේ ඉන්න කෙනෙක් නෙවෙයි. කලාව පැත්තට මට කරන්න පුළුවන් උපරිමයෙන් දෙයක් මම කරනවා. කලාව කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕනෑ දෙයක් කියලයි මගේ අම්මා මට කියලා දුන්නේ. ඉතින් කලාව ගැන මගේ සිතේ ඒ පැහැදීම හැමදාමත් තියෙනවා.


ඔබ නැවත කලාවට සම්බන්ධ වෙන්නේ දිගටම කලා කටයුතු කරන්න බලාපොරොත්තුවෙන්ද?


ඔව්. මම නැවත කලාවෙන් ඉවත් වෙන්න නම් කිසිම අදහසක් නැහැ. දිගටම කලා නිරමාණවලට දායක වෙලා කලා ක්ෂේත්‍රය තුළ ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර මගේම දෙයක්  වෙනුවෙන් අවධානය යොමු කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.


වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නෙ?


එදා වගේ නෙවෙයි අද කලා ක්ෂේත්‍රය තරමක් සංකීර්ණ වෙලා. සෑම දෙයකම මිල ගණන් ඉහළ ගිහින් තිබෙන කාලයක නිර්මාණයකට හොඳ මුදලක් ලැබෙනවාද කියලත් හිතන්න වෙලා තියෙනවා. ඇත්තටම මේ අවස්ථාවට මුහුණපාන නිෂ්පාදකවරුන්ද බොහොම අසරණයි. ඇත්තටම මෙය කර්මාන්තයක් ලෙස මුහුණදෙන ඛේදනීය තත්ත්වයක්. ඉතින් මේ සියල්ල හමුවේ සාර්ථක, හොඳ නිර්මාණ බිහි වෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්.


ඇත්තටම ඔබ රංගනයෙන් දායක වුණ  සීමිත  නිර්මාණ ප්‍රමාණයකින්  ප්‍රේක්ෂකයන්ට දැනෙන චරිතයක් වුණේ කොහොමද?


ඇත්තටම ඒ නිර්මාණ මගේ ජීවිතයේ හොඳම කාලයේ මගේ වාසනාව සහ කැපවීමත් එක්ක බිහිවුණා කිව්වොත් මම නිවැරැදියි. ඒ වගේම නිෂ්පාදකවරුන්ගේ කැපවීම සහ  නිර්මාණ වෙනුවෙන් කැපවුණු සියලුම දෙනාගේ මහන්සියත් එක්ක තමයි මේ නිර්මාණ එතරම් ජනප්‍රිය තත්වයකට පත් වුණේ. කොහොම නමුත් මට ලැබුණ චරිතයට මම උපරිම සාධාරණයක් එක් කරන්න උත්සාහ කළ නිසා චංචලා සහ පබා කියන චරිත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්තා කියලා මට හිතෙනවා. ඒ වගේම සුදුස්සන් සුදුසු තැනට එක් විය යුතුයි කියලත් මම විශ්වාස කරනවා.


සෝප් ඔපෙරා ජනප්‍රිය වුණේ ඔබ නිසා. ඉතින් ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ?


අපේ ප්‍රේක්ෂකයන්  ඒ කාලයේ බොහෝ විදේශීය ටෙලිනාට්‍යවලට තමයි  ආකර්ෂණය වෙලා සිටියේ. මොකද ඒ කාලයේ එක දිගටම විදේශීය ටෙලිනාට්‍ය විකාශය වුණා. ඒ අතර තමයි බට්ටි, පබා වගේ නිර්මාණ ආවේ. ඉතින් ඒ නාට්‍යවලට ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබීම ගැන දැනෙන්නේ පුදුම සතුටක්. අපි ලෝකයේ බිහිවන නිර්මාණ බලන්න වගේම විඳින්නත් ඕනෑ. කොහොම නමුත් ඒ නිර්මාණ සමඟ කරට කර හැපෙන්න අපේ නිර්මාණවලටත් පුළුවන්. ඒ හයිය අපට තියෙනවා.


දේශපාලනය නිසා ඔබේ රංගන ජීවිතයේ ස්වර්ණමය යුගය අහිමිවුණා කියලා හිතෙන්නේ නැද්ද?


ඔව්. එය මම තරයේ විශ්වාස කරනවා. මගේ රංගන ජීවිතයේ ස්වර්ණමය යුගයේදී මම රංගනයෙන් ඉවත් වෙලා දේශපාලනයට සම්බන්ධ වුණා. ඒත් එක්ක මට මේ ක්ෂේත්‍රය  ඇතුළේ යම් දෙයක් ලැබෙන්න තිබුණා නම් එය මගේම වුවමනාවෙන් නැති කරගත්තා කියන පසුතැවීම මට තියෙනවා.  මට මේ ක්ෂේත්‍රය ඇතුළේ ලැබුණ දේවල්වලින් සුළු ප්‍රමාණයක්වත් නොලැබුණ පිරිස අද ක්ෂේත්‍රයේ වැජඹෙන ආකාරය දකිද්දී මට මගේ ගැනම කලකිරීමක් ඇති වෙනවා. ඒ වගේම මම දේශපාලනයට එක් වීම නිසා මගේ කලා ජීවිතයට ලොකු පාඩුවක් කරගත්තා වගේම මගේ ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් කළා කියලත් මට සිතෙනවා.


ඔබේ සිනමා නිර්මාණ ගැනත් කතා කළොත්?


මම සිනමා නිර්මාණ කිහිපයකටම දායක වුණා. නමුත් ඒවා තවම තිරගත වුණේ නැහැ. ඉදිරියේදීත් සිනමා නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු භාර අරගෙන තිබෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණවලත් තිරගත කිරීම ආරම්භ වේවි.


වෘත්තීමය කලාකරුවකුට අපේ රටේ පැවැත්මක් තිබෙනවාද?


වෘත්තීමය කලාකරුවකුට පැවැත්මක් නැහැ කියලා කියන්නත් බැහැ. මම නම් විශ්වාස කරන්නේ කලා ක්ෂේත්‍රයේ නියැළෙන ගමන් වෙනත් වැඩක් කරන්න කාලයක් නම් නැහැ කියලයි. මොකද මම ඒ අත්දැකීම හොඳින්ම ලැබූ කෙනෙක්. අද කාලයේ පවතින ආර්ථිකයත් එක්ක සෑම ක්ෂේත්‍රයකටම අමාරු කාලයක්නෙ උදාවෙලා තියෙන්නේ. ඉතින් හොඳ කළමනාකරණයකින් කටයුතු කරනවා නම් කලාවෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න පුළුවන්.


අධ්‍යක්ෂණයට යොමු වෙන්න අදහසක් නැද්ද?


නැහැ. අධ්‍යක්ෂණය කියන්නේ තරමක් සංකීර්ණ දෙයක්. ඒ වගේ සංකීර්ණ දෙයකට යොමුවෙන්න නම් මට කිසිම අදහසක් නැහැ. නමුත් තනිවම හෝ තවත් කෙනෙක් එක්ක හෝ නිෂ්පාදනයට යොමු වෙන්න නම් අදහසක් තියෙනවා. ඉතින් ඉදිරියේදී හොඳ අවස්ථාවක් ලැබුණොත් නිෂ්පාදකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා.


පුංචි දියණිය සමඟ ගත කරන කාලය ගැනත් මතක් කළොත්?


මගේ දුව දැන් ටිකෙන් ටික ලොකු වෙනවා. ඉතින් ඉස්සර වගේ දැන් වැඩ කරන්න යන එකත් හිතන තරම් ලෙහෙසි නැහැ. ඉස්සර ෂූටින්වලට යද්දී මම දුවව එක්ක ගෙන ගියා. ඒත් දැන් එයාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ දේවල් කරන්න අපහසුයි. මොකද එයත් ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. ඉතින් අම්මා කෙනෙක් විදිහට මගෙන් හොඳ සහයෝගයක් වගේම රැකවරණය ආදරය නොමඳව එයාට ලැබෙනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ දරුවා හොඳ රැකියාවක් කරන හොඳ දරුවෙක් වෙනවා දකින එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඉතින් ඒ වෙනුවෙන් මගේ උපරිම සහයෝගය මම එයාට දෙනවා. ඒත් එක්කම මගේම කියලා ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් අදහසක් තියෙනවා. මගේ පුංචි දුවත් එක්ක ගත කරන ජීවිතේ ගැන ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් යූටියුබ් චැනල් එකක් කරනවා කියන්නේ හිතන තරම් පහසු දෙයක් නම් නෙවෙයි. ඉතින් හෙමෙන් හෙමෙන් ඒ වැඩෙත් පටන් ගන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. මේ හැම දේමත් එක්ක මගේ කලා කටයුතු හොඳින් කරගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ.



Previous Post Next Post