කොච්චර කාලයක් ගත වුණාද කියනවානම් සුද්දී රතු අක්කා වුණා - ජගත් බෙනරගම




ජගත්... කාලෙකට පස්සේ අලුත් වැඩකට අත ගැහුවනේ. ඒ කටයුත්ත දැන් අවසානද?


නැහැ.. මම නිර්මාණයක් අධ්‍යක්ෂණය කරමින් හිටියේ. ඒකෙ මූලික වැඩ පටන් අරගෙන අපි රූගත කිරීම් අප්‍රේල් මාසේ 21 වැනිදා ආරම්භ කළා. ඒ "මම සහ ඔබ" නම් ටෙලිනාට්‍යයි. එය කොටස් හැටකින් යුත් නාට්‍යයක්. ඒ කොටස් හැටම එකවර එකදිගට රූගත කිරීම් කරන්න අපි සැලසුම් කරගෙනයි හිටියේ. නමුත් දවස් විස්සක් පමණ රූගත කිරීම් කරද්දී මුළු ලංකාවටම එකදිගට වර්ෂාව ඇතිවුණා. ඒ නිසා අපිට රූගත කිරීම් නතර කරන්න සිදුවුණා.


ඒ නිසා විශාල පාඩුවක් වුණා නේද?


ඔව්.. නගරයක් ආශ්‍රිතව කෙරෙන නාට්‍යයක් නිසා මම වෙනමම නගරයක් නිර්මාණය කළා. කළුතර තෙබුවන හන්දිය මම රත්නපුර මාදම්පේ හන්දිය විදිහට නිර්මාණය කළා. ඒකට විශාල වියදමක් දැරුවා. සැලොන් එකක්, බත් කඩයක්, මාළු කඩයක්, බුකියක්, බස් නැවතුම්පොළක් ආදිය අලුතෙන්ම නිර්මාණය කළා. රත්නපුරයට ලැබුණු ධාරානිපාත වර්ෂාවත් එක්ක අපේ දර්ශන තල අඩි තුනක් වතුරෙන් යට වුණා. තාමත් ඒ තැන්වල මඩ. ඒ නිසා නැවතත් ලබන මාසයේදී රූගත කිරීම් ආරම්භ කරන්න තියෙනවා. පැල්මඩුල්ලේ පතල්වල රූගත කිරීමට තිබුණු දර්ශන ගන්න බැරි වුණා. පතල් සියල්ල වර්ෂාවෙන් යට වුණා. මේ වෙද්දි කොටස් විසි හතරක ප්‍රමාණයක් රූගත කිරීම් අවසන් කරලා තියෙනවා.


මීට පෙර ජගත් නිර්මාණ කිහිපයක්ම අධ්‍යක්ෂණය කළා. නමුත් පහුගිය කාලයේදී අධ්‍යක්ෂණයෙන් මඳක් ඈත්වුණා කිව්වොත්?


මම මුලින්ම 2003 අවුරුද්දේ ඒකාංගික ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඊට පස්සේ "සඳ නුදුටු සඳ" නමින් කොටස් තිස් තුනක ප්‍රාසාංගික ටෙලිනාට්‍යයක් 2005 වසරේදී අධ්‍යක්ෂණය කළා. නැවතත් මම ප්‍රදීප් ධර්මදාස එතෙක් අධ්‍යක්ෂණය කරමින් සිටි "දෙයියන්ගේ රටේ" නාට්‍යයෙන් ඔහු ඉවත් වුණාට පස්සේ නිෂ්පාදකවරයාගේ පෙරැත්තය මත එහි ඉතුරු කටයුතු බාරගෙන අධ්‍යක්ෂණය කළා. "මම සහ ඔබ" ටෙලිනාට්‍යයට මාස කිහිපයකට කලින් මම කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඊට පස්සේ තමයි "මම සහ ඔබ" ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්න යොමු වුණේ.


“මම සහ ඔබ" පිටපත ලියැවෙන්නේ කොහොමද?


“සඳ නුදුටු සඳ" නාට්‍යයේ නිෂ්පාදක ශාන් රත්නායක ඒ අයගේ ප්‍රදේශයට ටිකක් එන්න කියලා ආරාධනා කළා. ඔහු පදිංචිවෙලා හිටියේ කහවත්තේ. ඒ කාලේ කහවත්ත මිනීමැරුම් කිහිපයක්ම සිදුවුණා. ඒ නිසා ශාන් ඒ අයගේ ප්‍රදේශය අළලා කතාවක් ගොඩනගන්න කියලා කිව්වා. ඒ නිසාම මමයි මගේ මිත්‍ර සමන්ත කුමාර ගමගේයි කහවත්තේ ගිහින් දවස් තුනක් විතර නතර වෙලා ඒ ප්‍රදේශයේ ඇවිද්දා. ඒ ගමේ මිනිස්සු ඇසුරු කළා. ඒ චරිත හඳුනා ගත්තට පස්සේ "මීට වඩා දෙයක් අපි කළ යුතුයි" කියලා මට හිතුණා. මැණික් ව්‍යාපාරය වගේම කසිප්පුවලට ඒ ප්‍රදේශයේ අය කිව්වේ "රතුවා" කියලයි. ඒ ඔස්සේ අපේ කතාව ගොඩනැගුණා. මුලින්ම මමත් සමන්තත් එකතුවෙලා මේ කතා සාරාංශය ගොඩනැගුවා. ඒ වෙද්දී සමන්ත පිටපත් ගණනාවක් ලියමින් අවිවේකව හිටපු නිසා ඒ කතාව පිටපත් රචක ගිහාන් රවීන්ද්‍රට බාර කළා. ඔහු අපූරුවට ඒ පිටපත ලියලා අපිට දුන්නා.


පිටපතේ තිබුණු චරිතවලට කලාකරුවන් කලාකාරියන් තෝරාගත්තේ කොහොමද?


කතා සාරාංශය මම ගොඩනගද්දීම ප්‍රධාන චරිතයට ජගත් මනුවර්ණව මගේ හිතේ ඇඳිලා තිබුණා. "සුද්දී" කියන දුවගේ චරිතයට මගේ හිතේ ඇඳිලා තිබුණේ උදයන්ති කුලතුංගයි. ඒ මීට අවුරුදු දහයකට පමණ පෙරයි. නමුත් පිටපත ලියලා තිබුණත් රටේ තිබුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් සහ තවත් කරුණු කිහිපයක් නිසා ඒක කල්ගත වුණා. ඒ නිසා පහුවෙද්දී ප්‍රධාන චරිතයට ධනුක දිල්ෂාන්ව මට සම්බන්ධ කරගන්න ඕනෑ වුණා. "සුද්දී" කියන දුවගේ චරිතය වෙනුවට "රතු අක්කා" කියන ප්‍රධාන චරිතයට මම උදයන්තිව තෝරා ගත්තා. දුවගේ චරිතයට දුශේනි මිහිරංගිව හිතාගෙන හිටියත් දුශේනි ඒ වෙද්දී කාර්යබහුල වීම නිසා ඒ වෙනුවෙන් මම  අලුත් නිළියක්ව තෝරා ගත්තා. ඊට අමතරව සරත් කොතලාවල, රත්නා ලාලනී ජයකොඩි, රවීන්ද්‍ර යසස්, චන්දික නානායක්කාර, නලින් ප්‍රේමතිලක, තනාෂා සතරසිංහ ආදී ප්‍රවීණ, දක්ෂ නළු නිළියන් ගණනාවක් මෙම නිර්මාණයට සම්බන්ධ වෙනවා.


දැන් ඔයා වේදිකාව අතහැරලද?


නැහැ. හැබැයි වේදිකාව එක්ක තිබුණු සම්බන්ධය මට දැන් ටිකක් අඩුවෙලයි තියෙන්නේ. පහුගිය වකවානුවේම මම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. මම ජයලත් මනෝරත්න අවසානයේදී කළ "තල මල පිපිලා", “ගුරු තරුව", “අන්දරේලා", නාට්‍යවල හිටියා. නමුත් මේ වෙද්දී මම "ගුරු තරුව" කියන නාට්‍යයට විතරයි  සම්බන්ධවෙලා ඉන්නේ.


මේ හැමදේම නිදහසේ කරගෙන යන්න ජගත්ගේ බිරිඳගෙන් දියණියගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ඇත්තටම එයාලගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ගෙදර ඉන්නවා නම් මම තමයි ගෙදර ට්‍රාන්ස්පෝට් මැනේජර් වෙන්නේ. බිරිඳව කාර්යාලට ගෙනියන්නේ, ගෙදර අරගෙන එන්නේ, දුව පාසල් ගෙනියන්නේ, නැවත ගෙදරට අරගෙන එන්නේ මමයි. රූගත කිරීම්වලට යද්දී ඒ අය ඒ හැමදේම කොහොම හරි කරගෙන මට මගේ වැඩ හිතේ නිදහසින් කරගෙන යන්න උපරිම සහයෝගය දෙනවා.



Previous Post Next Post