අපි දෙන්නට අපි දෙන්නා නැතුව බැරිම හින්දා අන්තිමේදි ඉතින් අපි බැන්දා - මාධවී




ඇන්තනී පවුලේ එකම දියණිය මාධවී වත්සලා ඇන්තනී ගැන මේ දිනවල කාගේත් විශේෂ අවධානය යොමුවී තිබෙන්නේ පසුගිය දා සිදුවුණු මාධවී – කසුන් විවාහයත් සමඟ. සුරූපී මාධවී මනාලියක සේ සැරසී කසුන්ගේ අතගෙන සිටින ඡායාරූප සමාජ මාධ්‍යවල මේ වන විටත් ශීඝ්‍රයෙන් සංසරණය වන්නේ සුරඟනන් ලෙස හැඩවුණු යෙහෙළියන් පිරිවරා ගත් සුන්දර ඡායාරූප පෙළක් සමඟින්. මාධවී – කසුන් අද අපේ කතාබහට එක්කර ගන්නේ ඔවුන්ගේ ජීවිතේ වටිනාම දවස කාගේත් අවධානයට ලක්වන ලෙස මේ තරම් සුන්දරව හැඩවුණු අයුරු දැනගැනීමේ අදහසින්. මාධවී – කසුන් හමුවුණු ඒ අතීතය ගැනත් සිහිපත් කරමින්ම පළමුව මාධවී අප හා කතාබහට එක්වුණේ මෙලෙසින්.


මාධවීට කසුන් දැකපු පළවෙනි දවසෙ මොකද හිතුණෙ?


මං එයාව මුලින්ම දැක්කෙ අධ්‍යක්ෂවරයෙක් විදිහට. හොඳ වෘත්තීය විනයක් සහ පෞරුෂයක් ඇතිවයි ඔහු දර්ශනතලයේ හැසිරුණේ. පස්සෙ අපි මිතුරන් වුණා. ඊටත් පස්සෙ තමයි ඔහු මට විශේෂම කෙනා වුණේ.


ඔබට කසුන් ගැන ආදරණීය හැඟීමක් ඇතිවෙන්න ඔහු තුළ මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඇති?


ඔහුගේ දැනුම, උගත්කම, මට සලකන විදිහ, ලියන කවි සින්දු, මගෙ ජීවිතේ වටිනා බව සහ මගෙ පෙනුමට ඔහු ආසා බව මට දැනෙන්න දීම, මාව අගය කිරීම වගේම අවංකකම, මාව මුල් අවස්ථාවේදීම ඔහුගේ පවුලේ අයට හඳුන්වා දීලා විවාහ වීමේ අරමුණින් ම ආශ්‍රය කළා මිසක් මාව සෙල්ලමකට නොගැනීම වගේම ඔහුගේ නිර්භීතකමට මම ආසා කළා. කසුන්ගෙ පෙනුමටත් මම ආසයි.


කසුන්ගෙ ඇසුරත් එක්ක ඔබේ ජීවිතේ වෙනස් වෙන්න ඇති?


ඔව්. මම හිතන පතන විදිහ පවා මම “අපි” කියන නව හවුලට ගැළපෙන විදිහට වෙනස් කරගත්තා. ඔහුගේ අම්මා, අක්කා හමුවුණාට පස්සෙ දරුවො වෙනුවෙන් අම්මා කැප වෙන එක මොන තරම් වැදගත් ද කියලා දැක්කා. මම එයාලගෙන් ඒක ඉගෙන ගත්තා.


මාධවී ඇන්තනී කියන්නෙ මල්වලටත් වඩා ගල් ප්‍රහාරවලට ලක්වුණු කෙනෙක්. මේ තරම් දේවල් දරාගන්න ඔබ ශක්තිමත් වුණේ කොහොමද?


ඕක ඉතින් අලුත් දෙයක් නෙවෙයි මට. මම කවදත් ලෝකෙට බොරුවක් මවාපාපු කෙනෙක් නෙවෙයි. එහෙම අයට ප්‍රහාර එල්ල වෙනවා වැඩියි. කවුරුත් හිතුවෙ නෑ මට ජීවිතේ අලුතින් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. මාව අවලංගු කරලා ඒකෙන් තෘප්තියක් සහ වාසි ලබන්න බලන් හිටපු සමහරු කසුන්ට මං ගැන බොරු කියමින් අපිව බිඳවන්න උත්සාහ කළා. ඒත් අන්තිමේ ආදරේ දින්නා. මම මගෙ ගමන යනවා. මොකද මම කාටවත්ම වරදක් කරලා නෑ. ඒ නිසා මගෙ හිත පිරිසිදුයි.


ඔබ දෙපළ ආදරය ජය ගත්තෙත් මල් මාවතක ඇවිත් නෙවෙයි. ලෝකයත් එක්ක ගැටෙද්දි ඔහුගෙන් ලැබුණු ආදරණීය සහයෝගය ගැනත් කියමු?


කසුන් කාගෙවත් රෙපරමාදු හෝ චරිත සහතික, විවරණ පිළිනොගන්න ස්වාධීන චින්තනයක් තියෙන කෙනෙක්. මටත් වඩා කවදත් ඔහු ඍජු ප්‍රතිපත්තියක හිටපු කෙනෙක්. අපි ලෝකයක් එක්ක ගැටුණේ නෑ. අපි ඒවා කනකට මායිම් කළේ නෑ. ඥාතීන් පවා මහ අමුතු ද්‍රෝහිකම් කරද්දි අපි හිනාවකින් ඒ නපුරුකම් ප්‍රතික්ෂේප කළා. අද ඒ හැමෝම ලොප් වෙලා බලන් ඉන්නවා.


කසුන්ගෙ ගෙදරින් ඔබට ලැබුණෙ මොන වගේ පිළිගැනීමක් ද?


අම්මා අක්කා වගේම අපේ තාත්තාත් මාව මුල් දවසෙත් පිළිගත්තේ හරිම ආදරෙන්. “අනේ පුතේ අපි හරිම දුප්පත්” කසුන්ගෙ අම්මා කිව්වා. එයාලා මට සලකපු විදිහෙන්ම ඒ වචනෙ බොරු වුණා. තාත්තා අපේ අප්පච්චිගෙ වියෝවෙන් මාස තුනක් යන්නත් කලින් වියෝ වුණා. අම්මත් අක්කත් මගේම අම්මා සහ අක්කා විදිහටයි මාව බලාගන්නෙ. මෑතකදී මම අසාධ්‍ය ලෙස රෝගී වෙලා රෝහල්ගත වෙලා හිටියා. විවාහ මංගල්‍යයට සති දෙකයි තිබුණේ. මම එදා වෙද්දි නැඟිට ගත්තෙ අම්මා සහ අක්කා මට සාත්තු කරපු අත්ගුණේටමයි. ලෙඩ සුව වෙන්නෙ බෙහෙත්වලට විතරක් නෙවෙයි. ඒකට ආදරේ කරුණාව සහ අවධානය ඕනෙ. මගෙ අහිංසක අම්මා සහ අක්කා මට නොඅඩුව ඒ හැමදේම දෙනවා. මමත් මගෙ අවසානය දක්වා එයාලට ඉන්නවා.


සියල්ල හමුවේ මේ තරම් ලස්සනට වෙඩින් එක ප්ලෑන් කළ හැටිත් කියමු ?


හමුවෙන හැම තැනකදීම “බඳින්නෙ නැද්ද?” “දැන් බඳිමු” කිය කිය ඔය අදහස අපේ ඔළුවට දැම්මෙ චන්දිමාල් ජයසිංහ අයියා. එයා තමයි මාව හැඩ කළේ. ඒ වගේම පැරඩයිස් ඉන් හෝටලය සහ මල් සැරසිලි ගැනත් අපිට හඳුන්වලා දුන්නා. සිරිත වෙඩිං ප්ලෑනිං ආයතනයේ ලසන්ත පීරිස් අයියා ඇතුළු කණ්ඩායමත්, ඩාක් රූම් ඡායාරූප ආයතනයේ දනුක කුමාරසිංහ ඇතුළු බොහෝ පිරිසක් අපේ ලස්සන දවස වෙනුවෙන් අනුග්‍රහය ලබා දුන්නා. ටේස්ට් ඔෆ් හෙවන් ආයතනයේ විජිතට ටජ් මහලක් කේක් එකට හදමු කියලා යෝජනා කළෙත් කසුන්. තව පිරිමි ඇඳුම් නිර්මාණය දනුක මෙන්ස් ඩිසයිනර් වෙයා. නිම්න හේශාන්, ප්‍රනීත් රණවීර සහ දිනිශි පෙරේරා තමයි මගෙ කාන්තා ඇඳුම් ආයිත්තම් නිර්මාණය කළේ. උඩරට ෆොටෝ ෂූට් එක කළේ කින්ග්ස්බරි හෝටලයේ. ඒ වෙනුවෙන් ශෙරිල් ඩෙකර් සහ රුවන් හෙට්ටිආරච්චිත්, දනුක දිල්ශාන් සහ අභිලාශි සන්තුකීත්, දුලාන් ලියනගේ සහ හරිනි කාව්‍යාන්ජලීත්, සතීශාන් සහ නිම්මි මනෝහාරිත් සහභාගි වුණා. ඉන්දියානු ඇඳුම වෙනුවෙන් ෂූට් එක කළේ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ. කස්තුරි ජයවර්ධනත් අපේ කණ්ඩායමට එකතු වුණා.


මේ උත්සවයේ සියලු අංග සහ විලාසිතා පවා කසුන්ගේ කැමැත්තට මුල් තැන දීලයි සිදු වුණේ. මේක මුලින් එයා දැකපු හීනයක්. දිනිශි පෙරේරා ඉන්දියාවෙන් අපේ ලෙහෙන්ගා ගෙනත් දුන්නා.


තමන්ගෙ ජීවිතේට වටිනාම දේ ලැබෙද්දි වටිනාම දේ ළඟ නැති අඩුව තදින්ම දැනෙන්න ඇති. ඔහු ගැනත් මතක් නොකළොත් අඩුවක් වෙයි?


අප්පච්චි හිටියා නම් එයා තරම් එදා සතුටු වෙන කෙනෙක් තවත් නෑ. මොකද අප්පච්චි කවදාවත් කුහක ඉරිසියාකාර මිනිහෙක් නොවුණු නිසා. මගෙ සතුට ගැන අවංකව සතුටු වෙන්න තරම් මට අවංකව ආදරේ නිසා. අප්පච්චි මට පොරොන්දු වුණා මාව කවදාවත් තනි කරන්නෙ නෑ කියලා. “මළත් මම උඹ ළඟට එනවා” කියලා කිව්වා. ඉතින් මං බලන් ඉන්නවා.


මාධවීගෙ කතාව ඉවර වෙන්න දීලා කසුන් මහේන්ද්‍ර හීනටිගල අපේ කතාබහට එක්වුණේ ආත්ම ගාණක් බලාපොරොත්තුවෙන් හිටිය වස්තුවක් ලැබුණා වැනි තෘප්තිමත් හැඟීමකින්.


බොහෝ දෙනා හිතුවෙ නෑ මේක විවාහයකින් කෙළවර වෙයි කියලා. ඒත් අද මාධවී ඔබේ බිරිය. ඒ ගැන මොකද හිතෙන්නෙ?


මාධවී කියන්නෙ චිරාත් කාලයක් තිස්සෙ මගේ පෙම්වතිය, මිතුරිය, සම හදවත. ඉතින් අපි පෙම්වතුන් විදිහට ආදරේ කරන්න ගත්තු මුල් කාලෙම තමයි මං හිතාගත්තෙ මං මාධවීව කසාද බඳිනවමයි කියලා. මොකද ‘සුන්දර බිරියකට’ අවශ්‍ය සියල්ලෙන් ඇය පොහොසත්. ඒ වගේම තමයි අනාගතයේ ‘යහපත් මවක්’ වීමටත් අවශ්‍ය සියල්ලෙන් ඈ මව්වත්. අපි දෙන්නගෙ ආදරේට ආශීර්වාද කරන්න අද මුළු මහත් සමාජයක් හිටියත්, මුල් කාලෙ අපි දෙන්නට හිටියෙ අපි දෙන්නා විතරයි. ඒ හින්දා වගේම අපි දෙන්නට අපි දෙන්නා නැතුව බැරිම හින්දා අන්තිමේ ඉතින් අපි බැන්දා.


මාධවී කියන්නෙ ගොඩක් සංවේදී චරිතයක්. ඒක ඇයගේ දුර්වලකමක් කියල හිතෙනවද?


අනේ නැහැ. ඇගේ කිසිදු ගුණාංගයක් මං විනිශ්චය කරන්නෙ නෑ. ඒ තමයි ඇය. මං ඇයට ආදරේ ඈ තුළ තියෙන ආදරණීය බවටම තමයි. ඇගේ අවංකකම නිසාම, සංවේදීකම නිසාම ඈ ජීවිතේ පුරාම අනේකවිධ රැවටීම්වලට ලක්වෙලා තියෙනවා. එහෙමයි කියලා තමන්ගෙ යහපත් හොඳ ගුණාංග නැති කරගන්න අවශ්‍ය නෑ. මං හිතනවා ඇගේ සියලු හොඳ ගතිගුණවලට හරිම කාලෙදි ආදරෙන් පෑහෙන්න මගේ ආදරේට පුළුවන් වුණා කියලා. ඉතින් මේ තමයි අපි දෙන්නගෙ ජීවිතේ මල් වැසි පූදින වසන්ත කාලය.


මාධවී ගැන ආදරයක් දැනෙන්න හේතු වුණු කරුණ මතකද? ඒ ආදරය ඇය පිළිගත්තෙ කොහොමද?


එක තමයි ඇගේ මා දකින, මං ආස ස්ත්‍රීත්වය, ලාලසාව, සරාගය සහ මව්වත්කම. මේ සියල්ල එකමිටින් අරන් ඒක තනි වචනෙකින් කියනවා නම් මට අනුව ඒ තමයි ‘මාධවී වත්සලා ඇන්තනී.’ මං මගේ ආදරේ ප්‍රකාශ කළාම ඇගේ දෑස් දිලිසෙන්නැති. සංසාර පුරුද්දක් වගේ දැනෙන්නැති. ඈ මට ‘මාත් ඔයාට ආදරෙයි’ කියලා කිව්වෙ ඒ හින්දා වෙන්නැති.


වැඩිය කේන්ති ගන්නෙ ඇයද ඔබද?


ඉස්සර මං. දැන් එයා. හැබැයි අපේ පොඩි පොඩි රණ්ඩු සුළු මොහොතයි. අමතකයි. අපි දෙන්නගෙම ආදරේ අත්පොත බයිබලයේ එන කොරින්ති 13. ඒ තමයි ‘ප්‍රේම පාරමිතාව.’ ඒක පටන් ගන්නෙම ‘ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, වෛර නොගනී…’ කියලා. අපි ඒ ආදර ධර්මතාව විශ්වාස කරනවා.


ඇය ඔබට කැමති වුණේ ඇයි කියල කවදහරි කියල තියේද?


මං හිතන්නෙ ඇය මට කැමති මම, මම නිසා. මං බොරු චරිත නඩත්තු කිරීමක් හෝ මට නැති කිසිවක් මවාපාමින් ජීවත් වෙන්නෙ නෑ. මං හිතන්නෙ මාධවී මට මුලින්ම කැමති වුණේ මම මගේ අනන්‍යතාවක් සහිත කෙනෙක් නිසා වෙන්න ඕන. ඒ වගේම අපි පෙම්වතුන් වෙන්න කලින් ඉඳලම මාධවී මට සෑහෙන්න කියලා තියෙනවා ‘ඔයා මගේ අප්පච්චි වගේ’ කියලා. මේ සියල්ලම ඈට මා ඇගේ පෙම්වතා, ස්වාමි පුරුෂයා කරගන්න හේතු වෙන්න ඇති.


මාධවී විවාහ කරගන්න අහද්දි ඔබේ ගෙදරින් ලැබුණෙ මොනවගේ ප්‍රතිචාරයක්ද? මාධවීගෙ ගෙදර අය ඔබ පිළිගත්තෙ කොහොමද?


මගේ අහිංසක අම්මයි, අක්කයි මං හිතන්නෙ මට වඩා මාධවීට ආදරෙයි. අද ජීවතුන් අතර නැති මගේ තාත්තා පවා මාධවීට සැලකුවෙ පුදුමාකාර ආදරේකින්. මගේ ගෙදර අයට මාධවී කියන්නෙ රැජිනක්. මාධවීගේ අම්මත් මගේ අම්මා වගේම හරිම ආදරණීයයි. අඛිල, සජිත දෙන්නත් මට මගේම සහෝදරයො වගේ. අපි හැමෝම වෘත්තියෙන් ඉන්නෙ එකම ක්ෂේත්‍රයක නිසා ඒ සහෝදරකම් තව තවත් ශක්තිමත් වේවි.


වෙඩින් එක ගොඩක් ලස්සනට හැමෝගෙම සහභාගිත්වයෙන් සිදු වුණා. ලොකු සටනක් ජය ගත්තෙ කියල හිතෙන්නෙ නැද්ද?


නැතුව. ලෝකප්‍රකට විප්ලවවාදී ‘චේ ගුවෙරා’ කියලා තියෙනවා ‘ආදරයෙන් තොර අරගලයක් නෑ’ කියලා. ඉතින් අන්තිමට අපි දෙන්නගෙ ආදර අරගලය විවාහයෙන් අපි ජය ගත්තා. ඒ සටන ජය ගන්න උදව් කරපු අය අප්‍රමාණයි. විශේෂයෙන් මතක් කරන්න ඕනි මගේ අම්මා, මගේ එකම අක්කා රෝෂිකා ධනුෂණී, ඒ වගේම චන්දිමාල් ජයසිංහ අයියා, ඒ වගේම බොල්ගොඩ පැරඩයිස් ඉන් හෝටලයේ මිහිරි සමරනායක නංගීවත්. එයාල නොහිටින්න මේක මේ තරම් අති සාර්ථක විවාහ මංගලෝත්සවයක් වෙන්නෙ නෑ.


 නාමලී ගමගේ



Previous Post Next Post